BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, September 10, 2013

වෑන් රියේ තිබූ රුධිරය ෂියාම්ගේ රුධිරයට ගැලපෙයි

ඩී. එන්. ඒ. වාර්තාවෙන් උසාවියට දන්වයි

ඝාතනයට ලක්‌ වූ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ගේ රුධිරය ඔහු පැහැරගෙන ගිය වෑන් රථයේ තිබී සොයාගත් රුධිරය හා ගැලපෙන බවට ඩී. එන්. ඒ. වාර්තා මගින් දැනුම් දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.



 වාස්‌ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණ කුලසූරිය
කරුණු දක්‌වමින් විවිධ කුමන්ත්‍රණ හා බලවේග සහිතව මෙම නඩුවේ විමර්ශන සිදුවන බවට පෙනී යන බවත්....


සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එච්. සහබ්දීන් මහතා හමුවේ ඊයේ යළිත් කැඳවූ අවස්‌ථාවේදී එසේ දන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මොහොමඩ් ෂියාම් නමැති අයගේ ඝාතනයට අදාළව මෙතෙක්‌ සිදුකර ඇති සියලු විමර්ශනවල උධෘත නීතිපතිවරයා වෙත යොමුකොට ඇති බවත් ඉදිරි විමර්ශන නීතිපති උපදෙස්‌ අනුව සිදුකරන බවත් දන්වා සිටියේය.

ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන, උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගාමිණී සනත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව, කැලුම් රංග දිසානායක සහ ක්‍රිෂාන්ත කෝරළගේ, මොහොමඩ් පවුස්‌ඩීන් හා දිමුතු ශ්‍රීමාල් හෙට්‌ටිආරච්චි නමැති සැකකරුවෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ගොනුකරමින් මෙම ඝාතනයට අදාළව පවත්වන විමර්ශනවලට පුද්ගලයන් 18 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ඝාතනයට ලක්‌වූ අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට එම පරීක්‍ෂණ පැවැත්වූ ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නොතීසි භාර දුන් බවත් දන්වා සිටියේය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගත් බව ද දැන්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකාර රවිඳු වාස්‌ ගුණවර්ධනගෙන් හා සැකකාර පොලිස්‌ කොස්‌තාපල් ප්‍රියන්ත සංජීවගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඝාතනයට ලක්‌ වූ මොහොමඩ් ෂියාම් නමැති අයගේ රුධිරයේ රටාව හා ඔහු පැහැරගෙන ගිය වෑන් රථයේ තිබී සොයාගත් රුධිරයේ රටාව ගැලපෙන බවට කැඳවනු ලැබූ ඩී. එන්. ඒ. වාර්තා මගින් දැනුම් දී ඇති බවත් එහි වාර්තාවක්‌ අධිකරණය වෙත ද එවා ඇති බවත් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයට අදාළව මෙතෙක්‌ සිදුකර ඇති සියලු විමර්ශනයන්ගෙන් උධෘත නීතිපතිවරයා වෙත යොමුකොට ඇති බවත් ඉදිරි විමර්ශන නීතිපති උපදෙස්‌ අනුව සිදුකරන බවත් කියා සිටියේය.

එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්‌වමින් විවිධ කුමන්ත්‍රණ හා බලවේග සහිතව මෙම නඩුවේ විමර්ශන සිදුවන බවට පෙනී යන බවත් ඔහු රටම හෙල්ලුම් කෑ කහවත්තේ භීෂණය මැඬපැවැත්වූ නිලධාරියකු බව මතක තබාගෙන මෙහි කටයුතු පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා රවිඳු වාස්‌ ගුණවර්ධන හා ප්‍රියන්ත සංජීව නමැති සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉඩ පහසුකම් ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරමින් සියලුම සැකකරුවන් ලබන 2 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට නියෝග කළේය.


 සමන්ත ඉලේපෙරුම

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger