BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 2, 2013

වෙඩි තියපන් කියා දුමින්ද සිල්වා කෑගහද්දී වෙඩි වරුසාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ගමන් ගත් වාහනය හරස්කර දුමින්ද සිල්වා මහතාගේ වාහනය නැවැත්වූවා. පිස්තෝලයක් අතැතිව පැමිණි දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් මහතාගේ කම්මුලට පහරක් ගැහුවා. භාරත ලක්ෂ්මන් මහතාත් දුමින්ද සිල්වාගේ කම්මුලට ගැසීමට තැත් කළ විට, දුමින්ද සිල්වා “වෙඩි තියපන් වෙඩි තියපන්” කියා කෑගැසුවා. ඒත් සමඟම වෙඩි වරුසාවක් පතිත වුණා යැයි හෂාන් ශෂිරංග අමරදේව මහතා පැවැසීය.




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සිකුරාදා (30දා) අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී හෂාන් අමරදේව මහතා එසේ පැවැසීය.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ අධිකරණයේදී මීට ඉහතදී සාක්ෂි ලබාදුන් ඇතැම් සාක්ෂිකරුවන් රහස් පොලිසියට කලින් ලබාදී තිබූ සාක්ෂි සම්පූර්ණයෙන්ම බැහැර කරමින් වෙනත් සාක්ෂි ලබාදීම පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

රහස් පොලිසිය වෙත මීට ඉහතදී ලබාදී තිබූ ප්‍රකාශය උපයෝගී කර ගනිමින් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස කටයුතු කළ හෂාන් ශෂිරංග අමරදේව (26) මෙසේ පැවැසීය.

මා 2009 වසරේ මැද භාගයේදී භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ කාර්යාල කාර්යය සහායක ලෙස කටයුතු කරනවා. 2011 ඔක්තෝබර් 08 වැනි දින භාරත ලක්ෂ්මන් මහතා සමඟ දේශපාලන රැස්වීමට සහභාගි වීමට පැමිණියා. අපේ කණ්ඩායම කෙළොන්නාවේ රැස්වීම් කිහිපයකට පැමිණියා. දුමින්ද අපේ සර්ගේ කම්මුලට අතින් ගැහැවා. දුමින්ද සර්ගේ අතේ පිස්තෝලයක් තිබුණා. දුමින්ද සිල්වා වෙඩි තියපන් වෙඩි තියපන් කියා කෑගැසුවා. අපේ සර්ට වෙඩි වැදුණා.  අපේ සර්ට වෙඩි තියන්න දෙමඩගොඩ චමින්ද හිටිය බව කීවා. දුමින්ද සිල්වාගේ වාහනවලට පිටුපසින් පොලිසියේ වාහන 2ක් තිබුණා. එම වාහන තුළ නිල ඇඳුමින් සැරැසුණු පොලිස් නිලධාරීන් සිටියා.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා
තමා රහස් පොලිසියට දුන් ප්‍රකාශය මේකද?
සාක්ෂිකරු
ඔව්.
අතිරේක මහෙස්ත්‍රාත්වරයා
එලෙස දුන් ප්‍රකාශයේ යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යද?
සාක්ෂිකරු
ඔව්. ඒ වෙලාවේ වෙඩි වරුසාව මැද්දේ භාරත මහත්තයාත් එක්ක මම පිටුපසට ආවා. ඇවිත් බලන විට කවුරුවත් හිටියේ නැහැ. මා භාරත මහත්තයාගේ ජීප් එක පිටුපස්සට තමයි ආවේ. වෙඩි වරුසාව නිසා පිටුපස තිබුණ ජීප් එකේ යටින් රිංගලා පිටුපස ‍ෙදාර ඇරගෙන තමයි මම ජීප්එකට නැංගේ, ඒ බලනකොට භාරත මහත්තයා හිටියේ නැහැ. භාරත මහත්තයා වෙඩි වැදිලා වැටිලා.
අතිරේක මහෙස්ත්‍රාත්වරයා
හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගි වුණාද?
සාක්ෂිකරු
ඔව්.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා
එහිදී ඔබ කිසිවකු හෝ හඳුනාගත්තාද...?
සාක්ෂිකරු
එතැන හිටිය අය හඳුනාගත්තා.
අතිරේක මහෙස්ත්‍රාත්වරයා
ඔබගේ ප්‍රකාශයේ සඳහන් දුමින්ද සිල්වා නමැති අය අධිකරණයේ ඉන්නවාද....?
සාක්ෂිකරු
ඔව්.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා
කොතැනද ඉන්නේ?
සාක්ෂිකරු
දුමින්ද සිල්වා සිටින ස්ථානය (විත්ති කූඩුවේ) පෙන්වයි.
අතිරේක මහෙස්ත්‍රාත්වරයා
මෙම සාක්‍ෂිකරු හරස් ප්‍රශ්නවලට භාජන කරන බවද ජෙෂ්ඨ රජයේ අධි නීතිඥ තුසිත මුදලිගේ මහතා අධිකරණය වෙත දන්වා සිටියේය. විත්ති පාර්ශ්වයෙන් කියා සිටින්නේ හරස් ප්‍රශ්නවලට භාජන වන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පිටපත් නඩුවට සූදානම් වීම සඳහා විභාගය ආරම්භ කිරීමට අවශ්‍ය බවයි.

2013 අංක 02 දරන පනත ප්‍රකාරව සහතික කළ පිටපත් නඩුවට පූර්වයෙන් ලබාගැනීම සඳහා විත්තියට හිමිකම් නොමැති බව පිළිගනී. හරස් ප්‍රශ්න විමසීම සඳහා පිටපත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. මේ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා හරස් ප්‍රශ්නවලට භාජන වන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පිටපත් පමණක් අධිකරණයේදී ඇති කරගන්නා එකඟතාවට අනුව හුදෙක්ම විමසීම පහසුකර ගැනීමේ කාර්යය සඳහා විමසීමට ගන්නා දිනයේ පෙරවරුවේ ලබාදීමට එකඟ වෙමි. ඒ අනුව අද දින විමසීම කල් තබමි.

තවද මෙම සාක්ෂිකරුගේ පිටපත් අද දිනට විත්තියට ලබාදීමට නියම කරමි.
මෙම සිද්ධියට අදාළ නඩුව ලබන සැප්තැම්බර් 03 වැනි දින පස්වරු 1ට කැඳවීමට අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා තීරණය කළේය.













Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger