BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 2, 2013

මානව හිමිකම් කොමිසම ගැන ජනතාවට සැකයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අගතිගාමී ආයතනයක් ලෙස රටේ ජනතාව අතර මතයක් ඇතැයි පවසන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ   නවනීදන් පිල්ලේගේ වාර්තාව පූර්ව නිගමන සහිත එකක් විය හැකි බව ඔවුන් විශ්වාස කරන බව කියයි.
ජනාධිපතිවරයා ඉහත සඳහන කෙළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සිකුරාදා (30දා) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය. ජනාධිපති හා පිල්ලේ මහත්මියගේ හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ප්‍රකාශක හා අන්තර්ජාතික මාධ්‍ය ඒකකය පවසන්නේ ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී  ලංකාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ ජනාධිපතිවරයා හමුවේ පිල්ලේ මහත්මිය ප්‍රසාදය පළ කළ බවයි.

පුනරුත්ථාපනය, යළි ඉදිකිරීම්, සෞඛ්‍ය හා අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රවල කෙතරම් ආයෝජනය කොට තිබේදැයි දැක ගැනීමට තමාට හැකිවූ බව ඇය සඳහන් කළ බව මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සිකුරාදා (30දා) අරගියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවූ පිල්ලේ මහත්මියට නිදහසේ කැමැති තැනකට යෑමට පහසුකම් ලැබිණිදැයි රාජපක්‍ෂ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උතුර-නැඟෙනහිර පළාත්වලට ගොස් ජනතාව හමුවූ බවත්, ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කළ බවත් පිල්ලේ මහත්මිය පැවැසූ බවද නිවේදනයේ දැක්වේ.

“පුනරුත්ථාපනය හා ප්‍රතිසංවර්ධනය පිළිබඳ ඔබේ දැක්ම මම අගය කරනවා” යනුවෙන් සඳහන් කළ ඇය භෞතික ගොඩනැඟීම සමඟ ජන කොටස් අතර සමඟිය සහ ප්‍රතිසන්ධානය තහවුරු කළ යුතු බවත්, ඊට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවත් සඳහන් කළැයිද නිවේදනයේ සඳහන්ය.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.

අතුරුදන්වූවන් ගැන සෙවීමට කොමිසමක් පත්කිරීම ගැනත්, අතුරුදන්වීම් අපරාධයක් සේ සලකන නීති සම්පාදනයට තීරණය කොට තිබීම ගැනත් මහ කොමසාරිස්වරියගේ ප්‍රසාදය පළ විය. අන්‍ය ආගම් ඉවසීමේ ශ්‍රී  ලාංකේය සංස්කෘතිය අගය කළ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සුළු ජන කොටස්වලට අයත් ආගමික ස්ථානවලට පහරදීම් ගැන අවධානය යොමුකළ යුතු යැයි පෙන්වා දුන්නාය. ඒ පිළිබඳ යථාර්ථය පැහැදිලි කළ ජනාධිපති එබඳු අවස්ථා හුදෙකලා සිදුවීම් මිස සැලැසුම්සහගත ක්‍රියා පද්ධතියක ප්‍රතිඵල නොවේ යැයි අවධාරණය කෙළේය.
තම කැබිනට් මණ්ඩලය විවිධ මතවාද පිළිගත් කණ්ඩායම්වලින් සමන්විත වුවද ඒ සියලුදෙනා පොදු අරමුණක් කරා මෙහෙයවීමට තමාට හැකිවී ඇතැයි එතුමා පෙන්වා දුන්නේය.

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී  ලංකා නිත්‍ය දූත මණ්ඩල ප්‍රධානී රවිනාථ ආරියසිංහ යන මහත්වරු සහ විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger