BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

තාමත් ගලා ඵන ඵතනෝල් ..!!! කෝ ඵරන්දික ...!!! ජොන්ස්ටන්...!!!ලක්‍ෂ්මන්....!!!උන් රාජ්‍ය තාන්ත්‍රික රැකවරණ සමග නිදැල්ලේ...!!!

තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.

 මාධ්‍යයත් කැටුව ගොස් කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද එතනෝල් ස්පී‍්‍රතූ කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කරනු ලැබුයේ මාර්තු 18 වැනිදා රාත‍්‍රියේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ එම මෙහෙයුම නීති විරෝධී එකක් බව ඊට පසුවදා සමස්ත ලංකා රේගු සේවා සංගමය මාධ්‍යයට ප‍්‍රකාශ කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ පළමු ප‍්‍රවෘත්තිය මෙන්ම මෙම දෙවන ප‍්‍රවෘත්තියද කැපීපෙනෙන ලෙස පළකරන්නට හා විකාශය කරන්නට තරම් මාධ්‍ය ආචාර ධාර්මික විය.

ඉන්පසු මේ දක්වාම ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය උණු උණු පුවත් සෙවීමේ ආචාර ධාර්මික බව ප‍්‍රදර්ශනය කරමින් ඉහත සිදුවීම පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා රේගුව එකිනෙකාට එරෙහිව සිදුකරන ප‍්‍රකාශවලට සිදුවීමේ ඉතිරි ජවනිකාත් සමග ඉඩ ලබාදෙමින් තිබේ. එතනෝල් ස්ප‍්‍රීතූ අඩංගු මේ කන්ටේනර් දෙක අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයැ’යි කියූ රේගු සේවා සංගමය ඊට හේතු වශයෙන් පැවසූයේ රේගු පරීක්ෂණ සිදුකර රේගු භාරයෙන් මුදාහැර නැති කන්ටේනර් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් කිසිදු ආයතනයකට නැති බවත්, තොටළඟ පිහිටි රේගු අංගණය වෙත එම කන්ටේනර් වරායේ සිට ගෙනයනු ලැබුවේ පරීක්ෂණ සිදුකිරීමට බවත්ය.

නමුදු සුරාබදු නිලධාරීන් කීවේ තිනර් යනුවෙන් රටට ගෙන්වන ලද එම කන්ටේනර් දෙක තුළ එතනෝල් ස්ප‍්‍රීතූ ඇති බවට වූ තොරතුරක් මත අදාළ කන්ටේනර් දෙක අත්අඩංගුවට ගත් බවය.

එම ප‍්‍රකාශයට රේගු සේවා සංගමය තවදුරටත් පිළිතුරු දෙමින් කීවේ රේගුවෙන් මුදාහැරීමටත් පෙර සුරාබදු නිලධාරීන් එම කන්ටේනර් අත්අඩංගුවට ගැනීම නිසා එම කන්ටේනර් ගෙන්වූ අයිතිකරුවන්ට අදාළ නීති විරෝධී කටයුත්තෙන් බේරීම සඳහා පසුබිම සාදා ඇති බවය. ඉන්පසු මේ දක්වා සිදුවී ඇති සිදුවීම්වලින් රේගු සේවා සංගමයේ අදාළ අනුමානයට අර්ථයක් ලැබී ඇති බව පෙනේ. එම ස්පී‍්‍රතූ සම්බන්ධයෙන් සුරාබදු-රේගු ඒකාබද්ධ පරීක්ෂණයක් සඳහා සහභාගිවෙමින් කන්ටේනර් ගෙන්වූ අයිතිකරු ඔහුගේ නීතිඥයන් මගින් ප‍්‍රකාශ කර ඇත්තේ කන්ටේනර්හි ඇති ද්‍රව්‍ය පිළිබඳ වගකීම ඔහු භාරගන්නා බවය. ඊට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ තමා එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය නොකළ බවත්, තිනර් ආනයනය කළ බවත්, ඔහු නොමැතිව කන්ටේනර් විවෘත කිරීම තුළ එහි වගකීම භාරගත නොහැකි බවත්ය. කන්ටේනර් ආනයනකරු පැමිණෙන තෙක් නොසිට සුරාබදු මාධ්‍ය මෙහෙයුම සාක්ෂාත් කරගැනීම සඳහා සිද්ධියෙන් දින තුනකට පසු රේගු හා සුරාබදු ප‍්‍රධානීන්ගේ අධීක්ෂණයෙන් අදාළ කන්ටේනර් විවෘත කිරීමට සිදුවූ අතර ක්ෂණික පරීක්ෂාවකින් පසු සුරාබදු නිලධාරීන් ප‍්‍රකාශ කළේ අධි මද්‍යසාර ප‍්‍රතිශතයකින් යුත් එතනෝල් ස්පී‍්‍රතූ එම කන්ටේනර්වල තිබූ බව ලබාගත් සාම්පල පරීක්ෂාවේදී තහවුරු කරගැනීමට හැකිවූ බවයි. තවද වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ බවයි. රජයේ රස පරීක්ෂකවරයාද සාම්පලවල ඇත්තේ එතනෝල් ස්පී‍්‍රතූ බවට තහවුරු කරනු ඇතිය යන්න පිළිබඳව සැකයක් නැතත් ප‍්‍රශ්නය ඇත්තේ මේ පරීක්ෂණයේ ඇති නීත්‍යනුකූලභාවය පිළිබඳව දැනට එල්ල වී ඇති අභියෝගය පිළිබඳවය.

ඒ පිළිබඳව තේරුම් ගැනීම සඳහා රට තුළට භාණ්ඩ ආනයනයේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පිළිබඳවද අවබෝධයක් ලබාගැනීම උචිතය.

කන්ටේනර් වශයෙන් භාණ්ඩ හෝ ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒවා බදු ගෙවන හා බදු නොගෙවන වශයෙන් කොටස් දෙකකට වර්ග කැරෙන අතර ආයෝජන මණ්ඩල පහසුකම් යටතේ හෝ වෙනත් බදු පහසුකමක් යටතේ ගෙන්වනු ලබන ද්‍රව්‍ය කටුනායක, බියගම හෝ ඒ සඳහා ඇති වෙනත් අංගණයකට කොළඹ වරායේ සිට ගෙනයනු ලබයි. බදු ගෙවනු ලබන කන්ටේනර් ද මේ ආකාරයට කොළඹ වරායේ සිට ඒ සඳහා පිහිටුවා ඇති තොටළඟ හෝ ඔරුගොඩවත්තේ අංගණවලට ගෙන යනු ලබන අතර රේගු පරීක්ෂණ සිදුකර මේ කන්ටේනර් මුදාහරින්නේ ඉන්පසුය. බදු සහිතව ගෙන්වන ලද කන්ටේනරයක් නම් කොළඹ වරායෙන් පිටමං කිරීමට පෙර භාණ්ඩ ආනයනකරුගේ ප‍්‍රකාශ මත නියමිත බදු අය කරගනු ලබන අතර එසේ බදු අයකර ගැනීම එම භාණ්ඩ මුදා හැරුණු බවට සහතිකයක් වන්නේ නැත. කොළඹ වරායේ සිට රේගු මුද්‍රා සහිතව තොටළඟ හෝ ඔරුගොඩවත්තේ අංගණවලට එම කන්ටේනර් ගෙන යන්නේ ඒවා තුළ සැබෑ වශයෙන්ම ඇත්තේ බදු ගෙවූ ප‍්‍රකාශිත ද්‍රව්‍යමද යන්න සැකහැර දැනගැනීමටය. මෙම රේගු පරීක්ෂණය සඳහා භාණ්ඩ ආනයනකරු හෝ ඔහු විසින් බලය පවරන ලද වාප්පු ලිපිකරුවකු ද සිටිය යුතු අතර ප‍්‍රකාශිත දේ හා කන්ටේනරයේ ඇති දේ අතර වෙනසක් වෙතොත් එම පරීක්ෂණයේදී හඳුනාගැනේ. රේගුවෙන් භාණ්ඩ මුදාහැරීමක් ලෙස සැලකෙන්නේ එම පරීක්ෂණයෙන් පසුව මුදාහැරෙන කන්ටේනර්ය.

මේ ක‍්‍රියාවලිය අතිබහුතරයක් වන සාමාන්‍ය ජනතාව නොදන්නවා වූවාට රේගු හෝ වරාය කටයුතුවල නිරත පුද්ගලයන් මෙන්ම සුරාබදු නිලධාරීන්ද නොදැන සිටියායැ’යි සිතීම මුලාවකි. රේගුව තුළ සර්ව සාධාරණව රාජකාරියේ නිරත බොහෝ පිරිසක් නැති බව අප දන්නා සත්‍යයය. එම සත්‍යය මේ එතනෝල් ස්පී‍්‍රතූ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හරහා දැන් සුරාබදු නිලධාරීන් සම්බන්ධයෙන්ද වලංගු බවට කරුණු අනාවරණය වෙමින් පවතී.

ඒ සඳහාද පහසුවක් වනු පිණිස ශ‍්‍රී ලංකාවට එතනෝල් ස්පී‍්‍රතූ ආනයනය කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වටී. 2011 වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ගෙනෙන ලද එතනෝල් ස්පී‍්‍රතූ සඳහා රේගුව රුපියල් මිලියන 1200ක පමණ දඩ අය කරගෙන ඇත. ආනයනය කරනු ලබන එතනෝල් ස්පී‍්‍රතූ නීති විරෝධී වන්නේ ක‍්‍රම කිහිපයක් හරහාය. එකක් වන්නේ වර්තමාන සිද්ධිය මෙන් තිනර් හෝ වෙතත් ද්‍රව්‍යයක් වශයෙන් සඳහන් කර එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කිරීමය. අනෙක් ක‍්‍රමය වන්නේ කර්මාන්ත කටයුතු සඳහායැ’යි සඳහන් කරමින් එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කිරීම හා කර්මාන්ත කටයුතු කිසිවක් සඳහා එම එතනෝල් ස්ප‍්‍රීතූ භාවිත නොකර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීමය. සරලව කිවහොත් අරක්කු නිෂ්පාදනය සඳහා භාවිත කිරීමය.

ශ‍්‍රී ලංකා රේගුවේ විශේෂ දහිරිය ඇත්තන් පිරිසක් කර්මාන්තශාලා මුවාවෙන් ගෙන්වනු ලබන එතනෝල් ස්ප‍්‍රීතූ සම්බන්ධයෙන් පසුගිය කාලයේ පරීක්ෂණවල නිරත බොහෝ දෙනෙකුට මරණ තර්ජන මෙන්ම ආණ්ඩුවේ ඉහළ තැන්වලින් බලපෑම් ද එල්ල වී තිබුණි. එම පරීක්ෂණවලදී හෙළිවී තිබුණේ තීන්ත සෑදීම පවිත‍්‍රකාරක සෑදීම ආදිය සඳහා අවසර ලබාගනිමින් එතනෝල් ස්පී‍්‍රතූ ආනයනය කර තිබුණද, ආනයනකරුවන් එවැනි කර්මාන්තවල නොයෙදෙන බවය. නැතහොත් මවාපෑම සඳහා අටවාගත් කර්මාන්තශාලාවල නාමිකව පමණක් එම කටයුතු සිදුකරන බවය. ආනයනය කරනු ලබන එතනෝල් ස්ප‍්‍රීතූ හොර අරක්කු ජාවාරම සඳහා ලබාදෙමින් තිබෙන බවය. එතනෝල් ස්ප‍්‍රීතූ කන්ටේනර් දෙක සම්බන්ධයෙන් රේගු පරීක්ෂණවලට පෙර සුරාබදු මැදිහත්වීම කැපී පෙනෙන්නේ ඒවාට එරෙහි රේගු දැල විමසිලිවත්ව සිටීමේ පසුබිම තුළ තමන්ගේ වාරය පැමිණීමට පෙර සුරාබදු නිලධාරීන්ගේ මැදිහත්වීම තුළය.

වර්තමානය වන විට එතනෝල් ස්ප‍්‍රීතූ ඇත්ත වශයෙන්ම අවශ්‍ය කරන්නේ අරක්කු නිෂ්පාදනය සඳහා භාවිත කිරීමටය. ශ‍්‍රී ලංකාවේ අරක්කු නිෂ්පාදනයේ නිරත සුප‍්‍රසිද්ධ බොහෝ සමාගම් වර්ෂය පුරාම එම ස්ප‍්‍රීතූ ආනයනය කරනු ලබයි. මේ ස්පී‍්‍රතූ ලීටරයක් සඳහා වර්තමාන රේගු ගාස්තුව රු. 250/-කි. මේ ස්ප‍්‍රීතූ ලීටරයක ජාත්‍යන්තර මිල බොහෝ විට ඩොලර් ශත 90ත් 150ත් අතර මිල පරාසයක පවතී. දකුණු අප‍්‍රිකාව, බ‍්‍රසීලය, වියට්නාමය, පාකිස්තානය ආදී රටවලින් මෙයාකාරයට සුප‍්‍රසිද්ධ අරක්කු නිෂ්පාදන සමාගම් එතනෝල් ස්ප‍්‍රීතූ ගෙන්වනු ලබන අතර එම ස්ප‍්‍රීතූ ධාන්‍ය හෝ උක්වලින් ලබාගන්නා ස්වාභාවික ස්ප‍්‍රීතූ ගණයට වැටේ.

එතරම් සුප‍්‍රසිද්ධ නොවන සමාගම් ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වන එතනෝල් ස්ප‍්‍රීතූ ද තිබෙන අතර ඒවා කෘත‍්‍රිමව නිෂ්පාදනය කරනු ලබන ස්ප‍්‍රීතූ වේ. මේ ස්ප‍්‍රීතූ ලීටරයක ජාත්‍යන්තර මිල බොහෝවිට ඩොලර් ශත 60-70 අතර ප‍්‍රමාණයේ පවතී.

ශ‍්‍රී ලංකා රේගුව හරහා නීත්‍යනුකූලව ගෙන්වීමේදී මේ එතනෝල් ස්ප‍්‍රීතූ සඳහා පෙර සඳහන් කළ පරිදි ලීටරයකට රු. 250/-ක බද්දක් අයවෙන අතර එම එතනෝල් ස්ප‍්‍රීතූ අරක්කු නිෂ්පාදනය සඳහා ගෙන්වා තිබේ නම් අරක්කු නිෂ්පාදනයේදී එක් බෝතලයක් සඳහා රුපියල් 400/-ක පමණ සුරා බද්දකට යටත්වීමට සිදුවේ.

නීති විරෝධී එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය සිදුවන්නේ ඉහතින් විස්තර කළ බදු ක‍්‍රියාදාමය මගහැරීම සඳහාය. එකක් තිනර් හෝ වෙනයම් ද්‍රව්‍යයක් ලෙස දක්වා ආනයනය කිරීම මගින් රේගු බද්දෙන් පැන යෑමටය. අනෙක කර්මාන්තශාලා කටයුතු මුවාවෙන් එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කර අරක්කු නිෂ්පාදනයට යොදාගනිමින් බෝතලයකට රුපියල් 400ක් පමණ වූ සුරාබද්දෙන් පැනයෑම සඳහාය.

අරක්කු නිෂ්පාදනය සඳහා බලපත‍්‍ර ලබාගෙන එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කිරීමේදී බොහෝවිට රේගු බද්දෙන් හා සුරා බද්දෙන් පැනයෑමේ හැකියාවක් නිෂ්පාදකයන්ට ලැබෙන්නේ නැත. මේ බදුවලින් පැනගොස් හොර අරක්කු නිෂ්පාදනයට ඉඩ ලැබෙන්නේ කර්මාන්ත අවශ්‍යතා සඳහා හෝ වෙනත් ද්‍රව්‍යයක් මුවාවෙන් සිදුකරන එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය හරහාය.

මේ පැහැදිලි කරගැනීමත් සමග ඊළඟට පැනනගින වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ කර්මාන්ත කටයුතු හෙවත් තීන්ත නිෂ්පාදනය හා විෂබීජ නාශක නිෂ්පාදනය සඳහා එතනෝල් ස්ප‍්‍රීතූ අවශ්‍යද යන්නය. පැහැදිලිම පිළිතුර වන්නේ අවශ්‍ය නැත යන්නය. එය තවදුරටත් පැහැදිලිවම කිවහොත් රටේ ප‍්‍රධාන පෙළේ තීන්ත නිෂ්පාදන සමාගම් හෝ විෂබීජනාශක නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ එම කටයුතු සඳහා එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කරන්නේ නැත. ඔවුන් ඒ සඳහා භාවිත කරනු ලබන්නේ මෙතනෝල් ස්ප‍්‍රීතූය. මේ මෙතනෝල් ස්ප‍්‍රීතූ සඳහා රේගු බද්ද එම ද්‍රව්‍ය මිලෙන් 2.5%ක් පමණය. අඩු මිලකට හා අඩු රේගු බද්දකට මෙතනෝල් ස්ප‍්‍රීතූ ගෙන්වීමේ හැකියාව තිබියදී ඒ සඳහා වැඩි මුදලකට වැඩි රේගු බද්දක් ගෙවමින් කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් කර්මාන්තශාලා කටයුතු සඳහා එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කරන්නේ ඇයි? පිළිතුර නැවත නැවතත් පැහැදිලිය. හොර අරක්කු ජාවාරම සඳහාය.

ඉතිං මේ තත්ත්වය රේගුව නොදන්නෙහිද? නැත. ඒ සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ ආරම්භ කර තිබුණේ ඒ නිසාය. සුරාබදු දෙපාර්තමේන්තුව නොදන්නෙහිද? දන්නෙහිය. මන්ද මේ එතනෝල් ස්ප‍්‍රීතූ ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත්ව ඒ හරහා සිදුවන කාර්යයක් නිසාය. එතනෝල් ස්ප‍්‍රීතූ සඳහා ආනයන බලපත‍්‍රයක් ලබාගැනීමේදී ඒ සඳහා මුල්ම අවසරය ලබාගත යුත්තේ මුදල් අමාත්‍යාංශයෙන්ය. එම අවසරය ඊළඟට සුරාබදු දෙපාර්තමේන්තුවට යොමුවන අතර අවසාන ආනයන අපනයන පාලකවරයා වෙත යොමුවේ. මුදල් අමාත්‍යාංශය අවසර නුදුන්නේ නම් සුරාබදු දෙපාර්තමේන්තුවට හෝ ආනයන අපනයන පාලකට හෝ එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කිරීමේ ඊළඟ අවසරයක් ලබාදිය නොහැකිය. එහෙත් මෙතෙක් සිදුවී ඇත්තේ හා සිදුවෙමින් පවතින්නේ කර්මාන්තශාලා කටයුතු සඳහා අත්‍යවශ්‍ය නොවන බව දැන දැනත් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා එතනෝල් ස්ප‍්‍රීතූ ආනයන අනුමැතියක් ලබාදීමය.

රටේ මුදල් ඇමතිවරයා වන්නේ ජනාධිපතිවරයාය. අරක්කු නිෂ්පාදනය නොවන කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් එතනෝල් ස්ප‍්‍රීතූ ආනයනය කිරීමේ අනුමැතියෙන් ගමේ ගොඬේ අබරං සිඤ්ඤෝලාට ලබාගත නොහැකි බව පැහැදිලිය. ඒ සඳහා දේශපාලන හිතවත්කම මෙන්ම වෙනත් සාධකද බලපානු ඇති බවට සැකයක් නැත. අරක්කු නිෂ්පාදනය නොවන කටයුතු සඳහා එතනෝල් ස්ප‍්‍රීතූ ආනයන බලපත‍්‍ර දරන්නන් නාමික පුද්ගලයන් නොවුණද ඒවාහි සැබෑ අයිතිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව මතට තිත නිර්මාතෘවරයා දන්නවාය යන්න ගැන සැකයක් නැත. ඉතිං තිතට මත ගැන ඇඟිල්ල දිගුවිය යුත්තේ කාහටද යන්නද පහසුවෙන්ම තීරණය කළ හැකි එකක්ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger