BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, June 25, 2013

සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරියගෙන් දුරකථනය මගින් බලපෑම්....




පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරියගෙන් කරුණු විමසීමට ඇයට ද ලබන 09 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම් කෙරෙහි සැලකිලිමත් වෙමිනි.


රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනගේ බිරිඳගෙන් ද පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වන බැවින් ඇය අධිකරණය හමුවට කැඳවා අවවාද කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතාගෙන් ඉල්ලා සිටියේය.

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තා ගොනු කරමින් එසේ ඉල්ලා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින පොලිස්‌ කොස්‌තාපල් ගාමිණී සරත්චන්ද්‍ර නම් සැකකරුගේ බිරිඳට සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරිඳ දුරකථනය මගින් බලපෑම් එල්ල කර ඇති බවත් ඇය ඒ පිළිබඳව කොටවෙහෙර පොලිසිය වෙත පැමිණිල්ලක්‌ කර ඇති බවත් වැඩිදුරටත් දන්වා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වාස්‌ ගුණවර්ධන නම් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා සමඟ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා පෙනී සිටියේය.

ඝාතනයට ලක්‌ වූ ව්‍යාපාරිකයා පැහැරගෙන ගිය කැබ්රථය හා වෑන් රථය ද ඔහු භාවිත කළ ජංගම දුරකථනය හා එය විනාශ කිරීමට යොදාගත් මිටිය හා නියන ද සැකකාර වාස්‌ ගුණවර්ධනගේ ආරක්‍ෂාවට ලබා දී තිබූ රාජකාරි පිස්‌තෝල දෙකක්‌ ද පැමිණිල්ලේ නඩු භාණ්‌ඩ ලෙස නම් කරන බව දන්වා සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම නඩු භාණ්‌ඩ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකොට වාර්තාවක්‌ කැඳවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

අදාළ වෑන් රථයේ පිටුපස අසුනේ තැවරී තිබූ රුධිරය මියගිය අයගේ රුධිරය සමඟ සැසඳේදැයි ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ජින්ටෙක්‌ ආයතනය වෙත යොමුකරන ලෙස ද ඉල්ලා සිටි ශානි අබේසේකර මහතා වාස්‌ ගුණවර්ධන නම් සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර අධිකාරීට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි පොලිස්‌ කොස්‌තාපල් ගාමිණී සරත්චන්ද්‍ර නම් සැකකරු මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ දෙනු ලැබූ ප්‍රකාශය වැඩිදුර විමර්ශනයන්ට ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි අබේසේකර මහතා මියගිය සියාම්ගේ ජංගම දුරකථනය මෙහි සැකකරුවකු වන
ෆ්වුසිඩීන් විනාශ කළ බවට ෂාවුල් හමීඩ් නමැති අයගේ ප්‍රකාශයෙන් තහවුරු වී ඇති බවත් මෙම සිද්ධියට අදාළව පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පවතින පැමිණිල්ල නීතිපති උපදෙස්‌ මත මෙම පැමිණිල්ලට එක්‌ කිරීමට කටයුතු කරන බවත් පැවසුවේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්
06 දෙනකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඇති බවත් ඉන් පොලිස්‌ කොස්‌තාපල් ගාමිණී සරත්චන්ද්‍ර නම් සැකකරුගේ බිරිඳට වාස්‌ ගුණවර්ධන නම් සැකකරුගේ බිරිඳ කීපවතාවක්‌ දුරකථනය මගින් බලපෑම් එල්ල කොට ඇති බවත් කියා සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයා වාස්‌ ගුණවර්ධන පොලිස්‌ අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහුගේ ජංගම දුරකථනය මගින් සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ බිරිඳට විසිපස්‌ වතාවක්‌ (25) කතා කර ඇති බවත් පැවසුවේය.

"ඔයාගේ මහත්තයා රජයේ සාක්‌කිකරුවකු වෙන්න යනවා කියා ආරංචියි. එහෙම කරන්න එපා. අපිට විරුද්ධව කතා කරනවාද? ඔයාලගේ දුරකථන අංකයක්‌ දෙන්න"
යනුවෙන් වාස්‌ ගුණවර්ධන නම් සැකකරුගේ බිරිඳ ගාමිණී සරත්චන්ද්‍ර නම් සැකකරුගේ බිරිඳට දුරකථනය මගින් බලපෑම් කර ඇති බවත් ඒ පිළිබඳව ඇය කොටවෙහෙර පොලිසිය
වෙත පැමිණිල්ලක්‌ කර ඇති බවත් දන්වා සිටි අබේසේකර මහතා වාස්‌ ගුණවර්ධන නම් සැකකරුගේ බිරිඳ මෙසේ සාක්‌කිකරුවන්ට බලපෑම් කිරීම පිළිබඳව ඇය අධිකරණය හමුවට කැඳවා අවවාද කරන ලෙසට ඉල්ලා සිටියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන නම් සැකකරු වෙනුවෙන් නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සමග එක්‌වූ නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් සැකකරු අත්අඩංගුවට ගත් කාර්ය පටිපාටිය තුළින් නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවත් මේ වන විටත් ඔහුට විරුද්ධව කිසිදු ස්‌වාධීන සාක්‌කියක්‌ ඉදිරිපත්ව නොමැති බවත් කියා සිටියේය.

රටේ ලොකුම අපරාධකාරයා පොලිසියේ සිටියේ යෑයි මතයක්‌ ඇති කිරීමට මෙහි උත්සාහයක්‌ ඇති බවද කියා සිටි පතිරණ මහතා සැකකරු මෙවැනි දේ කළේ උසස්‌ නිලධාරීන් දැනුවත්වනම් පොලිසියම ලැඡ්ජා විය යුතු බව රටේ මතුව තිබූ අපරාධ රැල්ල මර්දනය කර පොලිසියට කීර්තියක්‌ ගෙනදුන් මෙවැනි නිලධාරීන්ට පෞද්ගලික හේතු මත අපහාස කර අපහසුතාවට ලක්‌ නොකළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙහි සැකකරුවන් ලබාදුන් ස්‌වෙච්ඡා ප්‍රකාශ පුවත්පත් මගින් පළ වී ප්‍රසිද්ධියට පත්වීම තුළින් විමර්ශනයේ විශ්වාස බිඳ වැටෙන බවද විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ මත සැකකරුගේ පුතාවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කරන බවද පැවසූ නීතිඥ පතිරණ මහතා පොලිස්‌ දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවාවක්‌ කළ නිලධාරියෙක්‌ වන සැකකරු අත්අඩංගුවට ගත් පුද්ගලයන් බන්ධනාගාර ගතව සිටින හෙයින් විශේෂ ආරක්‍ෂාවක්‌ සපයන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම පැමිණිල්ලේ සැකකරුවන් ලබාදුන් ප්‍රකාශ පැමිණිල්ල මෙහෙය වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමක්‌ සිදුනොකරන ලෙසද ඉල්ලා පතිරණ මහතා එවැනි නිකුත් කිරීමකට නීතියේ ප්‍රතිපාදන නොමැති බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී මියගිය අයගේ පවුලේ උදවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත පෙරේරා මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය මගින් ගොනු කළ වාර්තාවලින් දක්‌වා සිටි අනෙක්‌ සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමක්‌ සිදුනොවීම හා මේ වන තෙක්‌ වෙනත් පැමිණිලිවලදී සම්බන්ධ වූවා සේ නීතිපතිවරයාගේ මැදිහත් වීමක්‌ නොමැති වීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකරන ලෙසත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා මියගිය අය පැහැරගෙන ගිය කැබ් රථය හා වෑන් රථයද ඔහු භාවිත කළ ජංගම දුරකථනය හා එය විනාශ කිරීමට යොදා ගත් මිටිය හා නියනද සැකකාර වාස්‌ ගුණවර්ධනගේ ආරක්‍ෂාවට ලබාදී තිබූ රාජකාරී පිස්‌තෝල දෙකද රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තා කැඳවන ලෙසත් මියගිය අයගේ රුධිර සාම්පල හා වෑන් රථයේ තිබී සොයා ගත් රුධිර සාම්පල ජින්ටෙක්‌ ආයතනය වෙත යොමු කොට ඩී.එන්.ඒ. වාර්තාවක්‌ කැඳවන ලෙසත් නියෝග කළේය.

වාස්‌ ගුණවර්ධන සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුගේ බිරිඳ අධිකරණය වෙත පැමිණ සිටීදැයි විමසීමක්‌ කළේය. ඇය පැමිණ නොසිටි බැවින් පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම පිළිබඳව විමසීමට වාස්‌ ගුණවර්ධන සැකකරුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මියට ලබන ජුලි 9 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන්නැයි නියම කරමින් සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන ලබන 9 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට නියෝග කළේය.

පැමිණිල්ලට සාක්‌කිකරුවන්ගේ ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් නියෝගයක්‌ නිකුත් නොකරන බවද කියා සිටි මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුට අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලෙසට බන්ධනාගාරයට නියෝග කළේය.

වාස්‌ ගුණවර්ධන සැකකරු අධිකරණය හමුවට ගෙන එනු ලැබූ අවස්‌ථාවේදී උසස්‌ පොලිස්‌ නිලධාරීන් කීප දෙනකුද පැමිණ සිටින අයුරු දක්‌නට ලැබිණි.

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger