මුහුණු පොතෙන් උපුටා ගත්තකී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා හා නව භාණ්ඩාගාරිකවරයා වැඩ භාරගැනීමේ උත්සවය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී (19) පැවැත්විණි.ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.
සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේ පක්ෂයේ හිටපු ජාතික සංවිධායක දිවංගත අනුරුද්ධ රත්වත්තේ සමග 1993 වර්ෂයේ සිට මම පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළා. ඒ අනුව මම පළාත් සභා මන්ත්‍රීවරයකු. ඇමැතිවරයෙකු මෙන්ම පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු ලෙසත් ක්‍රියා කළා. 2000 වර්ෂයේ සිට පාර්ලිමේන්තුවේ විවිධ නිලතල දරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී තමයි අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස වැඩ භාරගත්තේ.
මැතිවරණ බල ප්‍රදේශ 60 ක ඉතාමත් හොඳ ශක්තිමත් සංවිධාන යාන්ත්‍රණයක් තිබෙන අපේ පක්ෂය තමයි රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂය. අවුරුදු 17ක් විපක්ෂයේ සිට අපි 1994 දී ආණ්ඩු බලය ලබාගත්තා. යළිත් 2001 දී අපි විපක්ෂයට වැටුණා. නමුත් අවුරුදු 2 යි මාස තුනක් ඇතුළත සංවිධානය වෙලා අපි ආණ්ඩු බලය ලබා ගත්තා. ඉදිරි මාස තුන ඇතුළත යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට මම මේ පක්ෂය සංවිධානය කරනවා.
ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් ශක්තිමත් මානව සම්පතක් සිටිනවා. 94 සිට මේ දක්වාම මේ රට පාලනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුනුයි. ඒ අර්ථයෙන් බැලුවාම මේ තරම් වාසනාවන්ත දේශපාලන පක්ෂයක් ආසියානු කලාපයේම නෑ.
පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 127 ක් ඉන්නවා. සන්ධානයක් ලෙස ගත්තාම මන්ත්‍රීවරුන් 136 ක් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදීව බැලූවිට ආණ්ඩු බලය ලැබිය යුත්තේ අපටයි. නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නව අර්ථකථන සපයන්න සිදු වී තිබෙනවා.
පක්ෂයේ සංවිධායකයන්ට නිතර නිතර උපදෙස් දීමට අවශ්‍ය නෑ. පැහැදිලි යම් දෙයක් ඔවුන්ට කිව්වාම ඔවුන් එය කරනවා. පළාත් සභා නවයෙන් පළාත් සභා හතක සිටින්නේ අපේ මහ ඇමතිවරුනුයි. පළාත් පාලන නියෝජිතයන් 2912 ක් ඉන්නවා. මේ ශක්තිමත් මහජන නියෝජිතයෝ මෙහෙයවමින් නියමිත වෙලාවේදී ආණ්ඩු බලය ලබාගැනීමට අපි ක්‍රියා කරනවා.
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන්ට ලක් වූ පාක්ෂිකයන්ට ලිඛිතව පක්ෂ මූලස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම පක්ෂ මූලස්ථානයට පැමිණත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා.
පක්ෂය තරුණයන්ට විවෘතයි. පසුගිය කාලයේ පක්ෂයේ තරුණ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේදී එය නිල් බළකාය නමින් හැඳින්වූවා. නමුත් පක්ෂයේ නව ව්‍යවස්ථා සංශෝධනය කිරීමත් සමග පක්ෂයේ සියලු සංවිධාන පෙරමුණු නමින් හඳුන්වනවා. ඊළඟ පරපුර වශයෙන් මේ අද ඉන්න අයයි පක්ෂයේ වගකීම් භාරගන්නේ. එබැවින් තරුණ පෙරමුණ සංවිධානය කිරීමේ වගකීම තරුණයන්ටම පවරා තිබෙන බවද පැවසීය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය කැපකළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුට ජාතික සංවිධායක තනතුර හා පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර ලබා දී තිබෙනවා. මෙමගින් පක්ෂය තව තවත් ශක්තිමත් වෙනවා.
250 ක් පමණ වූ පක්ෂයේ නිලධාරී මණ්ඩලයක් අතුරෙන් මධ්‍යම කාරක සභාව තෝරා ගැනීම අභියෝගයක්. මොකද හැමෝම බලාපොරොත්තු වන්නේ පක්ෂයට දීර්ඝ කාලීනව සේවය කිරීමත් සමග තනතුරු ලබා ගන්නයි. නමුත් අපේ නිලධාරී මණ්ඩලය එම අභියෝගය ජය ගනිමින් ශක්තිමත් දෙදෙනෙකුට ජාතික සංවිධායක තනතුර හා භාණ්ඩාගාරික තනතුර ලබා දී තිබෙනවා.
මම එතුමන්ලාට සුබ පතනවා. මහා මැතිවරණය ළඟ ළඟ එනවා. ඉදිරි සතියේදී පක්ෂයේ සියලුම නියෝජිතයන් හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. ඉදිරියේදී පක්ෂයට ආණ්ඩු බලය ලබාගෙන මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ රජයක් පිහිටුවීමට අපි ක්‍රියා කරනවා යැයිද පැවසීය.
නව භාණ්ඩාගාරික එස්. බි. නාවින්න
මේ රටේ ලොකු වෙනසක් ඇති කිරීමට අපට සිදු වී තිබෙන්නේ ඉතාම කෙටි කාලයකිනුයි. මොකද ඉතාම කෙටි කාලයකින් ආණ්ඩු බලය ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට අපි ක්‍රියා කරනවා.
මම මේ පක්ෂයට සම්බන්ධ වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේදී. 89 දී මම පාර්ලිමේන්තු එනවා. ඉන්පසු මම පළාත් ප්‍රධාන ඇමති තනතුරෙත් කටයුතු කළා. පාර්ලිමේන්තුවේ විවිධ ඇමැතිකම් දැරූ මම අවසන් කාලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිකම් දැරුවා.
අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ මට පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර ලබාගැනීමට ක්‍රියා කළ පක්ෂයේ විධායක සභාව ඇතුළු පක්ෂයේ සියලුම සාමාජිකයන්ට මම ස්තූතිවන්ත වෙනවා යැයි ද පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රීලනිප ජාතික සංවිධායක ලෙස වැඩ භාරගත් අවස්ථාව

එස්. බි. නාවින්න භාණ්ඩාගාරික ලෙස වැඩ භාරගත් අවස්ථාව...
නාලක සංජීව දහනායක
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
Post a Comment