BREAKING NEWS

රටතොට

Wednesday, February 11, 2015

මහින්දට කළින්ම වීසා ලබාදුන් රාජකීය පචෝරිස්...!!!

“රාජපක්ෂ මහත්තයා ගෙදර යැවීමේදී අපි පළමුවෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි එතුමාගේ කේන්ද්‍රකරු  සුමනේ. සුමනේ තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. මොකද සුමනේ නැත්නම් මේ ජනාධිපතිවරණයත් නෑ. 

තව අවුරුදු දෙකක් රාජපක්ෂ  මහත්තයට ඉන්න තියන කාලෙත් අඩු කරලා සුමනේ මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.” මෙසේ කී අමාත්‍යවරයා ඉහත වාක්‍ය කිහිපයට කදිම පසුවදනක් ද ඉදිරිපත් කළේය.

ඒ “තෑන්ක් යූ සුමනේ” කියමිනි.
 
නව රජයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක...
“මහින්ද රාජපක්ෂ   පරාජයට පත් වන බව මා කල් ඇතිවම දැන සිටියා. ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේනගේ කේන්ද්‍රය ඊට වඩා  ප්‍රබල වීමයි. නමුත් මට මේ ටික මහින්ද රාජපක්ෂට කියා ගන්න විදිහක් තිබුණේ නැහැ.

”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘රාජකීය ‍ජ්‍යොතිර්වේදියා’ ලෙස කාගේත් දැන හැඳුනුමට ලක්ව සිටින ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන  පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මාධ්‍යයට එසේ පවසා තිබිණ. සැබැවින්ම ඔහුගේ එම ප්‍රකාශය කාගේත් ඇස් උඩ
හිඳුවන්නකි. 










මක්නිසාද යත් 2016 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2015 වසරේ පවත්වන ලෙසත් ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ රාජපක්ෂ ජනාධිපති වරයාගේ රාජ යෝග උච්චතම ස්ථානයට පත්වන ජනවාරි අට වැනිදා බවත් සුමනදාස අබේගුණවර්ධන  මහින්ද රාජපක්ෂට කල් ඇතිවම උපදෙස් දී තිබූ බව රටම දන්නා බැවිනි.

නව රජයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක පිළි ගැනීමේ උළෙලක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවලන්තැන්න ප්‍රදේශයේදී පැවැත්විණ. එය සංවිධානය කොට තිබුණේ තවලන්තැන්න වෙළෙඳ සංගමය මගිනි. එම උත්සවය අමතමින් අමාත්‍යවරයා කළ කතාවෙන් කොටසක් ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.


“රාජපක්ෂ  ගෙදර යැවීමේදී අපි පළමුවෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි එතුමාගේ කේන්ද්‍රකරු  සුමනේ. සුමනේ තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. මොකද සුමනේ නැත්නම් මේ ජනාධිපතිවරණයත් නෑ. 


තව අවුරුදු දෙකක් රාජපක්ෂට ඉන්න තියන කාලෙත් අඩු කරලා සුමනේ මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.” මෙසේ කී අමාත්‍යවරයා ඉහත වාක්‍ය කිහිපයට කදිම පසුවදනක් ද ඉදිරිපත් කළේය.

ඒ “තෑන්ක් යූ සුමනේ” කියමිනි.


මෙවර ජනාධිපතිවරණ සමයේ මෙරට රාජ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය  ප්‍රචාරක කටයුතු සිදුකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ප්‍රචාරක මාධ්‍ය ආයතන ලෙස එළිපිටම ක්‍රියාකරමිනි. ස්වාධීන රූපවාහිනිය ඒ අතරින් ද පෙරටුවෙයි. 


ඒ නිසාම ස්වාධීන රූපවාහිනිය මගින් 2015 ජනපතිවරණය මුල්කොට ගත් ‍ජ්‍යොතිෂ අනාවැකි ඇතුළත් විශේෂ ‘ඇතුළාන්තය’ වැඩසටහනක් පසුගිය දෙසැම්බරයේ ප්‍රචාරය කෙරිණි.

ඒ සඳහා එක්ව සිටි ‍ජ්‍යොතිර්වේදීන් අතරින් ප්‍රමුඛතමයා වූයේ ද සුමනදාසය. එහිදී ඔහු ප්‍රේක්ෂකයන් හමුවේ සහතික කොට පවසා සිටි විශේෂ අනාවැකියක් විය. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තෙවරක් නොව සිව්වරක්ම මෙරට ජනාධිපති පදවියට පත්වන බවය.


එමෙන්ම සුමනදාස  එහිදී පළ කළ අනාවැකියේ විශේෂත්වයක් ද විය. එනම් රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයෙන් ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව මෙන් දස ගුණයක ඡන්ද සංඛ්‍යාවක් 2010 ජනාධිපතිවරණ යෙන් ලබාගත්තා සේම එය ද අභිබවන වැඩි ඡන්ද සංඛ්‍යාවක් 2015 ජනාධිපතිවරණයෙන් ඒකාන්ත වශයෙන්ම ලබා ගන්නා බවය. 

එමෙන්ම ඔහු එම ප්‍රකාශය කරනුයේ මෛත්‍රීපාල සිරිසේන  පසුගිය නොවැම්බර් 21 සිකුරාදා එවක පැවැති රජයෙන් ඉවත් වී 2015 ජනාධිපති වරණ ‍පොදු අපේක්ෂක ලෙස දේශපාලන කරලියට පැමිණි පසු බව ද අප අමතක කළ යුතු නැත. 

මෙවන් තත්ත්වයක් යටතේ මෙවර ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්ෂ  පරාජය වන බව තමන් කල් ඇතිව දැන සිටි බවටත් රාජපක්ෂට ඒ බව පැවැසීමට බියෙන් පසු වූ බවටත් ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශය කෙතරම් සාවද්‍ය කූට එකක් ද යන්න සිතා බැලීම බුද්ධිමත් පාඨක ඔබට භාරකරමි.

ජනාධිපතිවරණයෙන් පසු තමන් කලින් කී අනාවැකි පිළිබඳව ආත්ම විවේචනයක් සිදු නොකොට ‘කිතුල් ගහට ගිය මිනිහාගේ කතාව” කීමට තරම් බාල බොළඳ තත්ත්වයට පත් වූ මෙම ‘රාජකීය ජ්‍යොතිර්වේදියාගේ ජ්‍යොතීර්වේදී ඉතිහාසය ද ඉල ඇදෙන අනාවැකිවලින් පිරී පවතින්නකි.
ඒ බවට දැනට මා සතුව ඇති සාක්ෂි බොහොමයකි. මේ ඉන් සුළු ප්‍රමාණයක් පමණි.


2009 වසරේ පෙබරවාරි 08 ඉරිදා සිළුමිණ පත්‍රය සඳහා ඔහු විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවක ද එවැනි ඉල ඇදෙන අනාවැකිවලින් පිරී තිබේ. “ජනාධිපතිතුමාගේ විතරක් ‍නෙවෙයි රටේ කේන්ද්‍රයත් හොඳ වෙලා” යනුවෙන් එහි තුන්වන පිටුවේ පළවන එම සාකච්ඡාවේ කොටස් කිහිපයක් මෙහි එලෙසින්ම උපුටා දක්වමි.


“එස්.බි. දිසානායකගේ ග්‍රහචාරය කොහොමද?


එතුමා මගේ පැරැණිම මිතුරෙක්. නමුත් මගේ සහෝදරයෙක් ඡන්දය ඉල්ලුවත් ඇත්ත කියන්න වෙනවා. එතුමා ඒකාන්ත වශයෙන්ම මධ්‍යම පළාතේ විපක්ෂ නායක ධුරයට පත් වෙනවා. ඒකට කිසිම බාධාවක් මතු වෙන්නේ නෑ.”


සුමනදාස  මෙම අනාවැකිය පවසනුයේ එස්.බි. දිසානායක  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටි යුගයේදීය. එහෙත් ඒ වසරේම දෙසැම්බර් මාසයේ ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  හා එක්වනුයේ සුමනදාසගේ අනාවැකිය ‘ඉල ඇදෙන’ විහිළුවක මට්ටමකට ඇද දමමිනි.

ඉහත සඳහන් සිළුමිණ පත්‍රයේ පළවූ සුමනදාස  පළ කළ තවත් එබඳුම අනාවැකියක් ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.


“මම තව අනාවැකියක් කියන්නම්. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා ඇවිත් වෙනම පක්ෂයක් හදා ගත්තු විමල් වීරවංශ  මේ රටේ දිගු දේශපාලන ගමනකට මුල පුරනවා.


තව මාස හයක් ගත වෙද්දී (2009 අගෝස්තු මාසයේදී පමණ) ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තුනෙන් දෙකක් එහෙමත් නැත්නම් සියයට හැත්තෑපහක් විතර විමල් වීරවංශ  වටා පෙළ ගැහෙනවා.”


සුමනදාස  මෙම අනාවැකිය පළකරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙළේ ක්‍රියාකාරිකයකුව සිටි විමල් වීරවංශ  ඉන් ඉවත් වී 2008 මැයි මාසයේ ජාතික නිදහස් පෙරමුණ නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමෙන් මාස අටක් ඇවෑමෙනි. 


නමුත් සුමනදාස  අනාවැකි පළ කළ අන්දමට ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් තබා සුළුතරයක්වත් වාමාංශික දේශපාලනයෙන් සමුගත් වීරවංශ  හා දේශපාලන දීගයකට පැමිණියේ නැත.  

මෙලෙස දිව හැරෙන හැරෙන පැත්තට මෙබඳු අනාවැකි කීමේ රුසියකු වන සුමනදාස  ප්‍රභාකරන්ගේ ඉරණම සම්බන්ධයෙන් සෘජු අනාවැකියක් පළ නොකළ අතර ඔහු එහිදී පළ කොට ඇත්තේ එකිනෙකට පරස්පර දියාරු අනාවැකි කිහිපයක් පමණි. එමෙන්ම යුද ජයග්‍රහණය පිළිබඳ කාල වකවානුවක් වැනි නිශ්චිත යමක් නොපවසන ඔහු මෙවැන්නක් කියා තිබේ.  


“ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් එක්ක ගැටුණත් ලෝකයේ සිටින විනීතම හා දක්ෂතම හමුදාව හැටියටත් අපි ගරු බුහුමන් ලබනවා. 


ජනාධිපතිතුමා එක්කම සරත් ෆොන්සේකා  ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුනුත් ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන චරිත බවට පත් වෙනවා. ඒක වළක්වන්නත් කාටවත් කුමන බලවේගයකටවත් බැහැයි කියන කාරණයත් මම ඒකාන්ත වශයෙන් කියනවා.”

එහෙත් ඔහු මෙම අනාවැකිය යුද්ධය නිමා වූ දිනවලම තම හිත මිතුරු මහින්ද රාජපක්ෂ  හා කීයේ නම් ජනරාල් සරත් ෆොන්සේකාගේ පසුගිය අමිහිරි කාලපරිච්ජේදය ඊට වඩා යහපත් වීමට ඉඩ තිබිණ.


මේ අතර මෙම රාජකීය දෙවඥයා දේශපාලන අනාවැකිවලින් බැහැර අපේ රට සම්බන්ධ තවත් ප්‍රබල අනාවැකියක් ද එම පුවත්පත මගින්ම ඉදිරිපත් කොට ඇත.


ඒ ගත වූ එක්තරා කාලසීමාවක් තුළ අපේ රටේ උතුරු මැද පළාතෙන් පවා මැණික් ලැබිමේ විස්මිත ප්‍රවණතාවක් පිළිබඳවය. ඒ අනාවැකිය ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.


“2010 මැයි 02 දාත් 2011 මැයි 07 දාත් අතර කාලයේදී මේ රටේ භූමියෙන් මහා ධන නිධාන පහළ වෙනවා. ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පත්‍රයේ ධනස්ථානය ගැන කියැවෙන දෙවැන්නට ගුරු ග්‍රහයා පැමිණෙනවා. මේක මහා බලගතු යෝගයක්. 


සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාතේත්, උතුරු මැද පළාතේ එක්තරා තීරුවක් ලෝකයේ දුර්ලභ, ඉතාම මිල අධික මැණික් සහිත ඉල්ලම් මතු වෙන්න ගන්නවා. 

සූදානමින් ඉන්න. මැණික්වලින් මහා ධනයක් උපයන්න පුළුවන් කාලයක් උදා වෙනවා.” එහෙත් ඔහුගේ මෙම අනාවැකිය ද පට්ටපල් බොරුවකි. එම කාල සීමාව තුළ උතුරු මැද පළාතෙන් තබා සබරගමු වෙන්වත් එලෙස විශේෂිත මැණික් ඉල්ලම් පෑදීමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැත.

රාජකීය ‍ජ්‍යොතිර්වේදියා ලෙස සැලකෙන සුමනදාස  පසුගිය කාලයේ පළ කළ අනාවැකි අතුරින් සුපිරිම විහිළුව වනුයේ කරු ජයසූරිය ගේ දේශපාලන අනාගතය සම්බන්ධ අනාවැකියයි. ඉහත සඳහන් සිළුමිණ පත්‍රයේ ඒ සම්බන්ධ කොටස මෙලෙසිනි.


“සුප්‍රකට චරිත බොහොමයක කේන්ද්‍ර පිටපත් ඔබ ළඟ තිබෙන බව ඔබ කියනවා. කරු ජයසූරිය ගේ කේන්ද්‍ර කොපියක් නැද්ද?”


“‍ජ්‍යොතිෂය පැත්තෙන් අපි දකින හැම දේම වග විභාගයක් නැතිව කියන එක ආචාරධර්ම විරෝධියි. විශේෂයෙන්ම ප්‍රකට පුද්ගලයන්ගේ ග්‍රහ බලපෑම් දුර්වල වෙන කොට ඒවා ඒ විදිහටම ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ.”
එසේ පවසන සුමනදාස  ඒ සමගම මුල පුරනුයේ ද ඒ ආචාර විරෝධී ක්‍රියාවටමය. ඒ මෙලෙසිනි.


“පසුගිය දෙසැම්බර් 09 දා රාත්‍රී 11.51ට ගුරු නීච වුණා. නිලතල බලය තනතුරු ලබා දෙන්නේ ගුරු ග්‍රහයායි. ඒ ගුරු මාරුවෙන් පස්සේ කරු ජයසූරිය  ස්ව කැමැත්තෙන්ම ඇමැති ධුරය අත හැරියා. ජයග්‍රාහී පක්ෂයේ සිට පරාජිත පක්ෂයට ස්ව කැමැත්තෙන්ම ගියා. තවදුරටත් රාජ්‍ය පදවි තානාන්තර දරන්න එතුමාට වාසනාව නෑ. 


එතුමා නැවත කිසි දිනක මේ රටේ ඇමැති ධුරයක් දරන්නේ නෑ. රාජ්‍ය ගෞරව, රාජ්‍ය නිලතල ලබා දුන් ග්‍රහයෝගය අවසානයි. කරු ජයසූරිය  තව බොහෝ කාලයක් දේශපාලනයේ ක්‍රියාකාරී වුණත් ඔහු කවදාවත් ඇමැති මණ්ඩලයක සාමාජිකයෙක් බවට පත් වෙන්නේ නෑ.”

සුමනදාස  පවසනුයේ මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමටයයි පවසමින් එ.ජා.ප.ය හැරදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැමිණ එහි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති පදවියද හෙබවූ කරු ජයසූරිය  2008 දෙසැම්බර් 09 වනදා යළි එ.ජා.ප.යට එක්වූ පසුබිමකය.


කරු ජයසූරිය  නැවත මේ රටේ කවදාවත්ම ඇමැති ධුරයකට පත් වෙන්නේ නැති බව ඔබ ස්ථිරවම කීවද?


‘සිළුමිණ’ මාධ්‍යවේදියා සුමනදාසගෙන් අසයි. එවිට ඔහු දෙන්නේ මෙවන් පිළිතුරකි.


“ඒකාන්තයෙන්ම ඔව්.”


කවදාවත්ම එතුමා නැවත ඇමැති ධුරයකට පත්වෙන්නේ නෑ. ඒක එතුමාගේ ප්‍රශ්නයක් ‍නෙවෙයි. ඒ තමා ග්‍රහචාරයේ හිමි ස්වභාවය. 2008 දෙසැම්බර් මාසයේ 09 වැනිදා රාත්‍රී 11.51න් පසුව එතුමාගේ රාජ යෝගය අවසාන වුණා. 


මේ ප්‍රකාශය මම කරන්නේ කරු ජයසූරියගේ කේන්ද්‍රය ගැන මනා අවබෝධයක් ඇති කෙනෙක් හැටියටයි. එතුමා ඉතාම  හොඳ මහත්මයෙක්. චරිතවත් කෙනෙක්. නමුත් කියන්න තියෙන තිත්ත ඇත්ත ඕකයි.

‍ජ්‍යොතිෂයේ කියැවෙන ග්‍රහචාර, ග්‍රහ අපල, වෙනස් කර ගන්න බැරිද?
ඒ ‘සිළුමිණෙ’න් නැගෙන ඊළඟ පැනයයි. ඊට සුමනදාස දෙන පිළිතුර කොතරම් හාස්‍යජනකදැයි විමසා බලන්න.


“පුළුවන්. එහෙම වෙනස් කර ගන්න පුළුවන් ග්‍රහ යෙදුම් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහචාරය ‍නෙවෙයි. ඒ ග්‍රහවාරයෙන් තමන්ට එල්ල වෙන පීඩාව, අපල අවම කර ගන්න විවිධ, ක්‍රම තියෙනවා. ඒ වගේම කිසි සේත්ම බලපෑම් වෙනස් කරන්න බැරි ග්‍රහචාරත් තියෙනවා. කරු ජයසූරිය මහතා අයත් වෙන්නේ මේ දෙවැනි අවස්ථාවටයි. 


මම නැවත කියනවා 2008 දෙසැම්බර් 09 දා රාත්‍රී 11.51 න් පස්සේ කරු ජයසූරියගේ රාජයෝගය ප්‍රබල ග්‍රහ පිහිටීම අහෝසි වුණා.” ඒ කෙසේ හෝ මෙවර ජනපතිවරණයත් සමග මේ රාජකීය ජ්‍යොතීර්වේදියා ට ග්‍රහ තරු නොවන ‘දවල් තරු’ පෙන්වමින් වත්මන් රජයේ බුද්ධශාසන අමාත්‍ය පදවිය හිමිකර ගැනීමට කරු ජයසූරිය  සමත්ව තිබේ. 

ඒ අනුව බලවත් රාජයෝග රැසකින් සමන්විත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  නියමිත ධුර කාලය නිමා වීමටත් පෙර බලයෙන් පහකොට ගෙදර යවා වෙනස් කළ නොහැකි බෙලහීන ග්‍රහපිහිටීම් රැසකට හිමිකම් කී  කරු ජයසූරිය  මුල් පෙළේ අමාත්‍ය පුටුවක හිඳවා ලූ රාජකීය දෙවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ගේ මෙම ‍ජ්‍යොතිෂ  ශාස්ත්‍රයේ විශ්වාසනීයත්වය පිළිබඳ අප තවදුරටත් කතා කළ යුතු නැත. 

ඒ කෙසේ වෙතත් එය මින් ඉදිරියට සකල හුදී ජනයා හට සතුට දැනවිය හැකි විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස යොදා ගැනීමේ නම් සුපිරි හැකියාවක් පවතිනු ඒකාන්තය.

- තිලක් සේනාසිංහ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger