BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 15, 2015

ජපානේ අවුරුදු දෙකක් හිටපු මම හෝන් ගැහුවෙ ඵක පාරයිනෙ බොලං...!!!

සංසන්දනාත්මකව බැලීමේදී ජපානයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉතා පහළ මට්ටමක පවතී. මා දකින පරිදි මෙයට හේතුව විමසා බැලීමත්, ජපානයේ සමාජය පිළිබඳ ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කිරීම මෙම සටහන තැබීමේ අරමුණයි.

මූලිකවම රිය අනතුරකට හේතුවන ප්‍රධාන අංශ 3කි. මිනිසුන්, වාහන සහ මාර්ග පද්ධති මෙම අංශ 3යි. මිනිසුන් යනු රියැදුරන් සහ පදිකයන්ය. ශ්‍රී ලංකාව හා සැසඳීමේදී ජපානයේ රියැදුරන් මෙන්ම පදිකයන්ද මනා හික්මීමකින් යුක්තය. ඔවුන්ගේ විනය අතිමහත්ය. ශ්‍රී ලාංකික රියැදුරන් මාර්ගවල ගමන් කරනුයේ එකිනෙකා පරදා යෑමේ උත්සාහයක් සමඟිනි. එම තරගකාරී මානසිකත්වය යනු ඔවුන්ගේ නොහික්මුණු බවයි. වාහනයක නළාව නාද කිරීම ශ්‍රී ලාංකේය රියැදුරන්ගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් ජපානයේ නළාව භාවිත කරනුයේ හදිසි අවස්ථාවක පමණි. ජපානයට පැමිණි පසුගිය වසර දෙක ඇතුළතදී මා විසින් නළාව භාවිත කරනු ලැබ ඇත්තේ එකම එක වතාවකි.


රිය අනතුරු යනු ශ්‍රී ලාංකේය සමාජය අරක්ගත් රකුසකු බඳුය. දිනපතා පුවත්පත් කියවන්නකුට ශ්‍රී ලංකාවේ කොතරම් රිය අනතුරු සිදුවනවාද යන්න වටහා ගැනීමට ගත වන්නේ නිමේෂයකි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද දත්තයන්ට අනුව 2011දී රියැදුරන් විසින් කරන ලද මුළු වැරැදි ප්‍රමාණය 4,89,481කි. බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් පැදවීම, බලපත්‍ර නොමැතිව ගමන් කිරීම මේ අතර වෙයි. කෙසේ වෙතත් සත්‍ය දත්ත මෙයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි මගේ විශ්වාසයයි. විකිපීඩියා අන්තර්ජාල පිටුවට අනුව ශ්‍රී ලංකාවේ සෑම වාහන 1,00,000කින් 221.3ක් අනතුරට ලක්වේ. ජපානයේ මෙම අගය 6.8කි. එමෙන්ම ලංකාවේ සෑම පුරවැසියන් 1,00,000කට 13.7 දෙනෙක් රිය අනතුරුවලින් මිය යති. ආබාධයන්ට ලක්වන ප්‍රමාණයද ඉහළ අගයකි.
 

Shareරියැදුරන්ගේ මේ විනීතභාවයට ප්‍රධාන හේතුව වන්නේ රියැදුරු බලපත්‍රයක් ලබාදීමේදී අනුගමනය කරන පිළිවෙතයි. පළමුව බලපත්‍රය අයැදුම් කරන්නා රියැදුරු පාසලකින් වාහන පැදවීම පිළිබඳ මනා පුහුණුවක් ලබා තිබිය යුතුය.
රියැදුරු පාසලකින් රිය පැදවීම ඉගෙන ගත් පසු ලිඛිත පරීක්‍ෂණයකි. ඉන් සමත් වූ අයැදුම්කරු සම්මුඛ පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුය. මෙම පරීක්‍ෂණ දෙකම සමත් පුද්ගලයා ප්‍රායෝගික පරීක්‍ෂණයකට සහභාගි විය යුතුය. එහිදී අයැදුම්කරුට කිසිදු වැරැද්දකට අවකාශයක් නොමැත. මෙම ප්‍රායෝගික පරීක්‍ෂණය පළමු උත්සාහයෙන්ම සමත් වනුයේ අතළොස්සකි. හතර පස් වතාවක් මෙම පරීක්‍ෂණයට පෙනී සිටින අයැදුම්කරුවෝ සිටිති. ඉන්පසු වෛද්‍ය පරීක්‍ෂණයකි. ශ්‍රී ලංකාවේ ඕනෑම වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද සහතිකයක් පිළිගනු ලැබුවද ජපානයේ බලපත්‍ර නිකුත් කරන ආයතනය මෙහෙයවන පරීක්‍ෂණය අයැදුම්කරුවන් සමත් විය යුතුය. මෙසේ නිකුත් කරන අයැදුම්පතට වර්ණයක් නිකුත් කරයි. කොළ, නිල් සහ රන්වන් පැහැයෙන් නිකුත් කරන බලපත්‍ර අතරෙන් කොළ බලපත්‍රය නවකයන් සඳහාය. වලංගු කාලය අවුරුදු 3ක් වන මෙය ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් නිල් හෝ රන්වන් බලපත්‍ර කාණ්ඩයන්ට උසස් කරයි. යම් රියැදුරකු මාර්ග නීති උල්ලංඝනය කළ ප්‍රමාණය අධික නම් ඔහුගේ බලපත්‍රය අවලංගු කරයි.

රියැදුරන්ට නොදෙවැනි වගකීමක් පදිකයන් සතුය. පදික වේදකා ඇති සැම විටම ඒවා භාවිත කිරීම, නිවැරැදි ස්ථානයෙන් පාර මාරු වීම මේ අතර ප්‍රධාන වේ. ජපානයේ මෙය හොඳින් සිදු කරන නමුත් ශ්‍රී ලාංකික ජනතාව මේ කෙරෙහි යොදන අවධානය නැති තරම්ය. ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේද ජංගම දුරකතන භාවිත කරමින් ගමන් කරන නරක පුරුද්ද ඇති නමුත් මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීමේ අඩුවක් නැත. ජපාන පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් රිය අනතුරු බහුලව සිදුවනුයේ රාත්‍රියේ බව වටහාගෙන ඇත. එම නිසා රාත්‍රියේ ගමන් කරන පදිකයන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු විශේෂිත උපදෙස් මාලාවක් ඇත.

පෞද්ගලික වාහනවල ගමන් කරන විට ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල සිටින අයද ආසන පටි සවිකර ගැනීම අනිවාර්ය වේ.
ළමයින්ට ළමා අසුන් භාවිතය ජපානයේ අනිවාර්යය. ළමා අසුන් භාවිතයේ වැදගත්කම ගැන ජපාන පොලිසිය පාසල්, පෙර පාසල් ගුරුවරුන් හා මවුපියන් දැනුවත් කරයි. මෙහිදී පරිගණක භාවිතයේ සැකැසූ වීඩියෝ දර්ශන, අතීතයේ ඇති වූ රිය අනතුරු සහ ඒවා ඇති වීමට හේතූන්ද විශ්ලේෂණය කර පැහැදිලි කරයි.
මංසන්ධිවල සවිකර ඇති විශාල ප්‍රමාණයේ දර්පණ මාර්ග ආරක්‍ෂාව වැඩි කිරීමට තවත් හේතුවකි. එමඟින් රියැදුරන්ට අනෙක් පසින් පැමිණෙන වාහන මෙන්ම මගීන්ද පැහැදිලිව දර්ශනය වේ.

අනාරක්‍ෂිත ස්ථාන රියැදුරන්ට මෙන්ම මගීන්ටද පැහැදිලිව දුර සිට පෙනෙන විවිධ ක්‍රම මෙහි භාවිත කරයි. අනාරක්‍ෂිත මංසන්ධිවල මාර්ගය මත නිල් පැහැයෙන් වර්ණවත් කර ඇත. එවිට එය රියැදුරුට අෑත සිට දර්ශනය කරගත හැකි වනවා සේම තමන් ආරක්‍ෂිතව රිය පැදවිය යුතු බවට සංඥාවක්ද දෙයි. විදුලි රැහැන් සහිත කණුවල කහ සහ කළු පැහැයෙන් යුතු පටියක් සවිකර ඇත. පාර දෙපස අනාරක්‍ෂිත ස්ථානවල කුඩා කණු සවිකර ඇත. සියලු අනාරක්‍ෂිත ස්ථාන විවිධ සංඥා මඟින් පදිකයන් හා රියැදුරන් දැනුවත් කර ඇත. මෙම සලකුණු සාමාන්‍යයෙන් භාවිත කරන මාර්ග සංඥා පුවරුවලට අමතරවය. අපද ශ්‍රී ලංකාවේ මාර්ගවල අනාරක්ෂිත ස්ථානවල අනාරක්‍ෂිත බව හැඟෙන සංඥා වැඩි වැඩියෙන් භාවිත කරන්නේ නම් රිය අනතුරු අවම කරගත හැකිය.

රියැදුරන්, මගීන් මෙන්ම වගකිවයුතු බලධාරීන්ද අපගේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා මඳක් සිතිය යුතුය යන්න අවධාරණය කිරීම මෙම සටහනේ අරමුණයි. ජපාන පොලිස් දෙපාර්තමේන්තුව, පාසල්, මහජනතාව, ව්‍යාපාරික ස්ථාන හා ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව දැනුවත් කිරීම්, පරීක්‍ෂණ කටයුතු සහ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා පොලිසියද රියැදුරන් හට දඩ කොළය දීමෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
'ඉචටඥබර ටඪපඵබ ඪඵ ඵචටඥබර ඒතඹචරඵ' එනම් 'පළමුව ආරක්‍ෂාව යනු සැම විටම ආරක්‍ෂාවයි' එම වදනත් සමඟ මෙම සටහනට තිත තබමි. අපි සැම විටම ආරක්‍ෂිතව ගමන් කරමු.

ප්‍රදීප් අබේගුණවර්ධන

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger