BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, January 14, 2015

ශ්‍රී ලාංකීය සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් හා භාග්‍යවත් තෛපොංගල් උළෙලක්‌ වේවා!

අද තෛපොංගල් උත්සව දිනයයි. ශ්‍රී ලාංකීය හින්දු භක්‌තිකයන් සාර්ථක අස්‌වැන්නකට තුති පිදීමේ වැදගත් මංගල්‍යයක්‌ ලෙස තෛපොංගල් උළෙල සැමරීම සිදු වේ.තෛයි මස පළමු දිනයෙන් හැඳින්වෙන මෙම උත්සවය සෞභාග්‍යවත් අස්‌වැන්නක්‌ වෙනුවෙන් හිරු දෙවියන්ගෙන් ලද සියලු ආශිර්වාදයන්ට තුති පුද කිරීම සඳහා සාම්ප්‍රදායානුකූලව වෙන් වූවකි. 

පොංගල් හෙවත් කිරි හා බත් එකට ඉතිරවීම තුළින් සූර්යයාගේ ආශිර්වාදයෙන් ජීවිතයේ නව අවස්‌ථාවන්වල ආරම්භය සනිටුහන් කිරීම මෙම උත්සවයේ වැදගත් අංගයකි. පළමු අස්‌වැන්න සූර්යයාට පුද කිරීමේ මේ අවස්‌ථාව 'සූර්ය මංගල්යම්' ලෙස සැලකේ. එමගින් එළැඹෙන වසරේ හොඳ අස්‌වැන්නක්‌ හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්‌ඩව ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්‌වීමට දැඩි ලෙන්ගතුකමින් පවුල් හා ජන කොටස්‌ එක්‌ කෙරේ.
මෙහි දෙවැනි දිනය සී සෑම, ප්‍රවාහනය, කිරි හා පොහොර සැපයීම සඳහා යොදා ගන්නා ගවයන්ට මල් මාලා පළඳවා කෘතගුණ දැක්‌වීමේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය සඳහා යොදා ගැනේ.

එමෙන්ම මනුෂ්‍යයා හා සොබා දහම අතර ඇති සබැඳියාව මෙන්ම දෙවියන් වන්දනාමාන කිරීමේදී හා ආශිර්වාද සඳහා කෘතගුණ දැක්‌වීමේදී මිනිසුන් අතර ඇති එකමුතුව සහ ප්‍රජා හැඟීම නැවත ප්‍රාණවත් කිරීම ද එය අනාගත සාර්ථකත්වය සඳහා ආශිර්වාද ලැබීමේ බලාපොරොත්තුව සංකේතවත් කිරීම ද තෛපොංගල් උත්සවය සනිටුහන් කරයි. අප සියලු ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් හා භාග්‍යවත් තෛපොංගල් දිනයක්‌ ප්‍රාර්ථනා කරමු.

එමෙන්ම මේ 'වෙනසක්‌' බලාපොරොත්තු වූ රටක, 'වෙනසක්‌' සිදු වූ රටක මුල් දින කිහිපයයි. එහෙයින්ම තෛපොංගල් උත්සවයට පාදක වන ඉහත කී උදාරතර අරමුණු මේ වෙනසට යම් උත්තේජයක්‌ සපයන දැ බව කිව යුතුය. ඒ නිසාම දේශයේ සාමයට හා ජනතාව අතර සංහිඳියාවට කෘතගුණ දැක්‌වීමට ද මෙය මහඟු අවස්‌ථාවක්‌ වන බව කිව යුතුය.

තෛපොංගල් උත්සවය එළැඹෙන වසරේ 'හොඳ අස්‌වැන්නක්‌' පතා ආශීර්වාද පතන්නක්‌ බව අපි කීවෙමු. අලුත් අවුරුද්දේ ඇති කළ, ඇති වූ වෙනස ද 'හොඳ අස්‌වැන්නක්‌' වෙනුවෙන් භාවිත කළ යුතුය. තමා නෙළා ගන්නේ තමා වපුරපු දේ යනුවෙන් කතාවක්‌ තිබේ. ශ්‍රී ලාංකීය ජනතාව ද අවුරුද්ද ආරම්භයේදීම තමා වැපිරූ දේ සාර්ථක අස්‌වැන්නක්‌ සේ නෙළා ගැනීමට අදිටන් කළ යුතුය. ඇත්ත වශයෙන් ම එය ජනතාවටත් වඩා අදාළ වන්නේ ජනතාව පත් කළ දේශපාලන අධිකාරියටය. අස්‌වනු නෙළන තුරු අපි බලා සිටිමු.

* * * * * * * 

වැපිරීම සහ අස්‌වනු නෙළීම

ආරම්භයේදීම සරු අස්‌වැන්නක්‌ වෙනුවෙන් ආණ්‌ඩුව වපුරන්නට පටන් ගෙන ඇති බවක්‌ පෙනේ. ඒ ගැන අපේ ආරෝවක්‌ නැත. ප්‍රශ්නය වන්නේ මෙවැනි වැපිරූ අවස්‌ථා ගණනාවකදීම ලබාගත් අස්‌වැන්නක්‌ නොමැති වීමය. මෙවර එය එසේ නොවේවා යෑයි පතමු.

නිදසුනක්‌ ලෙස අත්‍යාවශ්‍ය භාණ්‌ඩ දහයක මිල පහත හෙළීම රාජ්‍ය සේවකයන්ට වැඩි වැටුප්, ජනතාවට සහන ලබා දෙන අතුරු අයවැයක්‌ වැනි දේ දැක්‌විය හැකිය. මේවා පොරොන්දු ලෙස අප පසුගිය වසරේ අයවැයේදී පවා ඇසූ දුටු දේය. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගතහොත් එය සූක්‍ෂම ඉලක්‌කම් එහා මෙහා කරවීමක්‌ මිස ලැබුණු දෙයක්‌ නැති බව නැගුණු චෝදනා අපමණය. එහිදී ලබාගත් අස්‌වැන්නක්‌ නැත. එවැනි 'පිලුණු පොරොන්දු' ගැන ජනතාව තවදුරටත් විශ්වාසය තබන්නේ ද නැත. ඒ නිසා අස්‌වනු නෙළා ගත හැකි අයුරින් වැපිරිය යුතුය. ඊළඟ කාරණය වන්නේ ජවිපෙ අල්ලස්‌ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලය. 

වරින්වර පත් වූ හැම ආණ්‌ඩුවක්‌ ම මෙවැනි චෝදනා විමර්ශන කිරීම රටට විහිළුවක්‌ වී හමාරය. ඒ එවැනි විමර්ශන වලින් සිදුවු දෙයක්‌ නොමැති නිසාය. මෙවරද ලැබෙන අස්‌වැන්න පෙර පරිදිම නම් වපුරා ඇත්තේ වඳ බීජ බව කිව යුතු ය.
උපුටා ගැනීම-දිවයින කතුවකියෙනි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger