BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, December 6, 2014

අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයෙකුම නඩු භාණ්‌ඩ පැන්වූ වග නම්...

අද මුදලට සහ බලයට සියල්ල යටපත් වෙමින් පවතී. ආරක්‍ෂාවට තිබූ දේ ඈලියාවට යන්නා සේ අධිකරණයේ තිබූ දේ අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරයා විසින් රැගෙන යයි. මේ විදහා දැක්‌වෙන්නේ අපේ නිරුවතයි. වංචාවට, හොරකමට, අල්ලසට, දූෂණයට හුරුවෙමින් එය නැතිවම බැරි තත්ත්වයට පුරුදු වී ඇති අපේ රටේ බොහෝමයක්‌ ආයතනවල මෙවැනි ක්‍රියා සිද්ධි දාම නොනවත්වාම සිදු වෙමින් පවතී. 

මළ හිරු බටහිර අහසේ යන්තමින් දිස්‌වෙමින් තිබේ. දිනය ඉකුත් සෙනසුරාදාය. සෙනසුරාදා දිනයට බණ්‌ඩාරවෙල නගරයේ සියලු කඩ සාප්පු වසා දමන බැවින් මුළු නගරයම පාලු ස්‌වභාවයක්‌ උසුලයි. ඉඳහිට දුවන රථ වාහන ස්‌වල්පයක්‌ හැරුණුකොට නගරය මුළුමනින්ම පාහේ ජන ශූන්‍ය තත්ත්වයට පත්වේ.

බණ්‌ඩාරවෙල ප්‍රදේශයට මේ දිනවලදී ඇද හැලෙන වර්ෂාවත් සමග ප්‍රදේශයට පතිත වන දැඩි මීදුමත්, දැඩි ශීතලත් නිසා ප්‍රදේශවාසීහු සෙනසුරාදා දිනයන්හිදී නිවෙස්‌ තුළට වී කාලය ගත කරන්නට පුරුදු වී සිටිති. වැඩිදෙනා සෙනසුරාදා දිනයන්හි නගරයට යන්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණකි.
බණ්‌ඩාරවෙල මූලස්‌ථාන පොලිසියේ සවිකර තිබෙන ප්‍රධාන බිත්ති ඔරලෝසුවේ වේලාව පස්‌වරු 4.30 පසු වී ගෙවී ගියේ මිනිත්තු දෙක තුනක්‌ පමණි. පොලිස්‌ හදිසි දුරකථන ඇමතුම් ඒකකයෙන් ත්‍රිරෝද රථයක්‌ පිළිබඳ තොරතුරක්‌ ලැබේ. එම ත්‍රිරෝ ද රථය වැලිමඩ බණ්‌ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බණ්‌ඩාරවෙල නගරය ආසන්නයේම ධාවනය වන බව තොරතුරෙන් කියවෙන්නේය.

මෙම තොරතුර ලැබීමත් සමග උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ මත බණ්‌ඩාරවෙල පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කඩිගුලක්‌ සේ යුහුසුළු වූහ. සිතන්නටත් වෙලාවක්‌ නොමැති තරම් වේ. පණිවිඩයෙන් දන්වා තිබූ පරිදි අවශ්‍ය ත්‍රිරෝද රථය නගරය ආසන්නයේම විය.

ගිනි අවි රැගත් පොලිස්‌ නිලධාරීහු කීප දෙනෙකු පොලිසිය ආසන්නයේම පල්ලිය අසලට පැමිණ ප්‍රධාන මාර්ගයේ මාර්ග බාධක යොදා සූදානමින් පසු වූහ. කාලය තත්පරයෙන් තත්පරය ගෙවී යමින් තිබේ. පොලිස්‌ නිලධාරීහු නොඉවසිල්ලෙන් ඉතා විමසිලිමත්ව මාර්ගය දෙපස බලා සිටිති.

ගත වූයේ නිමේෂයකි. වැලිමඩ බණ්‌ඩාරවෙල මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේ සිට බණ්‌ඩාරවෙල නගරය දෙසට පවනට බදු වේගයෙන් ඇදී එන ත්‍රිරෝද රියකි. පොලිස්‌ නිලධාරීහු ත්‍රිරෝද රිය මාර්ග බාධක යොදා නතර කිරීමට කටයුතු කළහ. පොලිස්‌ හදිසි දුරකථන ඇමතුමෙන් ලැබුණු තොරතුරු අනුව ත්‍රිරෝද රිය ටක්‌කෙටම හරිය.

පොලිස්‌ නිලධාරීන්ගේ අණ කිරීම සහ සංඥා නාදය අනුව ත්‍රිරෝද රථයේ රියදුරු ත්‍රිරෝද රථය නගර කළේ කිසිදු කලබලයකින් තොරවය. ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කරමින් සිටියේ බණ්‌ඩාරවෙල පූනාගල පාරේ තැපැල් කන්දේ පදිංචි දොඩම් පහනගේ බෙනට්‌ ප්‍රනාන්දු නමැත්තෙකි. ඔහු පොලිස්‌ නිලධාරීන්ද හඳුනන කාර්මිකයෙකි.

පොලිස්‌ නිලධාරීහු පිරිස ත්‍රිරෝද රථයේ පිටුපස මගීන් රැගෙන යන කොටසද පරීක්‍ෂා, කිරීමට කටයුතු කළහ. ඒත් සමගම තමන්ට කොතනක හෝ වරදින්නට ඇතැයි පොලිස්‌ නිලධාරීන්ට සිතුනි. එසේ නොමැති නම් කිසියම් පුද්ගලයකු පොලිසිය නොමග යෑවීම සඳහා පොලිස්‌ හදිසි දුරකථන අංකය වන 119 අංකයට ඇමතුමක්‌ දී ඇතැයි සිතුනා විය හැකිය. ත්‍රීරෝද රථයේ පිටුපස සිටිනුයේ තමන්ගේ අතිජාත හිතවතෙකි. ඔහු ප්‍රදේශයේ කවුරුත් හඳුනන පොලිස්‌ නිලධාරීන් සියලු දෙනාගේම මිතුරෙකු වන බණ්‌ඩාරවෙල මහේස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයා ලෙස කටයුතු කරන ඌව පරණගම, රත්නෝදාගම අඹගහවත්ත පදිංචි මහමායා ලියන මොහොට්‌ටිගේ මහින්ද නොයෙල් සිරිවර්ධනයි.

නමුත් පොලිස්‌ හදිසි දුරකථන අංකයට ලැබුණු හදිසි තොරතුරක්‌ අනුව ඔවුන් දැනුම් දුන් ත්‍රිරෝද රථය මෙයම වේ. එනිසා තමුන්ට වැරදීමටද හැකියාවක්‌ නැතැයි පොලිසිය සිතූහ. එම නිසා මෙහි කිසියම් අභිරහසක්‌ ඇතැයි පොලිස්‌ නිලධාරීන්ට සිතිනි.

මෙහෙයුමට සම්බන්ධ පොලිස්‌ නිලධාරීහු සිද්ධිය පිළිබඳව තම උසස්‌ නිලධාරීන් දැනුවත් කළහ. බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ අනුව වැටලීම සිදු කළ පොලිස්‌ නිලධාරීහු ත්‍රිරෝද රථය පරීක්‍ෂා කිරීමට කටයුතු කළේය.

පොලිස්‌ නිලධාරීන්ගේ ඇස්‌ උඩ ගියේය. බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයා අසලම හීනියට කපා, පාර්සල් කර පොහොර බෑගයක දැමූ ගංජා තොගයකි. ඊට අමතරව ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක්‌, විදුලියෙන් ක්‍රියා කරන ජල මෝටරයක්‌, භූමිතෙල්වලින් ක්‍රියා කරන ජල මෝටරයක්‌, සහ මැණික්‌ ගැරීමට භාවිතා කරන කූඩ දෙකක්‌ ත්‍රිරෝද රථයේ තිබී පොලිසියට හමු විය.

බණ්‌ඩාරවෙල පොලිසිය මගින් මෙම භාණ්‌ඩ සියල්ලද, ත්‍රිරෝද රථයද තම භාරයට ගෙන ත්‍රිරෝද රථයේ රියදුරුද, මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම භාණ්‌ඩ සහ අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් පොලිසියට රැගෙන ගිය පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ ගංජා තොගයේ බර බැලීය. එය කිලෝ ග්‍රෑම්වලින් හරියටම අටකි.

බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි විශේෂ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එම අවස්‌ථාවේදී විමර්ශන ආරම්භ කළහ. පොලිස්‌ නිලධාරීහු අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න ඇසීම ආරම්භ කළහ. නමුත් දෙදෙනාම තමන් ඒ බව නොදන්නා බව පැවසීමත් සමග පොලිසිය යම් ගැටලුවකට මුහුණ පෑහ.

උත්සහය අත් නොහැරිය පොලිස්‌ නිලධාරීන් දිගින් දිගටම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් විමර්ශන කටයුතු සිදු කිරීමටත් ඉතා ඉක්‌මනින් කටයුතු කළහ. පිරිසක්‌ බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොස්‌ තොරතුරු සොයා බැලූහ.

එදින සෙනසුරාදා වූවද බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්‌ඩ සමීක්‍ෂණයක්‌ සිදු කර තිබේ. මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ ද සේවකයින් පිරිසක්‌ද මෙයට සහභාගී වී ඇත.

මෙම සමීක්‍ෂණය අවසන්වීමෙන් පසු රෙජිස්‌ට්‍රාර්වරයා ආපසු යැම සඳහා තම හිතවත් ත්‍රීරෝද රථ රියදුරකුට කතා කර එම ත්‍රීරෝද රථයෙන් පිටවන අවස්‌ථාවේදී විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ ගංජා, ජල මෝටර්, ගෑස්‌ සිලින්ඩරයක්‌ හා මැණික්‌ ගරන කූඩ දෙකක්‌ මෙසේ ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී පොලිසියට කොටු වූ බව සොයා ගැනීමට පොලිසියට වැඩි වෙලාවක්‌ ගත වූයේ නැත.

සිද්ධිය සැලවීමක්‌ සමග පොලිසියද තවත් ගැටලුවකට මුහුණ පෑහ. මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ආරක්‍ෂාවට පොලිසියද යොදවා තිබේ. එසේ තිබියදී මෙම භාණ්‌ඩ සමග ත්‍රිරෝද රථය මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියෙන් පිට වූයේ කෙසේද යන්නය.

කෙසේ හෝ එම සිද්ධි දාමය සිදු වී ඇත. මෙවන් ක්‍රියා සිදු වූ ප්‍රථම අවස්‌ථාව මෙයද නොවන්නට ඇත. අතීතයේදී මෙවැනි සිදුවීම් සිදු වී ඇතැයි පොලිස්‌ නිලධාරීහු සැක පහළ කරති. අත්අඩංගුවට ගනු ලැබූ රෙජිස්‌ට්‍රාර්වරයා සහ ඔහුගේ හිතවත් ත්‍රිරෝද රථ රියදුරු බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා මෙම මස 12 වන දින දක්‌වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

මේ වන විට දෙදෙනාම සිටිනුයේ බදුල්ල බන්ධනාගාරයේය. දෙදෙනාම සිරබතේ රස බලමින් සිටිති. ගෞරවනීය රැකියාවක නියුතුව සිටි රෙජිස්‌ට්‍රාර්වරයා ගංජා සහ තවත් භාණ්‌ඩ රැසක්‌ සමග පොලිසියට කොටුවී බන්ධනාගාර ගත ගහවීමට සිදුවීම ඉතාමත්ම ඛෙදනීයය. මෙය තවත් ඛෙදනීය වන්නේ ඔහු නීතියේ ආධිපත්‍ය සුරකීමට තිබෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයක රෙජිස්‌ට්‍රාර්වරයෙකු ද වීමය.

කම්මලේ බල්ලා හෙණ හඬට බිය නැතැයි අපේ ගැමි වහරේ කියමනක්‌ තිබේ. කම්මලේ යකඩ තලන හඬට හුරු වූ බල්ලා හෙණ හඬද යකඩ හඬ සේ සලකතයි අපේ ගැමියෝ සලකති. තවමත් අපේ රටේ ඇති නැති සියලු දෙනාටම නීතියේ ආධිපත්‍ය එකසේ සුරකිනු ලබන ස්‌ථානය අධිකරණය බැවින් ගැමියෝ අධිකරණයට දේවත්වයෙන් සලකන අතර අධිකරණයට දැඩි බියක්‌ද දක්‌වති. නමුත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාට එය වගේ වගක්‌ නැති වන්නට ඇත. හැමදාම එන ඔහු රැකියාවේ නියුතු ස්‌ථානය ඔහුට හුරු පුරුදුය. නීතිය ක්‍රියාත්මක වන තැන ඔහුට එය ක්‍රියාත්මක නොවන්නට පුළුවන් යෑයි සිතුනේද යන්න අපට ගැටලුවකි.

අධිකරණ භූමියේ ගබඩා කාමරයේ, නඩු භාණ්‌ඩ කාමරයේ, නඩු භාණ්‌ඩ වශයෙන් තිබූ ගංජා ඇතුළු තවත් භාණ්‌ඩ රැසක්‌ කිසිදු අවසරයකින් තොරව අධිකරණ භූමියෙන් පිට වී තිබේ. මෙසේ වූයේ කෙසේද? අධිකරණ භූමියේ ආරක්‍ෂාවට යොදා තිබූ පොලිස්‌ නිලධාරීන්ගේ ඇස්‌වසා මෙම භාණ්‌ඩ පිටතට ගියේ කෙසේද? මෙම භාණ්‌ඩ පිට කිරීමට තවත් අය උදව් වීද එසේ නම් ඒ කවුද මෙවැනි දෑ සිදු වේ නම් ආරක්‍ෂාවේ හිඩසක්‌ තිබේද? අද මෙය අපට මෙන්ම පොලිස්‌ නිලධාරීන්ටද ගැටලුවකි.

මේ වන විට අපේ රටේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලබන විවිධ දේ ගල් වෙතැයි අපට අසන්නට ලැබේ. නිදන් හාරා ගනු ලබන රන් කැබලි අත්අඩංගුවට පත් වූ විට ඒවා යකඩ ද, මැණික්‌ කැබලි අත්අඩංගුවට ගත් විට ඒවා ඊයම් කෑලිද බවට පත් වෙනුයේ නිමේෂයකිනි. මෙවැනි රටක රෙජිස්‌ට්‍රාර්වරයෙකු නඩු භාණ්‌ඩ වශයෙන් තිබූ භාණ්‌ඩ රැසක්‌ අධිකරණයෙන් පන්නාගෙන යැම අරුමයක්‌ නොවේ.

අද මුදලට සහ බලයට සියල්ල යටපත් වෙමින් පවතී. ආරක්‍ෂාවට තිබූ දේ ඈලියාවට යන්නා සේ අධිකරණයේ තිබූ දේ අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරයා විසින් රැගෙන යයි. මේ විදහා දැක්‌වෙන්නේ අපේ නිරුවතයි. වංචාවට, හොරකමට, අල්ලසට, දූෂණයට හුරුවෙමින් එය නැතිවම බැරි තත්ත්වයට පුරුදු වී ඇති අපේ රටේ බොහෝමයක්‌ ආයතනවල මෙවැනි ක්‍රියා සිද්ධි දාම නොනවත්වාම සිදු වෙමින් පවතී. එය නතර නොකළහොත් ඉදිරි අනාගතය කෙසේ වෙයිද යන්න සිතා ගැනීමටත් නොහැකි තත්ත්වයක්‌ මතු වී තිබේ. බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයා, අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුව ලබාදුන් පුද්ගලයා එය ඉතා නිවැරදිව කෙස්‌ ගහටම සිදු කර තිබේ. එය එසේ නොවන්නට මෙම බඩු භාණ්‌ඩ තොගය කිසිදු අපල උපද්‍රවයකින් තොරව " ගල්වීම" නතර කිරීමට, ශක්‍රයාගේ පුතා වෛමාටවත් නොහැකි වනු ඇත. එසේ වී නම් මෙය ඉදිරියටත් දිගින් දිගටම සිදුවීමටද ඉඩ තිබුණි.

මෙම තොරතුරත් සමග බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධනගේ උපදෙස්‌ පරිදි බණ්‌ඩාරවෙල සහකාර පොලිස්‌ අධිකාරී රංජිත් කොට්‌ටච්චිගේ අධීක්‍ෂණය යටතේ වහා ක්‍රියාත්මක වී සැකකරුවන් සමග අදාළ භාණ්‌ඩ අත්අඩංගුවට ගනු ලැබූ බණ්‌ඩාරවෙල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එච්. ගුණරත්න ඇතුළු නිලධාරීන් පිරිස විශාල කාර්ය භාරයක්‌ ඉටු කළහ.

බණ්‌ඩාරවෙල කරුණාරත්න පල්ලේගම

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger