‘සිරස’ ඩාන්සින් ස්ටාර්ස්’ තරගය තුළින් ’සිරසට’ වුවමනා කරලා තිබුණේ මයිකල් ජැක්සන් වගේ හෝ ෂාරුක් ඛාන් වගේ හෝ නටන්න පුළුවන් අනුකාරක පරපුරක් අපේ රටේ බිහි කිරීම බව පෙනෙන්ට තිබෙනවා. එහෙම නැතිව නිත්තවෙල ගුණයාලා වගේ, තිත්තපජ්ජල සුරඹා වගේ, අල්ගම කිරිගණිතයා වගේ පරපුරක් බිහිකිරීම කෙසේ වෙතත් පණිභාරතලා වගේ, චන්ද්‍රලේඛලා වගේ චිත‍්‍රසේනලා වගෙ පරපුරක් බිහිකිරීම නොවන බව ඉතාම පැහැදිලියි.
පණිභාරත කියන්නේ ගායක අනිල් භාරතීගේ අයියා වෙන්න ඇති, චන්ද්‍රලේඛා කියන්නේ ගායක රූකාන්ත ගුණතිලකගේ වයිෆ් වෙන්න ඇති, චිත‍්‍රසේන කියන්නේ එක්කෝ පණ්ඩුකාභය රජකාලේ හිටපු චිත‍්‍රරාජ හෝ කාලවේල වගෙ යක්ෂයෙක් නැත්නම් චිත‍්‍ර මාස්ටර් කෙනෙක් වෙන්න ඇති කියලා හිතන අඥාන ජනමාධ්‍ය පරපුරක් ඉන්න සමාජයක අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් වන්නේ මේ වගේ අඳබාල වැඩසටහන් තමයි.
(චන්ද්‍රලේඛා කියන්නේ විශිෂ්ට ගණයේ නර්තන ශිල්පිනියක්. ඇය විවාහ වෙලා හිටියේ කලාගුරු ජේ.ඩී.ඒ.පෙරේරා එක්ක.) අපිට සියවස් ගණනාවක් දක්වා අතීතයට දිවෙන දේශීය නර්තන කලා සම්ප‍්‍රදායයක් තිබෙනවා. උඩරට, පහත රට හා සබරගමු යනාදී වශයෙන් එය කොටස් තුනකට බෙදෙන බව පාසල් සිසුන් පවා දන්නා කාරණයක්. ගමේ ගුරුකුලවල ඉඳන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය දක්වා විශාල තරුණ පිරිසක් මේ නැටුම් කලාව මහත් කැපවීමකින් යුතුව හදාරන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එබඳු සංස්කෘතික පසුබිමක අපේ රටින් මයිකල් ජැක්සන්ලා, ෂාරුක් ඛාන්ලා, මධුරි ඩික්සිත්ලා බිහිකරන්න කවුරු හරි උත්සාහ දරනවා නම් අපි ඒක දකින්නේ මුග්ධ කි‍්‍රයාවක් වශයෙන්. රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, රෝසි සේනානායක දන්න නැටුම් කලාවක් නැහැ. අපට කනගාටු පණිභාරත ගේ බෑනණුවන් වන චන්න විජේවර්ධන වැනි වෘත්තීය නැටුම් ශිල්පියකු මේවට අනුබල දීමයි. (රූපවාහිනී සංගීත වැඩසහන්වලට, එළිමහන් හෝ ගෘහස්ථ සංගීත සංදර්ශනවලට නර්තනාංග ඉදිරිපත් කිරීමෙන් මෙරට නැටුම් කලාව පරිහානියකට ඇද දැමූවයි කියන චෝදනාව චන්නට මේ වනවිටත් එල්ල වෙලා තියෙනවා). ’සිරස’ ඩාන්සින් ස්ටාර්ස්’ තරගයෙන් පළමුවැනියා වූ දුෂ්‍යන්ත් වීරමන්ට මිලියන ගාණක් වටිනා මෝටර් රථයක් ප‍්‍රදානය කෙරුණා. දෙවැනියා වූ නිලන්ති ඩයස් කරුණාරත්නටත් සැලකිය යුතු තෑගි ලැබුණා. මෙහිදී මට සිහිපත් වන්නේ අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම නර්තන ශිල්පියකු වූ නිත්තවෙල ගුණයා 1975 දී ජනාධිපති සම්මානයත් අතැතිව මහ වැස්සේ තෙමෙමින් නව රඟහලේ සිට බස් නැවතුම්පළ දක්වා ඇවිද ගිය ශෝචනීය විලාසයයි. ඔහුට මෝටර් රථයක් තෑගි කරනු තබා ඔහුට ඔහු විසූ කටුගස්තොටට කෙසේ වෙතත් අඩුම ගාණේ පිටකොටුවට යන්නවත් වාහනයක් දෙන්න එදා හිටපු ආණ්ඩුවේ සංස්කෘතික බලධාරින් කටයුතු කළේ නැහැ. නිත්තවෙල ගුණයා ජීවත්වුණේ ආර්ථික අගහිඟකම් මැද්දේ. ඔහු වෙනුවෙන් එකල අරමුදලක් ද පිහිටුවා තිබුණා. ගුණයා ගුරුන්නාන්සේ ගේ නැටුම්වලට ලෝකයේ බොහෝ රටවලින් සම්මාන පවා ලැබී තිබෙනවා. ඔහුට රුසියාවෙන් ලැබුණු රන් පදක්කම කොළඹ වරායේදී ම හොරකම් කළ බව එකල පුවත්පත්වල සඳහන්වී තිබුණා. ලංකාවෙන් ඔහුට ලැබුණු ගරු බුහුමන වුණේ ඒකයි. ගුණයා ගුරුන්නාන්සේ කවදාවත් රස්සාවකටවත් සල්ලි හම්බුකරන්නවත් නැටුම් කළේ නැහැ. ජාතික හැඳුනුම් පතේ් ඔහුගේ රැකියාව වශයෙන් සඳහන් වුණේ ගොවිතැනයි. රත්වත්තේලාගේ කුඹුරුවල අඳ ගොවියෙක් විදියට ඔහු වැඩ කළා. නැටුම් කලාව ඊළඟ පරපුරට උගන්වන්න ගුණයා ගුරුන්නාන්සේට ලොකු ආශාවක් තිබුණා. ඒ සඳහා ඔහු ආණ්ඩුවෙන් ඉඩමක් ඉල්ලා සිටියා. ගුණයා ගුරුන්නාන්සේ වරක් පුවත්පතකට මෙසේ කියා තිබුණා. “නැටුම් මඩුවක් හදාගන්න ඉඩම් කැබැල්ලක් ලබාගන්න අවුරුදු ගණනාවක ඉඳලා උත්සාහ ගන්නවා. දන්න කියන හැමෝටම කිව්වා. ඒත් වැඩක් උනායැ. හ්ම්. අනේ මන්දා ඕවා කවදා ලැබෙයිද කියලා.” (එස්.ආර්.හේමපාල - සිළුමිණ 1975 සැප්තැම්බර් 07) එහෙත් ඒ ඉඩම් කැබැල්ල ගුරුන්නාන්සේට මිය යන තෙක් ලැබුණද නැද්ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. ගුණයා ගුරුන්නාන්සේට වරක් ප‍්‍රංශයේ සෝර්බෝන් විශ්වවිද්‍යාලයයෙන් නැටුම් උගන්වන්න ආරාධනාවක් ලැබුණා. එහෙත් මවු රටට තියෙන ආදරය නිසා ඔහු ඒ ඇරියුම සුහදව ප‍්‍රතික්ෂේප කළා. ඔහු මේ රටේ ආණ්ඩුවෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලුවේ එබඳු වටාපිටාවක බවත් අප අමතක කරන්න නරකයි. ගුණයා ගුරුන්නාන්සේගේ මරණය සිදුවුණෙත් ඉතාම ශෝචනීය ආකාරයටයි. ඔහු මිය ගියේ මේසය මත තිබූ කුප්පි ලාම්පුව ඇඟට පෙරළී ඉන් ඇතිවූ ගින්නකින්. ගුණයා ගුරුන්නාන්සේගේ අවසන් කටයුතු සිද්ධවුණේ ආණ්ඩුවෙන් දුන්න රුපියල් දෙදහස් පන්සීයෙන් බව මෙහිලා සඳහන් කරන්නේ ඔහුට අවමාන කරනු පිණිස නෙමෙයි. අපේ තවත් ශ්‍රේෂ්ඨ ගණයේ නැටුම් ශිල්පියකු වූ පණිභාරත ගැන වුණත් කියන්න තියෙන්නේ ඊටම සමාන කරුණු කීපයක්. ඔහුට ලැබුණේ තුන්දහස් හයසීයක් වූ සුළු මාසික විශ‍්‍රාම වැටුපක්. අන්තිම කාලේදී ඔහු ජීවත්වීමට මුදලක් හොයා ගත්තේ මඟුල් ගෙවල්වල පෝරුවේ චාරිත‍්‍ර කරලයි. පණිභාරතටත් තමන් දන්න ශාස්ත‍්‍රය උගන්වන්න ලොකු ආශාවක් තිබුණා. ඒ බව ඔහු කළ පහත එන ප‍්‍රකාශයෙනුත් පෙනෙනවා. ”මං හිතාගෙන හිටියා රජයේ සහයෝගය ඇතිව විශාල නර්තන පාඨමාලාවක් ආරම්භ කරන්න. එහෙම දෙයක් අරඹලා නැටුම් කලාවට ලොකු සේවයක් කරන්න මම බලාපොරොත්තුව හිටියා. ඒත් ඒක මට කරන්න රජයෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ” (ලක්බිම 2003 මාර්තු 21) ඊටත් වඩා කනගාටුදායක ප‍්‍රකාශයක් පණිභාරත ඊට අවුරුදු දෙකකට ඉහතදී පුවත්පතකට කරලා තියෙනවා. ඒ මෙපරිදියි. “අද ඉන්න මිනිස්සු නැටුම් ශාස්තරේ අගය දන්නෙත් නැහැ. දන්න අය ඇත්තෙත් නැහැ. අපිත් ඉතින් නිවිච්ච පහන් වගේ. නිවිච්ච පහන්වලින් කාටවත් වැඩක් නැහැ. ඒ නිසා අපෙන් වැඩක් නැහැ.” (ශ‍්‍රී ලංකාදීප - සදැල්ල 2001 අපේර්ල් 8) එක්තරා ආණ්ඩුවක් සුප‍්‍රසිද්ධ මුද්‍රා නාට්‍ය ශිල්පි චිත‍්‍රසේනට සලකපු ආකාරයත් මුළු රටම දන්න දෙයක්. 1982 දි කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ කලායතනය එතැනින් ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුව ඔහුට දන්වා සිටියා. පස්සේ එහි වතුර සැපැයුම විසන්ධි කළා. ගේට්ටුව කඩා දැම්මා. කලායතනයට ගිනි තිබ්බා. ඒ ගින්නෙන් චිත‍්‍රසේන සතු මෝටර් රියත් දැවී ගියා. චිත‍්‍රසේනයන් අංශබාගෙ හැදුණු තම මහලු මව ඔසවාගෙන එළියට පැන්නෙ නැත්නම් ඇය මියයන්නේ ඒ ගින්නට හසුවීමෙන්. අවසානයේදී එයින් නොනැවතුණු ආණ්ඩුව බුල්ඩෝසර් කර කලායතනය මුළුමනින්ම බිමට සමතලා කළා. ඒ සිද්ධියෙන් කම්පා වූ ප‍්‍රවීණ පුවත්පත්කලාවේදියකු හා කලා විචාරකයකු වූ අජිත් සමරනායක ‘දි අයිලන්ඩ්’ පුවත්පතට මෙසේ ලියා සිටියා. “ලෝකයේ වෙනත් කිසිම රටක නම් ඔවුන් චිත‍්‍රසේන ජීවත් වූ නිවෙස කඩා බිඳ නොදමනු ඇත. එය අවුරුදු හතළිහක් තිස්සේ වේදිකාව, සංගීතය, නැටුම් කලාව, චිත‍්‍ර ශිල්පය ආදී කලාවන්හි පුරෝගාමීන් ගැවසුණු කලා ආශ‍්‍රමය විය. හැත්තෑ වියැති චිත‍්‍රසේන සමහර විට අපට යුගයක් යා කිරීම සඳහා ඉතිරි වී සිටින එකම පුරුක විය හැකිය. ඒ සුදු මිනිසුන් රජ කළ හා ඊටත් වඩා ඔවුන් විසින් දේශීයත්වය සාර්ථක ලෙස යටත් විජිත මානසිකත්වයට යට කළ යුගයයි. නමුත් කෙතරම් අතීත ශ‍්‍රී විභූතිය ගැන කතා කළ ද අප ඉතිහාසයට සුදුසු ලෙස ගෞරව නොකරන ජාතියකි. නොඑසේ නම් අපි කිසිදා චිත‍්‍රසේනගේ නිවෙස සමතලා නොකරන්නෙමු. (උපුටා ගැනීම : ‘ඒ කඳුළුවලට වන්දි ගෙවීමට කාලයයි’ – බන්දුල පද්ම කුමාර - සිළුමිණ 2003 පෙබරවාරි 2) අජිත් සඳහන් කර ඇති ආකාරයටම චිත‍්‍රසේන කලායතනය වේදිකාව, සංගීතය, නැටුම් කලාව, චිත‍්‍ර ශිල්පය ආදී කලාවන්හි පුරෝගාමීන් ගැවසුණු කලා ආශ‍්‍රමයක් වුණා. එකල ආචාර්ය පණ්ඩිත් අමරදේව, සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, සෝමබන්දු විද්‍යාපති, මංජු ශ‍්‍රී, ගංගානාත් ධර්මදාස, මහගමසේකර, පේර්මකුමාර එපිටවල වැනි කලාකරුවන්ගේ ආශ‍්‍රමය බවට පත්ව තිබුණේ එයයි. එසේම සමරකෝන් ජාතික ගීය නිර්මාණය කළෙත් එහිදී බව සඳහන් වෙනවා. එවක සිටි යූ.එන්.පී. ආණ්ඩුව බිමට සමතලා කර දැම්මේ ඒ කලායතනයයි. වෙන රටක නම් එය කලා කෞතුකාගාරයක් ලෙස මහත් භක්ත්‍යාදරයෙන් සංරක්ෂණය කරනු නොඅනුමානයි. ’සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වගෙ වැඩසටහන් අපේ රටේ ඉදිරිපත්වන්නේ මෙරට නැටුම් කලාව හා සම්බන්ධ ඉහත කී සමාජ හා සංස්කෘතික පසුබිම ඇසුරේයි. ’සිරස ඩාන්සින් ස්ටාර්ස්’ විතරක් නෙමේ ඒවගෙ මොනම වැඩසටහනකින් හරි අපේ නර්තන කලාවේ අභ්‍යුදයට යමක් ඉෂ්ට සිද්ධ වෙනවා නම් අප එය අගය කරනවා. ඒත් අපේ නැටුම් ශිල්පින්ගේ පරමාදර්ශ වෙන්න ඕනැ මයිකල් ජැක්සන් හෝ ෂාරුක් ඛාන් හෝ නෙමේ. එක්කෝ ඉන්දියාවෙන් උදය ශංකර් වගෙ අය. නැතිනම් රුසියාවෙන් වස්ලාව් නිජින්ස්කි වගෙ අය. ඔවුන්ගේ නම්වත් අහලා නැති අය ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වගෙ වැඩසටහන් මෙහෙයවන කොට නැටුම් කලාවටත් රූපවාහිනී කලාවටත් දෙයියන්ගෙම පිහිටයි කියල තමයි අපිට කියන්න වෙන්නෙ.
සුනිල් මිහිඳුකුල
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment