දැනට ප්‍රසංග වේදිකාවල ජනප්‍රිය යයි කියාගෙන එක්තරා ගායිකාවක් මගේ ගීත හපමින් කියමින් ඉන්නවා. එයා ගීත හපනවා මිසක් ගායනා කරන්නෑ. මගේ ගීත බයිලා කරලා විකෘති කරනවා මදිවාට ශිලාචාර විදිහට ඇඳුම් ඇඳගෙන වත් නෙමේ වේදිකාවලට එන්නේ. මං එවැනි ඇඳුම් ඇඳගෙන ගී ගැයු ගායිකාවක් නෙමේ. ඉතින් මං කැමැති නැහැ අශෝභන ඇඳුම් ඇඳගෙන වෙන අය මගේ ගීත හපමින් කියලා විකෘති කර විනාශ කරනවාට.”
විශාරද සුජාතා අත්තනායක
පරවුණු මල් වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු හිනාවේ
එළිය මැදින් හෙට දවස උදා වේ...!
(පද - මහගමසේකර)
සෙනෙහසේ මිහිරියාවෙන් ගීත ශ්‍රාවක සිත් ස්පර්ශ කරන ඇගේ මාධූර්යයෙන් පිරි හඬින් දශක හයක් සපුරා ඇය ගයා ඇති අමිල ගීතාවලිය ගීත පන්දහසකින් පමණ සමන්විත ය. ස්වර රිද්ම රටා හා සංකල්පනා රසමුසු කොට සිය ළගන්නා සුගායනයෙන් ඉදිරිපත් කර සුවහසක් ශ්‍රාවකයින් අමන්දානන්දයට පත් කළ ඇය - සංගීතවේදිනි, ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක යි.
පසුගිය ජූනි - සැප්තැම්බර් සිවු මස ඇගේ ජීවිතයේ සුවිශේෂ කාල පරිච්ඡේදයක් විය. එසේ වූවේ ඇය බෙහෙවින් අගේ කරන සම්මාන හතරකින් පිදුම් ලැබීම හේතුවෙන් ය. “සම්මාන” පිළිබඳව ඇගේ සිතුවිලි වෙනස් ය. එහෙයින් “රසඳුන” සමඟ ඇය හෙළිදරව් කළ ඇගේ සිතුවිලි අපි මෙලෙස අකුරු කරමු.
“මට මගේ කලා ජීවිතයේ දී සම්මාන බොහොමයක් ලැබිලා තියෙනවා. ඒ අතරට නොලැබී ගිය සම්මාන ගණනාවක් තියෙනවා. ඔය ප්‍රසිද්ධ සම්මාන මොනවා ලැබුණත් නොදී බැරි කමට මට දුන්න ඒ සම්මානවලට වඩා මේ පසුගිය කාලයේ මට ලැබුණු දේශපාලනයෙන් හා බලපෑම් වලින් තොරව මේ රටේ මගේ ගීත ශ්‍රාවක ජනතාව දුන්නු සම්මාන මට හරිම වටිනවා. මේ වගේ සම්මාන හතරකින් මාස හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත පිදුම් ලබන්න ලැබීම ගායන ශිල්පිනියක් වශයෙන් මා ලැබූ භාග්‍යයක් ලෙසයි මම විශ්වාස කරන්නේ.”
. ඔබ පිදුම් ලැබූ එම සම්මාන මොනවා ද...?
“සංගීත ක්ෂේත්‍රය සඳහා සිදු කරන නිර්මාණශීලි මෙහෙවර අගය කරමින් 2014 “සුවඳ පද්ම” සම්මානයත්, දේශීය ජනතාවගේ සංගීත ඥානය වඩවමින් හෙවත් රසඥතාව ඇති කරමින් මතු පරපුරට දායක කරමින් තම දිවිය කැප කරන සංගීත ශිල්පීන් වෙත පිදෙන ‘ලයනල් එදිරිසිංහ’ සම්මානයත්, සංගීතවේදිනියක ගුරුවරියක හා රණවිරු මාතාවක ලෙස රට දැය සාමය වෙනුවෙන් සිදුකළ අමිල මෙහෙවර අගයනු වස් ‘සුජාතා අත්තනායක ධීමතිය වෙත’ මැයෙන් ප්‍රදානය කෙරුණු රුවන්වැල්ල තරුණ බෞද්ධ සමිතියේ සංවත්සර සමරු උලෙළ සම්මානයත් සහ සුභාවිත ගීතයේ නවමං සොයා යමින් නව පරපුරට විසල් තුරු සෙවණක් වූ සුවහසක් රසික හදවත් පොබ කළ ‘ගායන අඹරේ සොමි සඳකැන් දහර විශාරද සුජාතා අත්තනායක මැතිනියට’ මැයෙන් ගිනිගත්හේන විදුලිපුර මහ විද්‍යාලයෙන් පිරිනැමුණු ප්‍රණාම සම්මානයත් තමයි මට ලැබුණු ඒ වටිනා සම්මාන හතර.”
. මෙම සම්මාන හතර ඔබට වටිනා, වැදගත් සම්මාන වන්නේ ඇයි...?
“මට ලැබුණු අනිකුත් සියලුම සම්මානවලට වඩා මේ සම්මාන මට විශේෂ වීම තමයි ඊට හේතුව. මොකද මේ සම්මාන මට ලැබුණේ කිසිම දේශපාලනයකින් තොරව මට ළෙන්ගතු හිතවත් පරිත්‍යාගශීලින්ගේ අපක්ෂපාති තීරණ අනුව වීම තමයි ඒ විශේෂ කාරණය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන්, අගනුවරින් බැහැර රුවන්වැල්ල වහරක වැනි ඈත පෙදෙසක තරුණ පිරිසකගෙන්, ගිනිගත්හේන වැනි දුෂ්කර ප්‍රදේශයක කිසිදාක මාව හැබැවින් නොදුටු දරුවන්, මවුපියන්, ගුරුවරුන්ගෙන් සහ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු පරිත්‍යාගශීලි හිතවතුන් විසින් මෙම සම්මාන ලබා දීම මට වටිනවා. මේ මට ඉතා වැදගත් සම්මාන. මෙම සම්මාන පිවිතුරුයි. ගෞරවනීයයි. ඒකයි මම මේ සම්මාන මට ලැබුණු වටිනා, වැදගත් සම්මාන ලෙස සලකන්නේ.
. සම්මාන ලැබිය යුතු වූ නිර්මාණ සහ ඔබට නොලැබුණු සම්මාන පිළිබඳව පවසනවා නම්...?
. ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ මා වික්ටර් රත්නායක සමඟ ගායනා කළ ‘ඈත හිමාලේ සීතල සෙවණේ’ ගීතයට සම්මාන දීමේදී. එහිදී හොඳම ගායකයාට හිමි සම්මානය ඒ ගීතය ගායනා කළ වික්ටර්ට දුන්නත් හොඳම ගායිකාවට හිමි සම්මානය දුන්නේ ළමා ගායනයක් වෙනුවෙනුයි. .
. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “මයුරිගෙ කතාව” චිත්‍රපටයේ ඔබ ගැයූ “සුදෝ මං ආදරෙයි” ගීතයෙනුත් හොඳම ගායිකාව සම්මානය ඔබට ලැබිය යුතුව තිබුණා නේද...?
“එකල විචාරකයින් පවා එහෙම අනාවැකි පළ කර තිබුණා. ඒත් සිද්ධ වුණේ වෙනත් චිත්‍රපටයක කවි ගායනයකට එම සම්මානය හිමි කර දීමයි. ‘කවිය සහ ගීතය’ එකිනෙකට වෙනස් අංශ දෙකක් බවවත් තේරුම් ගන්න බැරිව අදාළ විනිශ්චයකරුවන් ඒ කළේ මොනතරම් අසාධාරණයක් ද. එදා විතරක් නෙමේ අදත් මට මේ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අය නොයෙකුත් අසාධාරණකම් කරනවා. මං හිතන්නේ ඒ මම තමන්ගේ අයෙකු නොවිච්චි හේතුව වෙන්න ඇති. මාව අගේ කළොත් තමන්ගේ කෙනාගේ තැන නැති වෙයි කියලා ඔවුන් හිතනවා ඇති. ඊර්ෂ්‍යාවයි, කුහකකමයි ප්‍රධාන වෙලා ඔවුන්ගේ සිත්වල. ගාමිණි අයියා (ගාමිණි ෆොන්සේකා) වෙනුවෙන් මෑතකදී පැවැති උපහාර උලෙළයකදීත් ඕනෑකමින් මගේ නම කපා හැරියා එක්තරා දේශනයකදී. මං හරිම වේදනාවකින් හා කලකිරීමකින් ඉන්නේ තවමත් ඒ ගැන.”
. ඔබගේ නම කපා හැරීමක් සිදු කළේ කෙසේ ද...?
“එදා මෙම දේශනයේ දී ‘සුදෝ මං ආදරෙයි’ ගීතය ගැන පුදුම විදිහට වර්ණනා කළා. ගාමිණි අයියාගේ පද රචනය ගැන කිව්වා. ලයනල් අයියාගේ (ලයනල් අල්ගම) සංගීතය ගැන කිව්වා. වික්ටර් රත්නායක ගැනත් කිව්වා. හැබැයි ගායනය කරපු මගේ නම කිසිම තැනකදී කිව්වේ නැහැ. දැන් මමත් වේදිකාවේ ඉන්නවා. පුදුම වේදනාවකින් කලකිරීමකින් මගේ හිත දැවුණා.
මං පස්සේ මේ ගැන ගාමිණි අයියාගේ පුතා දමිත්ටත් කතා කරලා කිව්වා. ඒ දරුවා organize කළ හින්දා. අනේ ඒ දරුවාටත් උත්තරයක් නැතිව ගියා. අද ගීතය ලියූ ගාමිණි අයියාවත්, සංගීතවත් කරපු ලයනල් අයියාවත් ජීවතුන් අතර නැහැනේ. ඔවුන් ගැන සඳහන් කරමින් ජීවතුන් අතර ඉන්න ගීතය ගායනා කරපු මාව නොසලකා හරිනවා.
. පළමු සිංහල චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය වන ඔබ එම ක්ෂේත්‍රයේ දිගු ගමනක් නොගියේ ඇයි...?
“සංගීතය දන්නා ආත්ම ගරුත්වයක් තියෙන අය ඉල්ල ඉල්ලා නිෂ්පාදකයින්ගේ පස්සෙන් යන්නේ නැහැ. මමත් එහෙමයි. මං ගීත ගායනයේ නියැළුණෙත් එහෙමයි. මං ගී ගයන්න චිත්‍රපට ඉල්ලගෙන ගියේ නැහැ කිසිදාක.”
. වත්මන් චිත්‍රපට ගීතය ගැන ඔයාට හැඟෙන්නේ කුමක් ද...?
“දැන් චිත්‍රපට ගීත හිතේ රඳන් නෑ. melody power එක නැහැ. මේ දේ මං හැමදාම කිව්වා. හිතේ රැඳෙන්නේ නැත්තේ හොඳ තනු නිර්මාණ නැති නිසා. female voices ටිකත් බිහිවෙලා තියෙනවා. නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, සමිතා මුදුන්කොටුව, නෙලු අධිකාරි වැනි ඒ හඬවල් හොඳයි. හැබැයි එක වගේම හඬවල් හතර දෙනාටම තියෙන්නේ. මේ හතර දෙනාට හොඳ තනු ඇතුළත් ගීත ගයන්න ලැබෙනවා නම් හොඳයි.”
. නව පරපුරේ චිත්‍රපට ගීත ගායනයට සුදුසු ගායකයින් වශයෙන් ඔබ හඳුන්වන්නේ කවුරුන් ද...?
එහෙම හඳුන්වන්න male voices නම් තාම කාගෙවත් මට ඇහිලා නැහැ.
. තනු නිර්මාණ ගැන මොකද කියන්නෙ...?
චිත්‍රපට ගීත වුණාම ඒවායේ හොඳ රසවත් තනු නිර්මාණ තියෙන්නෙම ඕනේ. හොඳ නාදමාලා සමඟ ඇහෙන්නත් ඕනේ.”
. ඔබ අලුත් නිර්මාණ නොකරන්නේ ඇයි...?
මම අලුත් නිර්මාණ කරලා තියෙනවා තව අවුරුදු 50 ක් ඉදිරියට ඇති වෙන තරම්. අපේ නොඇසුණු ගී තව කොච්චර තියෙනව ද. ඒවා channel වල වාදනය කරන්නේ නැහැ. ඒවා නව පරපුරට අහන්න දෙනවා නම් ඔවුන්ට ලොකු ගැම්මක්. උත්තේජනයක් ලබන්න පුළුවන්. බලන්න, අදටත් ගායිකාවන් වෙන්න එන ළමයි හැකියාව පෙන්වන්න තෝරා ගන්නේ සුජාතා අත්තනායකගේ හෝ ලතා වල්පොලගේ ගීතයි. ගායන හැකියාව පෙන්වන්න පුළුවන් ගී තනු ඇතුළත් ගීත ගායනා කරලා තියෙන්නේ අපි දෙන්නයි. ඒ බව නිහතමානීවයි මේ පවසන්නේ.
. ඔබෙන් පසුව ඔබ ගැයු ගීත ගායනයට අයිතිය පැවරෙන්නේ කාට ද...?
“මගේ පවුලේ මගේ නැඟණිය රංජනී පෙරේරා, මගේ දරුවෝ මුනුපුරු මිනිබිරියන්ට විතරයි මගෙන් පසුව මගේ ගී ගයන්න අයිතිය පැවරෙන්නේ. ලොකු පුතාගේ දුවට තාම වයස අවුරුදු එකොළහයි. එයාගේ නම සන්දේශා අත්තනායක. මගේ මිනිබිරිය එයා තමයි අනාගත සුජාතා අත්තනායක. ඒ හැර වෙන කාටවත්ම මං මේ අයිතිය පවරලත් නැහැ. පවරන්නෙත් නැහැ.
දැනට ප්‍රසංග වේදිකාවල ජනප්‍රිය යයි කියාගෙන එක්තරා ගායිකාවක් මගේ ගීත හපමින් කියමින් ඉන්නවා. එයා ගීත හපනවා මිසක් ගායනා කරන්නෑ. මගේ ගීත බයිලා කරලා විකෘති කරනවා මදිවාට ශිලාචාර විදිහට ඇඳුම් ඇඳගෙන වත් නෙමේ වේදිකාවලට එන්නේ. මං එවැනි ඇඳුම් ඇඳගෙන ගී ගැයු ගායිකාවක් නෙමේ. ඉතින් මං කැමැති නැහැ අශෝභන ඇඳුම් ඇඳගෙන වෙන අය මගේ ගීත හපමින් කියලා විකෘති කර විනාශ කරනවාට.”
. අනවසරයෙන් ගීත ගායනවාට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන් නේද...?
“ඒකට දැන් නීති මාලාවක් සකස් කරගෙන යනවා. පොදු නීත්‍යානුකූල පියවරක් අරගෙන තියෙන්නේ. ළඟදීම එළිදකියි එම නීතිය. පසුගිය දිනවල ‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ’ ගීතයට වුණා වගේ අසාධාරණ ඉන්පසු සිදුවෙන එක නතර වේවි.”
ජෝජ් රොබ්සන් ද සිල්වා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment