සීතාවක රජවරු විවේක සුව විඳින්නට ආවෙ කැලණි ගඟ බඩ තිබුණු මේ මාලිගාවට. මායාදුන්නෙ රජතුමාගෙන් පසුව රාජසිංහ නමින් රජවෙන ටිකිරි කුමාරයා රණ ශූරයෙක්. උන්නාන්සෙ නිතරම කළේ පරංගින්ට විරුද්ධව හටන් කරන එක.
පරංගි සෙනෙවියො හිටියෙත් රාසිං දෙයියන්ට බයෙන්. විවේක ගන්ට මාලිගයට සැපත් වෙන රාසිං දෙයියො හිමිදිරියෙන්ම ගඟ බඩ සක්මන් කරනවා. ගඟට බැහැල දිය දෝතක් අරගෙන මුහුණ දොවා ගන්නවා.
රජ්ජුරුවන්ගේ දින චරියාව බලා හිටි එගොඩ ගොඩේ බල කොටුවෙ හිටපු පරංගි හේවායකුට රාසිං දෙයියන්ට නින්දා කරන්නට මේක හොඳ අවස්ථාව කියල හිතුණා. පහුවදා රජතුමා සක්මන් කරන කොට පරංගියාත් සක්මන් කරනවා.
මොන තරම් අපහාසයක් ද? රාසිං දෙයියො උදහස් වුණා. පරංගියාට දඬුවම් නොකළොත් රාසිං දෙවි නාමයටත් අපහාසයක්. ඒත් දඬුවම් දෙන ක‍්‍රමයක් හිතාගන්ට රාජසිංහ රජතුමාට බැරිවුණා. හැන්දෑවේ මිනිහෙක් ආවා රජතුමා මුණ ගැහෙන්ට. හීන්දෑරි මිනිහෙක්.
ඒත් හොඳට හයි හත්තිය තියන ගම් පළාතේ නමගිය වෙඩික්කාරයෙක්. නම බයියප්පු. බයියප්පු මහ රජු ඉදිරියේ දණින් වැටුණා. “හාමුදුරුවනේ මට පුළුවනි එගොඩ ඉඳන් ඔබ වහන්සේට අපහාස කරන පරංගියා මරා දමන්ට.”
රාජසිංහ රජතුමාට හීන් හිනාවක් ගියා. උන්නාන්සෙ හිටියෙත් පරංගියා මෙල්ල කරන උපායක් ගැන හිත හිත.
“හොඳයි බයියප්පු මගෙන් මොනවද උඹට වුවමනා”
රජතුමා කරුණාවෙන් ඇහුවා.
“පරංගියා මරා දමන්ට ඔබ වහන්සෙගෙ අණයි, තුවක්කුවකුයි, ඒක වහං කර ගන්ට වේවැලකුයි, කූඩෙකුයි, මාළු බාන්ට වුවමනා ආම්පන්නයි”
උවමනා ආම්පන්න අරගෙන බයියප්පු යන්ට ගියා.
පහුවදා හිමිදිරියෙන්ම රාජසිංහ රජතුමා ගඟබඩ සක්මන් කළා. පරංගියා එගොඩ ගොඩේ නිරුවතින් ගමන් කරනවා. රජතුමා ගඟට බහින්ට සූදානම් වුණා. පරංගියා පස්ස හරවගෙන සුපුරුදු කටයුත්තට සූදානම් වෙනවා.
ගඟබඩ තිබුණා සාර සුබාවට වැවුණු උණ පඳුරක්. ඒ පඳුරෙ ගඟට නැමුණු අත්තක මිනිහෙකුගෙ හේමලයා පෙනෙනවා. මිනිහා මාළු බාන්නෙක්. ‘බයියප්පු වෙන්ටැති’ රජතුමා සැහැල්ලුවෙන් හිතුවා.
රජු ගඟෙන් දිය දෝතක් ගන්ට නැමෙන විට පස්ස හරවාගෙන සිටි පරංගියා හස්ති විකාර කරන්ට පටන් ගත්තා. එක්වරම බයියප්පු තැබූ වෙඩි පහරින් පරංගියා ලේ පෙරා ගෙන බිම වැටී මරණයට පත් වුණා.
බයියප්පුට ගොඩිං මඩිං නින්දගම් ලැබුණා. “සතුරන් මර්දනය කළ සිංහයා” කියන තේරුමෙන් “එදිරිසිංහ” නම්බු නාමය ලැබුණා. එදිරිසිංහ මුදියන්සේ නින්දගමට ඇතු පිටින් පැමිණ බැහැපු ස්ථානය ‘බටුවිට’ වුණා.
Post a Comment