BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, November 11, 2014

කොකාට විද දුනුසිංහ නම ලැබු දුනුවායා...


ඒ කුණ්ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) උඩරට රජ කරන අවධියයි. කාව්‍ය සංගීතය, නැටුම්, සුරාව හා ස්ත්‍රීන් ප්‍රිය කළ නරේන්ද්‍රසිංහ රජ විනෝදකාමියකු විය. ඒ නිසා ජන කවිවල ඔහු "සෙල්ලම් නිරිඳු" යනුවෙන් එයි. රජු ඇමැතින් පිරිවරාගෙන නැත්නම් හුදෙකලාව රට තොට ඇවිදීම සිරිතක් විය. එදා රජු මහවැලි ගඟබඩ කුණ්ඩසාලේ අගනුවර සිට ලේවැල්ල හරහා කටුගස්තොට ප්‍රදේශයේ සැරිසැරීමට විය. කටුගස්තොට එදා ප්‍රසිද්ධ තොටුපොළකි. කටුගස්තොට සිට නවයාලතැන්න දෙසට ගිය රජු බොරලු පාර අද්දර මඳක් අෑතින් පිහිටි කුඩා කඳු මුදුනක් දෙසට යෑමට විය. රජු සමඟ ඇමැතිවරු කීපදෙනෙක් ගමන් කළහ. රජු කඳු බිම නැඟ ගල් තලාවක වාඩි වී බුලත් විටක් සැපීමට විය.....
දුනු - ඊතල රැගෙන වෙල් යායේ අෑත සිට එන හැඩි දැඩි මිනිසකු රජුගේ නෙත්වලට යොමු විය. රජු පණිවුඩකරුවකු යවා ඔහු ගෙන්වා ගෙන තොරතුරු විමසීමට විය. තමා ඊයෙන් විද දඩයම් කරන දුනුවායකු බව ඔහු රජු පාමුල වැටෙමින් දන්වා සිටියේය.

"අර අෑත වෙල් යායේ ගසක් මත වසා සිටින කොකාට තොපට විද මැරිය හැකිද?"
"එසේය, දේවයන් වහන්ස".
"එසේ නම් තොපගේ හපන්කම් පෙන්වීමට අවස්ථාව ඇත."
දුන්න මනාව සකස් කොට ඊතලය තබා මඳක් නැවී ඉලක්කය ගෙන සූදානම් වූ දුනුවායා ගසේ වසා සිටි කොකා දෙසට ඊයක් විද්දේය. විදුලි වේගයෙන් ඉගිළ ගිය ඊය කොකාගේ ඇසටම වැදී කොකා මැරී වැටුණේය. දඩයම්කරු වහා ගොස් ඇස්වලටම ඊය වැදී මැරී වැටී සිටින කොකා රැගෙන විත් රජු පාමුල තබා රජු ළඟ දණින් වැටුණේය.

"කදිමයි දරුව, තොපේ හපන්කම් බෙහෙවින් ඉහළයි. මහවාසල හමුදාවේ දුනුවාපන්නෙට තොප බඳවා ගන්නවා. තොපේ හපන්කමට මේ කුඹුරුයාය සහිත ගොඩ මඩ ඉඩම් හැටපස් අමුණක් මහවාසලින් තෑගි ලැබෙනවා ඇත. හෙට උදෑසනින් තොප මහවාසලට පැමිණිය යුතුයි". රජු දුනුවායාගේ දෙවුර මත දෑත් තබා තම ප්‍රසාදය ඔහුට පළ කළේය.
පසුදා උදේ දුනුවායා කුණ්ඩසාලේ රජවාසලට ගිය අතර හැටපස් අමුණක ගොඩ මඩ ඉඩම් සඳහා සන්නස හා "දුනුසිංහ" පදවි නාමය සහ නළල් පටක් ඔහුට පිරිනැමුවේය. නරේන්ද්‍රසිංහ රජුගෙන් දුනුසිංහ නාමය සමඟ හැටපස් අමුණක් ගම්වරය ලැබ ඔහු සිටි ප්‍රදේශය නවයාලතැන්න ඇළ "බලනගල" නමින් අදත් ඇත. පාතදුම්බර මහවැලි ගඟබඩ පිහිටි කුඩා උස් බිමක බලනගල පිහිටි අතර, දුනුසිංහ පරපුර අද දක්නට නැත. ඒ ගම්වරයද කාලය සමඟ අන්සතු වී ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ -
එස්. කේ. ජයවර්ධන

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger