BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, October 17, 2014

පුතාට පහර දී තිබෙන අයුරු ශ්‍රී ලාංකිකයෙක් ඡායාරූපගත කර තිබුණා - පියා කියයි

ග‍ලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මැ‍ලේසියාවට රැකියාවට ගොස් එහිදී සිය වැටුප හාම්පුතාගෙන් ඉල්ලූ විටදී හාම්පුතා ඇතුළු තවත් පිරිසක් විසින් එම තරුණයාට සතියක් පමණ පහර දී දසවද දී මරා දමා ඇතැයි මියගිය තරුණයාගේ ඥාතීහු පැවසූහ.

මෙලෙස මරණයට පත් වී ඇත්තේ මොහොමඩ් සෆ්රීන් නමැති තරුණයෙකි. මියගිය තරුණයා මීට වසර 1 1/2 කට ඉහත දී මැ‍ලේසියාවට රැකියාවට ගොස් ඇත්තේ සිය හෘද රෝගී පියාට කිසිවක් කරකියාගත නොහැකි නිසා තම පවු‍ලේ අගහිඟකම් පියවීමටත්, නැගණියගේ වැඩිදුර අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමටය.
 
අපට ලැබී තිබෙන මෙම සිදුවීමට අදාළ ඡායාරූප ....

හිදී මීට මාස කීපයකට ඉහත දී සෆ්රින් තරුණයා මැ‍ලේසියාවේ යාලම්පඩම් ජාවා ප්‍රදේශයේ වාහන සේදීමේ ස්ථානයක සේවයට බැඳී ඇත්තේ රු. 40,000 ක මාසික වැටුපක් බලා‍පොරොත්තුවෙනි. එතන සිට මාස 3 ක් සේවය කළ සෆ්රින් පසුගිය මැයි මස 22 දා අවසන් වරට සිය නිවසට කතා කර පවසා අත්තේ “තාත්තේ මෙතන වැඩ අමාරුයි. පඩි ඉල්ලුවාම පඩි දෙන්නෙත් නැහැ. උදේ 8 ඉඳලා රෑ එකොළහ වෙනතෙක් මරමරා වැඩ ගන්නවා. පඩි හම්බ වුණාම කතා කරන්නම්. මගේ ෆෝන් එකට සිග්නල් නැතිබවයි.
මාස කිහිපයක් ගියත් සෆ්රීන් පිළිබඳ ආරංචියක් නොවූ හෙයින් පසුගිය 10 දා සෆ්රින්ගේ පියා වූ නාගූර් අයිමේ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට යන්නේ තම දරුවා ගැන තොරතුරක් දැන ගැනීමේ අරමුණෙනි. එහෙත් ඔහුට එහිදී දැනගැනීමට ලැබෙන්නේ අහස ‍පොළොව නුහුලන අපරාධයකි. එනම් සෆ්රින් එරට හාම්පුතා වද දී ඝාතනය කර ඇති බවට සැක මතු වී ඇති බැව් විදේශ කටයුතු අමාත්‍යංශයේ බලධාරින් සෆ්රින්ගේ පියාට පවසා ඇත.

සෆ්රින් ඝාතනය වී ඇති බව සැලවීමත් සමග එම තොරතුරු සොයා අපි සෆ්රින්ගේ ග‍ලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ නිවසට ගියෙමු. එහිදී සෆ්රින්ගේ පියා වූ නාගුර් අයිමේ මහතා මෙසේ පැවසීය.
මගේ රත්තරන් පුතා රට ගියේ අපේ පවු‍ලේ අගහිඟකම් පියවන්න. මට අසනීප නැත්නම් මම පුතාව ගෙදර තියා ගන්නවා, රස්සාවකට යන්න නොදී. පුතා මැ‍ලේසියාවේදී අවසන් වරට සේවය කරලා තියෙන්නේ පරමයිවන් අල් ක්‍රිශ්නන් නමැති මැ‍ලේසියානු දමිළ ජාතිකයකුට අයත් කාර් සේදීමේ ස්ථානයක. එතන හිටපු ශ්‍රී ලාංකික තරුණයකු සෆ්රින්ට වූ අසාධාරණය මට කිව්වා.

සෆ්රින් පඩි ඉල්ලපු දවසේ එයා අතින් මෝටර් රථයක් හැප්පිලා තියෙනවා. මෝටර් රථයේ අයිතිකාරයා සෆ්රින් එක්ක ගැටුමක් ඇති කරගන්න උත්සාහ කළ විට දී සෆ්රින්ගේ හාම්පුතා මැදිහත්වෙලා ලංකාවේ මුදලින් රු. 20,000 ක් දීලා ප්‍රශ්නය සමථකයට පත් කරලා තියෙනවා. ඒක සිදුවෙලා සති තුනකට පසු හාම්පුතා එයාගේ සගයන් එක්ක මත්පැන් බොන වෙලාවක සෆ්රින්ට කතා කරලා මේ ප්‍රශ්නය ඇදලා අරන් සෆ්රින්ට හොඳටම ගහලා තියෙනවා. ඒ ගහලා සෆ්රින්ව කාමරයක දාලා දවසක් දෙකකට පස්සේ තමයි නැවත කාමරේ ඇරලා තියෙන්නේ. නැවත දවස් දෙකකට පස්සේ වැඩට එන්න කියලා එයාට ගහලා තියෙනවා. මේ විදිහට සතියක් විතර මගේ පුතාට වද හිංසා දීලා තියෙනවා. එයා මැරෙන්න මොහොතකට පෙර එතන හිටපු නම් ගම් හෙළි කළ නොහැකි ශ්‍රී ලාංකික එඩිතර තරුණයකු සෆ්රින්ට අමානුෂික ලෙස පහර දී තියෙන අයුරු, එයාගේ ජංගම දුරකථනයේ ඡායාරූපයක් විදිහට සටහන් කරලා. එතැනින් පැනලා ඇවිත් ශ්‍රී ලාංකික මහ කොමසාරිස් කාර්යාලයට එම තොරතුරු හෙළි කළාට පස්සේ තමයි සෆ්රින්ගේ ඝාතනය කළ බව හෙළි වී ඇත්තේ. එම තරුණයා සෆ්රින් ගැන දැනගෙන තිබෙන්නේ සෆ්රින් කුරුණෑගල ගල්ගමුවේ කියලා. මම සෆ්රින් ග‍ලේවෙල කියලා දන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිය වෙලාවේ ලබාගත් තොරතුරු අනුවයි.
මගේ පුතා ඝාතනය කරලා මාස පහකට පස්සේ තමයි මට දැන ගන්නට ලැබුණේ එයාගේ දේහය තවම මිහිදන් කරලා නැහැ. මගේ පුතාව මරලා හාම්පුතා මෝටර් රථයක දාගෙන ඇවිත් විසි කරලා දාලා කියලා තමයි ආරංචි වුණේ. මගේ පුතාගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් තියලා මිනීමරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්න කියලා එරට සිටින බලධාරින්ගෙන් මා ඉල්ලා සිටිනවා.
සෆ්රින්ගේ මව ෆවුසුල් ඉනායා මහත්මිය මෙසේ පැවසුවාය.

“මගේ පුතා සාහසික පිරිසක් වද දීලා ඝාතනය කරලා. මගේ පුතාව මරලා දාලා තියෙන විදිහ දැක්කාම මගේ පපුව පැළෙන්න වගේ ආවා. මොන ආම්මටද තමන්ගේ දරුවාට මේ විදිහට වද දීලා තියෙන විදිහ බලන්න පුළුවන්. මගේ දරුවා ඝාතනය කළ සාහසිකයන්ට නිසි පරිදි නීතිය ඉටු කරලා මින් මතුවට ශ්‍රී ලාංකිකයකුට එරට පුද්ගලයකු අත උස්සනකොට දෙපාරක් හිතන්න පුළුවන් විදිහේ දඬුවමක් ලබා දෙන්න  කියලා වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලනවා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger