BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 4, 2014

ඩුප්ලිකේට් ජයලලිතලා මෙහෙත් වැහි වැහැලා....

මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන
ජයලලිතලා සිය ගණනක්‌ අද අපේ රටේ ඉන්නවා

බලකාමයත් දූෂණයත් වර්තමාන දේශපාලනය සමග මේ තරම් දැඩිව බැඳී තිබෙන්නේ ඇයි?

අපේ රටේ මැතිවරණයක්‌ ආසන්න වන විට දේශපාලකයින් මොනතරම් මුදල් කන්දරාවක්‌ ජනතාවට බෙදා දෙනවද? මේ මුදල් ඔවුන් ඉපයූවේ කොහොමද? මොවුන් කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හිමිකරගන්නට තරම් ධනවතුන් වූවේ කෙසේද? මින් පෙනෙන්නේ ජයලලිතලා සියගණනින් අද අපේ රටේ සිටින බවයි. රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ඇති දුබලතා නිසා ඔවුන් මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන බවයි.

වර්තමාන දේශපාලනය තුළ පවතින බලකාමය හා දූෂණය පිළිබඳ කදිම උදාහරණයක්‌ අපේ අසල්වැසි තමිල්නාඩුවෙන් පසුගියදා අසන්නට ලැබුණා. ඒ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ වරදට සිරදඬුවම් විඳීමට සිදුවීමයි. 

බලකාමයත් දූෂණයත් වර්තමාන දේශපාලනය සමග මේ තරම් දැඩිව බැඳී තිබෙන්නේ ඇයි?
දේශපාලනය කියන්නෙ බලය සඳහා කරන අරගලයක්‌. රාජ්‍ය පාලන බලතල මෙහෙයවීමට අවස්‌ථාව ලැබෙන්නෙ මේ අරගලය ජයග්‍රහණය කරන පිරිසටයි. රාජ්‍ය පාලන බලතල මෙහෙයවීමට අවස්‌ථාව ලැබුණම රාජ්‍ය දේපළ හැසිරවීමේ හැකියාවත් හිමිවෙනව.

අපේ රටේ 1956 ට පෙර මේ දේශපාලන බල අරගලයේ නියුක්‌ත වෙලා සිටියෙ දේපළ තිබුණු ධනවත් නිහතමානි යහගුණවලින් යුක්‌ත පිරිසක්‌. නමුත් 1956 ට පසු මේ දේශපාලන බල අරගලයට එකතුවුණු වැඩිදෙනා අධ්‍යාපනයක්‌ නැති, දේපළක්‌ නැති, පාරම්පරිකව රැකගන්නට කීර්තියක්‌ නැති පිරිසක්‌. තමුන්ට මේ නැති සියලුදේම සල්ලි බලෙන් ගොඩනඟාගන්න පුළුවන් කියල හිතලයි මේ අය දේශපාලනයට එන්නෙ.

මේ ලෝකෙ ස්‌වභාවයෙන්ම හැම මිනිහෙක්‌ම රෝද තුනක වාහනයක්‌ වගෙයි. හැම මිනිහෙක්‌ම උත්පත්තියෙන්ම ගේන ආසාවන් තුනක්‌ තියෙනව. බලයට තියෙන ආසාව, ධනයට තියෙන ආසාව සහ ලිංගික ජීවිතයට තියෙන ආසාව. මේ ආසාවන් තුනට සීමාවක්‌ නෑ. කොපමණ තිබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. මේ ආසාවන් තුන පුළුවන් තරම් ඉක්‌මනට සහ පුළුවන් තරම් කාලයක්‌ සපුරාගැනීම තමයි පෘථග්ජන ස්‌වභාවය. මෙබඳු ගති ස්‌වභාවයන් තියෙන කෙනකුට රාජ්‍ය බලය හැසිරවීමට අවස්‌ථාව ලැබුණොත් ඔහු මේ ආසාවන් සපුරාගන්නට එය යොදාගන්නව. දූෂණය හා අසීමිත බල තණ්‌හාව වර්තමාන දේශපාලනය හා දැඩිව බැඳෙන්න එක හේතුවක්‌ ඒක. අනෙක අද බොහෝ දෙනෙක්‌ දේශපාලන බලය ලැබුණම තමුන් ආව පන්තිය අමතක කරනව. ගමේ ගොඩේ රස්‌තියාදු ගගහ හිටපු මිනිහට දේශපාලන බලයක්‌ ලැබුණම මන්ත්‍රී හාමුදුරුවො වෙනව. භාර්යාවො බිසවල වෙනව. දරුවො කුමාරයො කුමාරිකාවො වෙනව. ගෙදර ඉන්න බල්ල පූස පවා අමුතු සතුන් බවට පත්වෙනව. මේක අද දේශපාලන බලය ලබාගන්න ඇතමුන්ට හැදෙන මානසික රෝගයක්‌. කෝටි ගණන් වටින ගෙවල් දොරවල්, යාන වාහන, ලක්‌ෂ ගණන් වටින සෙරෙප්පු සපත්තු, ඇඳුම් පැලඳුම් සමග ආරක්‌ෂක නිලධාරිනA පිරිවරාගත් වාහන මේ අයට අවශ්‍ය වෙනවා. පරම්පරාවෙන් තමන් සතු ධනයක්‌ නැති කෙනකුට මේ සඳහා වැයවෙන අතිවිශාල මුදල දේශපාලනඥයකු වීම නිසා රජයෙන් ලැබෙන වැටුපෙන් කිසිලෙසකින් වත් පියවගන්න බෑ. දේශපාලකයො හොරකම් කරන්න පටන්ගන්නෙ ඒ නිසයි. ධනයට, බලයට හා ලිංගික ආසාවට දැඩිව ඇලුම් කරන සහ හරිහැටි අධ්‍යාපනයක්‌ නැති කෙනකුට රාජ්‍ය දේපළ හැසිරවීමේ බලය ලැබුණම ඔහු ඉවක්‌ බවක්‌ නැතිව හොරකම් කරනව. සාමාන්‍ය කෙනෙක්‌ හොරකමක්‌ කළහම තමා සොරෙක්‌ බව ඒ සාමාන්‍ය පුද්ගලයා පිළිගත්තත් කෝටි ගණනින් මහජන මුදල් ගසාකන දේශපාලකයා තමා හොරෙක්‌ බව කවදාවත් හිතන්නෙ නෑ. ඔහු හිතන්නෙ ඔහු ප්‍රභූවරයෙක්‌ කියලයි. ඇත්තවශයෙන්ම මොවුන් ප්‍රභූ හොරු. ළමයි ලොකු ඉස්‌කෝලවලට දාගෙන නෝනගෙ කරේ රත්තරං මාල ටිකක්‌ එල්ලගෙන පැජරෝ මොන්ටෙරෝ වැනි වාහනයකින් යන එන කොට කොයිතරම් ජනතා මුදල් මංකොල්ල කන දේශපාලකයකුට වුණත් සමාජය තුළ ප්‍රභූවරයෙක්‌ වගේ පෙනී ඉන්න අද පුළුවන් වෙලා තියෙනව. අද බොහෝ දෙනෙකුට දේශපාලන බලය අතාරින්න බැරි මේ නිසයි. ජනතා මුදල් නිසා ප්‍රභූවරු වුණු මේ අයට මේ ප්‍රභූත්වය රැකගන්න දේශපාලනය නැතුව බෑ.

අතීතයේ දේශපාලනය වෙනුවෙන් සියලු දේ කැප කළ නායකයනුත් අපේ රටේ සිටියා. නමුත් අද අපේ රටේ සිටින ඔබ කියන මේ ප්‍රභූ හොරුන්ට තම හොරකම රිසි සේ කරගෙන යන්න ඉඩ ලැබිල තියෙනව. නමුත් ඉන්දියාවේ අධිකරණය ඒ සම්බන්ධයෙන් ආදර්ශමත් පියවරක්‌ තබා තිබෙනව නේද?

ප්‍රභූ හොරුන් ජනතාවගේ මුදල් මංකොල්ලකෑම නතර කරන්න පුළුවන් ක්‍රම දෙකක්‌ තිබෙනවා. එකක්‌ නීතියෙන්. අනෙක ජනතාව විසින් මේවා ගැන සොයා බලා මේ හොරු දේශපාලන භූමියෙන් තුරන් කිරීම. නමුත් ලෝකයේ බොහෝ රටවල මේ දෙකම වෙන්නෙ නෑ. බටහිර ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තියෙන, දියුණු මහජන මතයක්‌ තියෙන රටවල ජනතා සහභාගිත්වයෙන් මේ තත්ත්වයන් පාලනය කර තිබෙනව. ඒ රටවල නීතියෙන් සහ ජනමාධ්‍ය තුළින් මෙබඳු තත්ත්වයන් සාර්ථකව මැඬපවත්වල තියෙනව. මේ ප්‍රභූ හොරුන්ට දඬුවම් දිය හැක්‌කේ නීතියේ අධිපතිත්වය හා අධිකරණයේ ස්‌වාධීනත්වය තිබෙන සහ නිර්භයව තීරණ ගත හැකි විනිසුරුවන් සිටින රටකට පමණයි. මහජන මුදල් මංකොල්ලකෑ තම රටේ විශාල ප්‍රාන්තයක මහඇමතිවරියට එරෙහිව පියවර ගන්න ඉන්දියාවට පුළුවන් වුණේ ඊට අවශ්‍ය නීතියේ අධිපතිත්වයත් ස්‌වාධීන අධිකරණයකුත් නිර්භය විනිසුරුවරුත් ඉන්දියාවේ සිටි නිසයි. තමිල්නාඩු මහඇමතිනිය කොතරම් බලවත් කෙනකු වුවත් නීතියේ ප්‍රතිපාදන තම හෘද සාක්‌ෂියට එකඟව නිර්භයව ක්‍රියාවේ යෙදවීමට එම විනිසුරුවරයාට ශක්‌තියක්‌ තිබූ නිසා ජනතාවට යුක්‌තිය ඉෂ්ට වුණා.

තමිල්නාඩු මහඇමතිsනිය අත්අඩංගුවට පත්ව සිරමැදිරියට ගියත් අපේ රටේ චෝදනාවකට අත්අඩංගුවට ගන්නා දේශපාලකයින් නම් යන්නෙ සිරමැදිරියට නොවෙයි රෝහලටයි. අත්අඩංගුවට ගන්නා සැනින් ඔවුන් රෝගීන් බවට පත්වෙනවා. මෙයින් පෙනෙන්නේ අද අපේ රටේ දේශපාලන බලය නීතියටත් ඉහළින් නීතිය වසාගෙන සිටින කඩතුරාවක්‌ වී ඇති බවද?

අපේ රටේ දේශපාලකයන්ට වැරදි කරන්න නීතියෙන් ඉඩදීල තියෙනව. නීතියෙන් ඒ වැරදි ආවරණය කරනව. මන්ත්‍රීවරයකුගෙන් ප්‍රශ්න කරන්න කථානායකගෙන් අවසර ගන්න ඕන. අද දේශපාලකයින්ට එරෙහිව මොනතරම් අල්ලස්‌ සහ දූෂණ චෝදනා එල්ල වෙනවද? ඒවා විභාග කරල දඬුවම් ලබාදීල තියෙන්නෙ කාටද? ජයලලිතට එරෙහිව සුබ්‍රමනියම් සාමි ඉදිරියට ආවා වගේ මේ ප්‍රභූ හොරුන්ට එරෙහිව අපේ රටේ සිවිල් සමාජයේ කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නෙ නෑ. යම් දේශපාලකයෙක්‌ අත්අඩංගුවට පත්වුණොත් ඔහු තම දේශපාලන බලය යොදාගෙන නීතිය අවනීතිය බවට පත්කරනව. අපේ රටේ අත්අඩංගුවට පත්වෙන දේශපාලකයො සිරභාරයට නොගොස්‌ රෝහල් ගතවෙන්නෙ ඒ නිසයි. මේවා නීතියෙ තිබෙන අඩුපාඩුවලටත් වඩා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩුයි. අද අපේ රටේ බොහෝ තැන්වල නීතිය සීමා වී තිබෙන්නෙ පොතට විතරයි. එයට සැලකීමක්‌ නෑ. අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ දුප්පතාට පමණයි. දුබලයාට පමණයි. ඒ නීතියම පොහොසතාට බලවතාට ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් විදිහකටයි. මේක ඇතිකරල තියෙන්නෙ අපේ රටේ දේශපාලකයො. මහ පාරක යනඑන සාමාන්‍ය ජනතාව පවා මේ දේශපාලකයින් නිසා අද මොනතරම් පීඩාවකට පත්වෙනවද? ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙන දේශපාලකයො පාරෙ යන විට ජනතාවට කාණුවට බහින්න අද සිද්ධවෙලා තියෙනව. මොනතරම් වැඩවසම් යුගයකටද මේ දේශපාලකයො අද මේ රට ගෙනත් තියෙන්නෙ. මේ වැඩිදෙනා දේශපාලනය කියන වචනෙ තේරුමවත් දන්න අයද? රාජ්‍ය ප්‍රතිපත්ති කියන වචනෙ තේරුම දන්න, රාජ්‍ය ප්‍රතිපත්තිවල ඉලක්‌ක මොනවද කියල දන්න කීයෙන් කීදෙනා ද අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? හරි අධ්‍යාපනයක්‌, පාරම්පරික දැනුමක්‌ හෝ ධනයක්‌ නැති මේ වැඩිදෙනෙක්‌ පුස්‌සො. සමහරු පාදඩයො. දේශපාලනයට එන වැඩිදෙනා හිස්‌ මිනිස්‌සු නැතිනම් පුස්‌සො, පාදඩයො වෙනකොට ඒ රට චෞර රාජ්‍යයක්‌ බවට පත්වෙනව. රටක්‌ ඒ තත්ත්වයට පත්වුණොත් ඉන්පසු ඒ රට ගලවාගත හැක්‌කේ සිවිල් සමාජය ශක්‌තිමත් වුණොත් පමණයි. දුෂ්ට, පුහු දේශපාලනයෙන් රටක්‌ මුදවා ගැනීමට ජනමාධ්‍යටත් විශාල කාර්යභාරයක්‌ තිබෙනවා. නමුත් ජනමාධ්‍යයත් ඒ චෞර රාජ්‍යයේම කොටසක්‌ බවට පත්වුවොත් ඒ රට ප්‍රභූ චෞරයන්ගේ රටක්‌ බවට පත්වීම වළක්‌වන්න බෑ. නමුත් එ සම්බන්ධයෙන් ඉන්දියාව මුළු ලෝකයටම ආදර්ශයක්‌ සපයා දී තිබෙනවා. ඉන්දියාව ස්‌වාධීන අධිකරණයක්‌ ඇති රටක්‌ බව ලෝකයටම ඔප්පු කර තිබෙනවා.

අපේ රටේ මැතිවරණයක්‌ ආසන්න වන විට දේශපාලකයින් මොනතරම් මුදල් කන්දරාවක්‌ ජනතාවට බෙදා දෙනවද? මේ මුදල් ඔවුන් ඉපයූවේ කොහොමද? මොවුන් කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හිමිකරගන්නට තරම් ධනවතුන් වූවේ කෙසේද? මින් පෙනෙන්නේ ජයලලිතලා සියගණනින් අද අපේ රටේ සිටින බවයි. රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ඇති දුබලතා නිසා ඔවුන් මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන බවයි.


- විශ්‍රාමික මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා 
සාකච්ඡා කළේ
පාලිත සේනානායක

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger