රාජ්‍ය දේපළ මෙලෙස සොරකම් කරන මෙවැනි පුද්ගලයන් හට උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි අධමයන් යළිත් වරක් කිසිම බයකින් තොරව මෙවැනි අපරාධ දිගින් දිගටම සිදු කරනු ඇත.
ආරම්භක වැටුප හා වැටුප් වර්ධක වැඩිකර ගැනීමේ ඉල්ලීම් මුල්කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක නිරත වූයේ පසුගිය 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. රටේ බහුතරයක් පිරිස මෙම වැඩවර්ජනය ගැන කතා බහ කරද්දී එතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවට රහසක්ව තිබූ කරුණක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිවිය. එනම් ලක්ෂ 13 ක් පමණ වටිනා දුම්රිය අමතර කොටස් විකුණූ දුම්රිය දෙපාර්තමේන්තුවේම සේවය කළ පුද්ගලයකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධියයි.
පසුගිය මාස තුනක කාලයක සිට දෙමටගොඩ දුම්රිය ජලශක්ති ධාවනාගාරයේ නවතා තිබෙන දුම්රියවල තිරිංග පද්ධතියට සම්බන්ධ අමතර කොටස් විටින් විට නැතිවී තිබේ. මේ පිළිබඳව සොයා බැලූ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීහු දෙමටගොඩ පොලිසියේ පැමිණිල්ලක් දැමුවේය.
පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ දෙමටගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු මෙම සොරකමේ ප්‍රධාන මොළකරුවන චමින්ද ප්‍රභාත් නමැති සැකකරු අත්අඩංගුවට ගත්හ. චමින්ද ප්‍රභාත් දෙමටගොඩ දුම්රිය ජලශක්ති ධාවනාගාරයේ තාක්ෂණ ශිල්පියෙකි. ඔහු මාස තුනක සිට තවත් දෙදෙනකු සමඟ එකතු වී මෙම සොරකම සිදුකර තිබේ.
මොවුන් දෙමටගොඩ දුම්රිය අංගනයේ දහවල් කාලයේ නවතා තිබෙන දුම්රිය වලින් තිරිංගවලට සම්බන්ධ අමතර කොටස් ගලවා සඟවා තබා තිබේ. පසුව රාත්‍රි කාලයේදී ඉතා සූක්ෂම ලෙස දුම්රිය අංගනයෙන් එළියට ගෙනවිත් දෙමටගොඩ පරණ යකඩ බඩු කඩයක මුදලාලි කෙනෙකුට විකුණා තිබේ.
එම කාල සීමාව තුළ දුම්රිය තිරිංගවලට සම්බන්ධ අමතර කොටස් 56 ක් විටින් විට එම මුදලාලිට මොවුන් විකුණා තිබේ. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 13 කට ආසන්න බව දෙමටගොඩ පොලිසිය පවසයි.
චමින්ද ප්‍රභාත් නමැති සැකකරුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව දෙමටගොඩ යකඩ බඩු වෙළෙඳසැල් හිමියාවද දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසු ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම මස 20 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉතිරි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන පෙරේරා නමැත්තාද අත්අඩංගුවට ගෙන පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කළේය. අනික් සැකකරුවත් ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව දෙමටගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක කේ. එම්. හේරත් පැවැසීය.
රාජ්‍ය දේපළ මෙලෙස සොරකම් කරන මෙවැනි පුද්ගලයන් හට උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි අධමයන් යළිත් වරක් කිසිම බයකින් තොරව මෙවැනි අපරාධ දිගින් දිගටම සිදු කරනු ඇත.
දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි සේනක ජයසේනගේ උපදෙස් පරිදි මාලිගාවත්ත කාර්යභාර නිලධාරි මර්වින් අල්විස්, ආරක්ෂක නිලධාරි අබේකෝන්ද දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ මහින්දසිරිගේ උපදෙස් පරිදි එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. එම්. හේරත්, පො.සැ. ජයසේකර (28789), පො.සැ. නිහාල් (33446), පො.කො. වන්නිආරච්චි (87138), පො.කො. පෙරේරා (72686), පො.කො. ගිරිදරන් (76011) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
පසුගිය කාලයක සිට දෙමටගොඩ දුම්රිය තිරිංගවලට සම්බන්ධ ප්‍රශ්ණ නිසා සිදුවූ අනතුරු කිහිපයක වාර්තා සටහන් පහතින්....
“අරුවක්කාඩුවේ ඉදලා ආපු හුනුගල් පුරවපු කොම්පැනියේ දුම්රියක් පසුගිය බදාදා (3) උදැසන නුරුනගර් වලදී ගැලවිලා එන්ජිමත් එක්ක වැගන් විසිතුනක් සිග්නලුත් නැතිව පුත්තලමට ආවා.රියදුරුවත් ගාඩ්වත් වැගන් හතක් ගැලවුණ බව දන්නේ නැහැ.මේ දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක විම හොරයි.සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම රියදුරුට ඒ බව දැනෙන්න ඕන.දුම්රිය මේ ගමන ආවේ ප්‍රධාන මාර්ග නිහිපයක්ම පසුකරලා.මේ වෙලාවේ නුරුනගර් දක්වා යන මගී දුම්රියක් එහෙම ආවානම් මෙය විශාල අනතුරක්. අනාරක්ෂිත ගමනකදී සිදුවු අනතුරක් පිළිබඳව තොරතුරු දන්නා දුම්රිය සේවකයකු පැවැසුවේ හුනුගල් දුම්රිය පිළිබඳ අප තොරතුරු සොයා බලමින් සිටියදීය.“
එස් - 11 දුම්රිය බලවේග කට්ටල
ධාවනයෙන් රියෑදුරෝ ඉවත් වෙති
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද එස් - 11 වර්ගයේ දුම්රිය බලවේග කට්ටල ධාවනය කිරීමෙන් වැළකී සිටීමට දුම්රිය රියෑදුරන්ගේ සංගමය තීරණය කර ඇත. අදාළ දුම්රිය ධාවනය කිරීම අනතුරුදායක බවත් එහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිවකු විසින් භාර නොගන්නා බැවින් මෙම තීරණයට එළැඹි බව එම සංගමයේ සභාපති අයි. එල්. කේ. දිසානායක පැවසීය.
පසුගිය 17 දා අලව්වේදී සිදුවූ දුම්රිය අනතුරේදී මෙම එස් - 11 වර්ගයේ දුම්රියක් හානියට පත්වූ අතර එම දුම්රියවල තිරිංග පද්ධතිය හා මැදිරිවල ශක්තිමත්භාවය පිළිබඳව මේ වනවිට ගැටලු පැන නැගී ඇත.
මෙම එක් දුම්රියක වටිනාකම රුපියල් කෝටි 35 ක් පමණ වන අතර මෙරටට ගෙන්වා ඇති එම වර්ගයේ දුම්රිය 9 න් 6 ක් දැනට ධාවනය වෙයි. දුම්රිය 2 ක් තවමත් පරීක්ෂණ ධාවන මට්ටමේ ඇත. ඉන් එක් දුම්රියක් පසුගියදා අලව්වේදී අනතුරට පත්විය.
අදාළ එස් - 11 වර්ගයේ දුම්රියක් මංගල ගමනේදී තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමග ඇනහිටි අතර ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම විසින් ඒවා ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලදී.
කෝච්චි 2ක් හැප්පෙයි....
පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පෙරවරු (30දා) දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එම දුම්රියවල ගමන් කළ මගීහු 54 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ඊයේ පෙරවරු 8.15ට පමණ මෙලෙස මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරට පත්වූයේ වවුනියාව සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රිය සහ කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දැයට කිරුළ නම් නගරාන්තර දුම්රියයි.
දුම්රිය එකිනෙක ගැටීම හේතුවෙන් දුම්රිය එන්ජින් දෙකට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියෙහි මැදිරි දෙකක් මාර්ගයෙන් ඉවතට පැන එක් මැදිරියක් අසල තිබූ කුඹුරකට පෙරැළී තිබිණි. අනතුර සිදුවූ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයටද දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබූ අයුරු දැක ගත හැකි විය.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් පස්දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඊයේ දහවල් 12 පමණ වන විට රෝහලට ඇතුළත් කළ රෝගීන් 54 දෙනාගෙන් 10 දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගිය බවත් රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
කාන්තාවන් 25 දෙනෙක්, පුරුෂයන් 14 දෙනෙක් සහ කුඩා දරුවෝ සය දෙනෙක් ඇතුළු පිරිසක් තවදුරටත් කුරුණෑගල රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසුවෙති.
දුම්රියෙහි ගමන් කළ මගීන්, අමතරව එහි ගමන් ගනිමින් සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු, දුම්රිය රියැදුරු සහායකවරයකු, ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයකු සහ දුම්රිය නියාමකවරයකුද අනතුරින් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටී.
සෞඛ්‍ය සේවිකාවන් පිළිබඳ ගැටලුවක් මුල් කරගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණත් හදිසි හා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා දුම්රිය අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට හෙද හෙදියන් විසින් කටයුතු කළ බව හදිසි අනතුරු අංශය භාර ප්‍රධාන හෙද සොහොයුරිය වන සුනේත්‍රා මල්කාන්ති කීවාය.
අනතුරින් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසුවන දැයට කිරුළ නගරාන්තර දුම්රියෙහි රියැදුරු සහායක ලෙස කටයුතු කළ ආර්.පී.ජී. රූපරත්න සිද්ධිය ගැන මෙසේ පැවැසීය.
'දැයට කිරුළ නගරාන්තර දුම්රිය උදේ 6.50ට පමණ පලෙයි බලා යන්න කොළඹ කොටුවෙන් පිටත් වුණා. දුම්රිය පොල්ගහවෙලින් පිටත්වෙලා පොතුහැර දක්වා එද්දී අපි ආව ප්‍රධාන මාර්ගයේම පොතුහැර ස්ටේෂන් එකේ රැජන දුම්රිය නවත්වලා තියෙනවා දැක්කා. ඒ බව කෝච්චියේ ප්‍රධාන රියැදුරු රූපසිංහ ට දැනුම් දුන්නා. ඔහු දුම්රිය නවත්වන්න උත්සාහ කළත් තිරිංග ප්‍රමාණවත් නොවන බව මට වැටහුණා. දුම්රිය දෙක හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දී මමයි, ප්‍රධාන රියැදුරු යි එන්ජිමෙන් එළියට පැන්නා. එහෙම පනින කොට මගේ කකුලක් බිම වැදිලා අස්ථියක් පැන්නා' යැයි පැවැසීය.
අනතුරින් තුවාල ලැබූ අහිංසා දිල්හානි (26) මෙසේ කීවාය.
'මමයි, අම්මයි, තාත්තයි මගේ දරුවෝ දෙන්නයි රාගම අපේ ගෙදර යන්න අනුරාධපුරෙන් රජරට රැජිනට නැග්ගා. අපි හිටියේ කෝච්චියේ ඉස්සරහම පෙට්ටියේ. පොතුහැර දුම්රිය ස්ථානයේදී අපි ආව කෝච්චිය පැය භාගයක් විතර නවත්වාගෙන හිටියා. එක පාරට කොළඹ පැත්තේ ඉඳලා තවත් කෝච්චියක් අපි හිටපු කෝච්චිය දිහාට වේගෙන් එනවා පෙනුණා. මොනවත් හිතා ගන්න කලින්ම ඒ කෝච්චිය අපේ කෝච්චියේ හැප්පිලා එකේ පෙට්ටි උඩ විසි වුණා වගේ මතකයි. ජනේලවලින් එළියට පනින්න හැදුවත් තුවාල නිසා අමාරු වුණා. පස්සේ අපි කට්ටියම රෝහලට අරගෙන ආවා' යැයි කීවාය.
අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබන යුද හමුදා මාණ්ඩලික සැරයන් ආර්.එම්.පී.සී.කේ. රාජපක්ෂ මෙසේ පැවැසීය.
'මම රාජකාරියට වාර්තා කරන්න යාපනේ ඉඳලා මාතර දක්වා රැජන දුම්රියෙන් යමින් සිටියේ. මම හිටියේ එන්ජිම එක්කම තියෙන පෙට්ටියේ. උදේ 7.50ට විතර වෙද්දී කෝච්චිය පොතුහැරට ආවා. තව කෝච්චියකට ඉඩ දෙන්න කියලා විනාඩි 20කට වැඩිය රැජන නවත්වාගෙන හිටියා. එක පාරටම හෙණ හඬක් වගේ සද්දයක් එක්ක මම හිටපු පෙට්ටිය ඇල වෙලා වෙලකට පෙරළුණා. මිනිස්සු මගේ ඇඟ උඩට වැටුණා. මගේ අත් කකුල් හොලවන්න බැරිව හිරවෙලා ඉද්දී මාව රෝහලට අරගෙන ආවා' යැයි හෙතෙම පැවැසීය.
Post a Comment