Saturday, October 18, 2014
සෝභිත හිමිගේ ප්‍රවේශය... වික්ටර් අයිවන්
මීට කලකට ඉහතදී මා රටේ නුදුරු අනාගතය දැක්කේ නොවැළැක්විය හැකි ලෙස අරාජිකත්වයක් කරා ගමන් ගනිමින් තිබෙන රටක් ලෙසය. ඒ ගැන මට මගේ විග්රහයක්ද තිබුණි. මට එහිදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙනුණේ කල්පවත්නා ශක්තිමත් ආණ්ඩුවක් ලෙස නොව තමන්ගේ දේශපාලන මිනීවළ තමන්ම කපා ගනිමින් වේගයෙන් විනාශ මුඛයට ඇදී යන මෝඩ ආණ්ඩුවක් ලෙසිනි. මා රටේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය දැක්කේ ආණ්ඩුවේ පිරිහෙන වේගයට ගැළපෙන වේගයකින් නැගී සිටීමට අවශ්‍ය ශක්තිය නැති ඒ අබල දුබලකම නිසාම විධිමත් ලෙස බලය ලබාගැනීමට අසමත් ඒ අසමත්කම නිසාම රට අරාජික තත්ත්වයකට තල්ලූ කිරීමට දායක වන ව්‍යාපාරයක් ලෙසය.
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ සංසිද්ධිය මා දකිනුයේ ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් දේශපාලන කඩඉමක් ලෙසය. නිදහසේ සිට 1978 දක්වා වන දශක තුනක කාලපරිච්ෙඡ්දය තුළ විටින් විට අශීලාචාරකම් රටේ සිදුවුවද රට තිබුණේ ශීලාචාර තත්ත්වයකය. අශීලාචාරත්වය රජයන යුගයකට රට මාරුවන්නේ 1978දීය. ඒ සමග එළැඹෙන අශීලාචාර යුගයට ගැළපෙන අශීලාචාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ඇතිකර ගත්තේය. ඉන්පසු එළැඹෙන දශක තුන හිංසනය, භීෂණය, දූෂණය හා අවනීතිය රජ කළ ලේවලින් තෙත්වූ දශක තුනක් ලෙස සැලකිය හැකිය.
අශීලාචාරත්වය රජකළ මෙම දශක තුනක කාලය තුළ සිදුවූ දේවල් විශ්වාස කරන්නට බැරි තරමට ම්ලේච්ඡුය. බිහිසුණුය. අවලස්සනය. එය සමස්ත සමාජ, දේශපාලන හා ආර්ථික වටාපිටාව විකෘති කිරීමට හේතුවිය. රාජ්‍යයේ සමස්ත ආයතන ක්රමයද විකෘති කොට කුණු කළේය. ඒ නිසා ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් දර්ශක දෙකක් මෙසේය. එක දර්ශකයක් ප්රකටය. එය මහජනයාට දැකිය හැකි දර්ශකයක් ලෙස සැලකිය හැකිය. අනෙක් දර්ශකය එතරම් ප්‍රකට නැත.
දර්ශක දෙකක්
හිටපු අගවිනිසුරුවරයකුගේ ගණන් බැලීම අනුව වර්තමාන ලංකාවේ අපරාධ නඩුවලින් වැරදිකරුවන් වන අනුපාතිකය 4%කි. රටේ නීතියේ පාලනය බිඳවැටී තිබෙන පරිමාව හා නීතිය ක්‍රියාත්මක කරන හා නීතිය පසිඳලන ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම ඉන් පෙන්නුම් කරයි. ඉන් අදහස් කරන්නේ අපරාධ නඩුවලදී මොන මොන හේතු නිසා හෝ වැරදිකරුවන් වන්නේ 4%ක් පමණක් බවත් ඉතිරි 96%ම නිදහස් වන බවත්ය. ඉන්දියාවේ අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන්නන්ගේ අනුපාතිකය 70%කි. යුරෝපීය රටවල එය 80%ත් 85%ත් අතර මට්ටමක පවතී. අපේ රටේ ආයතන ක්රමයේ පමණක් නොව සමාජ ක්රමයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි.
මා දෙවැනි නිදර්ශනය සඳහා තෝරාගත්තේ සිමෙන්තිය. චීන ව්‍යාපෘති නිසාම ඉදිකිරීම් අංශය රටේ ආර්ථික වර්ධනයට වැඩියෙන්ම දායක වී තිබෙන අංශය ලෙස සැලකිය හැකිය. පුංචි මිනිසුන්ගේ ඉදිකිරීම්වලදී පමණක් නොව මහා පරිමාණයෙන් කරන ඉදිකිරීම් සඳහාද සිමෙන්ති වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් ලංකාවේ පුංචි මිනිසුන් පමණක් නොව රජය විසින් මහා පරිමාණයෙන් කරන දැවැන්ත ඉදිකිරීම් සඳහාද බහුල ලෙස යොදාගනිමින් තිබෙන්නේ පිළිගත් ප්‍රමිති තත්ත්වයක නැති බාල සිමෙන්තිය. ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිති තත්ත්වය සලකා බලා නිසි ප්‍රමිති තත්ත්වයක නැති සිමෙන්ති වෙළෙඳපොළට මුදාහැරීම වැළකිය යුතු බලධාරියා ලෙස ක්රියාකරනුයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පිළිගත් ප්‍රමිතිය අනුව සිමෙන්තිවලදී දින 28ක කාලයක් තුළ සිදුකරන පරීක්ෂණයෙන් සම්පීඩතා ශක්තිය 42.5ත් 62.5ත් අතර විය යුතුය. එම ප්‍රමිතියට අනුකූල නොවන සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් වැළකිය යුතුය. ලංකාවේ සිමෙන්ති සමාගම් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් විකුණන සිමෙන්ති ප්‍රධාන වශයෙන් ආනයනය කරන්නේ පාකිස්තානයෙනි. පාකිස්තානයේ ලකී, මේපල් ලීෆ්, ඇටොක් යන සිමෙන්ති සමාගම්වලිනි. විගණකාධිපති දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ට අනුව මෙම සිමෙන්ති තිබෙන්නේ පිළිගත හැකි ප්‍රමිති තත්ත්වයක නොව ඊට වඩා පහළ තත්ත්වයකය. 2012දී පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමෙන් ලංකාවේ සිමෙන්ති ගෙන්වා බෙදාහරින සමාගම් හතරක් විසින් ආනයනය කර තිබෙන සිමෙන්ති ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 581කි. ඒ සියලූ සිමෙන්ති තිබී ඇත්තේ පිළිගත් අවම ප්‍රමිති තත්ත්වයකටත් වඩා (සම්පීඩතා ශක්තිය 42.5ටත් වඩා අඩු) තත්ත්වයකය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒ සියලූ සිමෙන්ති ප්‍රමිතියට අනුකූල සිමෙන්ති ලෙස සලකා වෙළෙඳපොළට නිකුත් කිරීමට ඉඩ ලබාදී තිබුණි. පාකිස්තානයේ ඇටොක් සමාගමෙන් එම වසරේ ආනයනය කර තිබෙන සිමෙන්ති ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 27කි. එම සිමෙන්ති ආනයනය කර තිබෙන අවස්ථා සංඛ්‍යාව 34කි. ඉන් අවස්ථා 25ක් අළලා කරන ලද නියැදි පරීක්ෂණයකදී අවස්ථා 11ක සම්පීඩතා ශක්තිය තිබිය යුතු ප්‍රමිති තත්ත්වයේ අවම මට්මටමත් වඩා පහළ තත්ත්වයක තිබෙන බව හඳුනාගෙන තිබේ. එහෙත් ප්‍රමිති ආයතනයට එය ප්‍රශ්නයක් වී නැති අතර ඒ සියලූ තොග වෙළෙඳපොළට නිකුත්කර තිබේ. මේ ආකාරයට බාල සිමෙන්ති යොදා ඉදිකර තිබෙන මහා පරිමාණයේ ඉදිකිරීම්වල විශේෂයෙන්ම එම ඉදිකිරීම් සඳහා යොදාගන්නා කොන්ක්‍රීට්වල පැවැත්ම කුමක් විය හැකිද?
රටේ ආයතන ක්රමයේ ඇතිවී තිබෙන ගරාහැලීම හා බිඳවැටීමේ තරම පෙන්නුම් කිරීමට දැක්විය හැකි තවත් නිදර්ශන ඇතත් ඉදිරිපත් කළ නිදර්ශන දෙකෙන් පමණක් වුවත් ඒ ගැන වැටහීමක් ඇති කරගත හැකිය. ප්රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කරන අවස්ථාව වනවිට දශක තුනක් තරම් කාලයක් භීෂණය, දූෂණය හා අවනීතිය රජ කළ බිහිසුණු වටාපිටාව තුළ රටේ සියලූ ආයතන ක්‍රම සේ ම සමාජයද මජර ගලන තරමට කුණුවී තිබුණි. ඒ දේවල ඇතිවී තිබුණු කුණුවීම මහජනයාට නොපෙනුණේ රටේ ප්රචණ්ඩ ගැටුම් තිබුණු එම කාලයේදී මහජනයාගේ ප්‍රධාන අවධානය ප්රචණ්ඩ ගැටුම්වලට යොමුවී තිබීම නිසාය.
ප්රභාකරන්ගේ ප්රචණ්ඩ ව්‍යාපාරය පරාජය කිරීමත් සමග විය යුතුව තිබුණේ කුණුවී තිබුණු ආණ්ඩු ක්‍රමය සේ ම සමාජ ක්රමයද ප්රතිසංවිධායකට ලක්කෙරෙන ප්‍රතිසංස්කරණ ඇතිකිරීමය. එහෙත් යුද්ධය ජයගත් වීරයා ඒ වෙනුවට කළේ කුණුවී තිබුණු ආණ්ඩු ක්‍රමය හා සමාජ ක්‍රමය තවදුරටත් කුණුවන්නට ඉඩදී තම පැවැත්ම දීර්ඝ කරගැනීම සඳහා ක්රියාකිරීමය. ඒ මගින් වීරයාද කුණුගොඩ තුළ ජීවත්වෙමින් ඉක්මනින් කුණුවන වීරයකු බවට පත්විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පාලනය පරාජය කරන වැඩසටහනක් තුළ සිදුවිය යුතුව තිබෙන්නේ යුද්ධය ජයගැනීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැහැර හරිනු ලැබූ ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීමය. හොඳටම කුණුවී තිබෙන දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය ප්‍රතිසංවිධානයට ලක්කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇතිකිරීමය. එසේත් නැතිනම් අශීලාචාර තත්ත්වයක තිබෙන රට ශීලාචාර තත්ත්වයකට ගැනීමය.
එහෙත් අවාසනාවකට ආණ්ඩු ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන සංවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට ශක්තිමත් හා අර්ථවත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට රට තල්ලූ කරනවා වෙනුවට ඒ ගමන අවුල් කරන දෙයක් බවට පත්වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ඒ තත්ත්වය නැවත රට අරාජික තත්ත්වයකට තල්ලූ කිරීමට හේතුවිය හැකිය.
සෝභිත හිමිගේ මග
මාදුළුවාවේ සෝභිත හිමි තිබෙන අශීලාචාර ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව ගැන මහජන මතයක් ගොඩනැගීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් ඒ හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය තිබෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කොට නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවීම සඳහා ඉදිරිපත් කර තිබෙන මාර්ග සැලැස්ම ප්‍රායෝගික සැලැස්මක් ලෙස සැලකිය නොහැකිය.
1. එය පූර්ණ ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවට සීමිත ව්‍යවස්ථා ප්රතිසංස්කරණයකට සීමාවූ වැඩසටහනකි. ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද දෙවැනි සංශෝධනයක් මගින් ජනාධිපති බලතල තමන් වෙත හිමිකර ගත්තා සේ මෙම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගින් ජනාධිපති බලරහිත නාමික ජනාධිපතිවරයකු බවට පත්කරමින් සියලූ බලතල පාර්ලිමේන්තුවට ලබාදීමට අපේක්ෂා කරයි. ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ ව්‍යවස්ථා සම්පාදන කාර්යය 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සීමිත සංශෝධනයට පමණක් සීමා නොකළේය. ඉන්පසු ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සඳහා අවශ්‍ය කරන ව්‍යුහයන් නිර්මාණය කෙරෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්ද ඇතිකර ගත්තේය. එම ව්‍යුහයන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට ගැළපෙන ලෙස වෙනස් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමෙන් තොරව සීමිත ව්‍යවස්ථා සංශෝධනයකින් තිබූ බලතල පාර්ලිමේන්තුවට පවරන ප්‍රතිපත්තියක් සමස්ත ආණ්ඩු ක්රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය හැකිය.
2. සෝභිත හිමියන්ගේ වැඩසටහන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම එකම දේශපාලන සටනක වැදගත් අවස්ථා දෙකක් ලෙස සලකා සකස් කරන ලද්දක් නොව ජනාධිපතිවරණයකට පමණක් සීමාවූ වැඩසටහනකි. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පමණක් ක්‍රමය වෙනස් කළ නොහැකිය. ජනාධිපති රාජ්‍යයේ හා ආණ්ඩුවේ නායකයා වුවත් නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවටය. පළමුව ජනාධිපතිවරණයක් ඉදිරියට ගන්නවාද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියට ගන්නවාද යන්න තීන්දු කරන්නේ ජනාධිපතිය. ජනාධිපතිවරයා දැන් ඇතිවී තිබෙන විශේෂ තත්ත්වයන් සලකා ජනාධිපතිවරණයක් වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියට ගතහොත් ඊට මුහුණ දිය යුතු ක්‍රමයක් සෝභිත හිමියන්ගේ වැඩසටහනට ඇතුළත්ව නැත. ප්‍රතිසංස්කරණ අරමුණු ජයගැනීම සඳහා අවශ්‍ය වී තිබෙනුයේ ජනාධිපතිවරණයක් පමණක් ඉලක්ක කරගත් වැඩසටහනක් නොව ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම ඉලක්ක කරගත් වැඩසටහනකි. ගොඩනගන සන්ධානයට ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකුද, පාර්ලිමේන්තු මැතිවරණයකදී පොදු ලැයිස්තුවක්ද ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා කරන අරගලය අඛණ්ඩව ඉදිරියට ගලා යන ක්‍රියාවලියක් බවට පත්වනු ඇත්තේ එවිටය.
3. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු විය යුතුය යන අදහසද බාහිර පෙනුමෙන් ලස්සන වුවද ප්‍රායෝගික අදහසක් ලෙස සැලකිය නොහැකිය. නිර්පාක්ෂිකයකු ඉදිරිපත් කොට ඔහු ජයගත්තද මොන මොන හේතු නිසා හෝ ඔහුට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීමට නොහැකි වෙතොත් නිර්පාක්ෂික ජනාධිපතිවරයාට කළහැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණය. ඔහු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන නිසා තම වැඩසටහනට හිතවත් මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්කර ගැනීමේ හැකියාවක් ඔහුට නැත. ඉන්පසු ඇතිවිය හැකි උත්ප්රාසජනක තත්ත්වය අමුතුවෙන් විස්තර කළයුතු නැත. අප ජීවත්වන්නේ කළු සල්ලිකාරයන් රජකරන වටාපිටාවකය. තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් මිලදී ගෙන එහෙ මෙහෙ කිරීම එවැනි අයට අමාරු දෙයක් වන්නේ නැත.
4. සෝභිත හිමියන්ගේ වැඩසටහනට ආවේණික තවත් ලොකුම දුර්වලතාවක් ලෙස සැලකිය හැක්කේ මහජනයාගේ හෝ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී සහභාගිත්වයෙන් තොරව පුංචි කණ්ඩායමක් එකට එකතු වී සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් නීතිගත කළ යුතු බවට දේශපාලන පක්ෂවලට බලකිරීමය. එය පිළිගත් ව්‍යවස්ථා සම්පාදන සම්ප්‍රදායයන්ට මුළුමනින් පටහැනිය. එය විසින් ඇතිකරන ප්‍රතිඵලය මහා අවුලක් වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුද? සෝල්බරි ව්‍යවස්ථාවේ සිට 78 ව්‍යවස්ථාව දක්වා වන සියලූ ව්‍යවස්ථා අප හදාගෙන තිබෙන්නේ ඉතාමත් හිතුවක්කාරී ආකාරයටය. ඒ වැරදි වෙනුවෙන් රට ගෙවා තිබෙන වන්දියේ ප්‍රමාණයද අතිවිශාලය. ඒ සියලූ පාඩම් තිබියදී නැවත හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාව තනන තැනකට යෑම සුදුසුද?
5. සෝභිත හිමියන්ගේ ව්‍යාපාරය පොදු අපේක්ෂකයා තීරණය කිරීම සඳහා යොදාගෙන තිබෙන ක්රමවේදයද අවුල්සහගතය. විය යුතුව තිබුණේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනීසිටින සියලූ පක්ෂ එකට එකතු කොට කරන කථිකාවක් මගින් සියලූදෙනාට පිළිගත හැකි පොදු වැඩපිළිවෙළක් ඇති කරගැනීමය. ඉන්පසු එම පොදු වැඩසටහනට එකතු වී සිටින පක්ෂ සමග කරන කථිකාවක් මගින් එම වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා පොදු අපේක්ෂකයකු තෝරාගැනීමය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා එකතු කරගත යුතු සියලූ පක්ෂ එකට එකතු කොට ඔවුන් සමග සාකච්ඡුා කරන තැනකට නොගියේය. ඒ වෙනුවට සිදුවූයේ තෝරාගත් සමහර පක්ෂ සමග අවිධිමත් ලෙස කතාකරන තැනකට යෑමය. අනෙක් පක්ෂ සමග කතා කරන බවක් පෙනෙන්නට සැලැස්සුවද අද දක්වා විධිමත් ලෙස සාකච්ඡුා කිරීමක් සිදුවී නැත.
6. මෙම ව්‍යාපාරය ක්‍රියාවට නගා තිබෙන උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැඟවුණු දේශපාලන අරමුණක් තිබෙන බවද පැහැදිලිව දැකිය හැකිය. එහි සඟවාගෙන සිටින දේශපාලන අරමුණ ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහ තරග බිමට ඒම වැළකීමය. මෙම ව්‍යාපාරයට උද්යෝගිමත් ලෙස සහාය දෙන අයගෙන් වැඩි පිරිසක් රනිල් විරෝධීන් ලෙස හඳුනාගත හැකිය. මෙය සෝභිත හිමියන් දැනදැනම කරන වරදක් නොවිය හැකි වුවද රනිල් විරෝධී පිරිසක් රනිල් තරග බිමට ඒම වැළකීම සඳහා සෝභිත හිමියන්ගේ වැඩසටහන බලවත් ලෙස පාවිච්චි කරමින් තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. අවසානයේ ඒ නිසා සිදුවෙමින් තිබෙන්නේ පොදු වැඩසටහන් සාදාගැනීම හෝ පොදු අපේක්ෂකයකු පිළිබඳ තීරණයක් ගැනීම අවසන් කළ නොහැකි අවිනිශ්චිත දෙයක් බවට පත්වීමය.
මාවත නිවැරදි කරගැනීම
මෙම අවිනිශ්චිත තත්ත්වය ප්‍රමාද නොවී නිවැරදි කර නොගතහොත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරය පමණක් නොව රටද තල්ලූ වී යනු ඇත්තේ මහා අරාජිකත්වයකටය.
1. මේ මොහොතේ පක්ෂ නායකත්වයෙන් තමන් පෙරළා දැමීමට හැකියාවක් එජාපයේ ඇතුළ සිටින හෝ පිටත සිටින රනිල් විරෝධී එක්සත් ජාතික පාක්ෂිකයන්ට නැති බව රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා වශයෙන් තේරුම් ගත යුතුව තිබෙන අතර මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ පෙරළා දැමීමේ හැකියාවක් තමන්ටද නැති බව එම පක්ෂයට සම්බන්ධ රනිල් විරෝධීන්ද තේරුම් ගත යුතුව තිබේ.
2. පක්ෂය තුළ ඇතිවූ විවිධ ගැටුම් නිසා හිත් අමනාපකම් ඇතිකර ගනිමින් පක්ෂයෙන් පිටස්තර වී සිටින හා ආණ්ඩුවට එකතු වී සිටින සියලූදෙනා ගරු කටයුතු ලෙස නැවත පක්ෂයට එකතු කරගන්නා ඉක්මන් වැඩසටහනක් පක්ෂ නායකයා විසින් දියත් කළ යුතුය. පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ එවැනි අයට ආරාධනාවක් කළහොත් බොහෝ දෙනෙකු නැවත එම පක්ෂයට එකතු වනු ඇති අතර එය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අය අතරින් එල්ල වන විරෝධතා අවසන් කොට එජාපයේ ක්‍රියාකාරීත්වය ප්‍රබෝධමත් කිරීමට හේතුවනු ඇත.
3. ප්‍රධාන විරුද්ධ පක්ෂ ව්‍යාපාරය වශයෙන් එජාප නායකයා හෝ තුන්වැනි පිරිසක් හෝ යොදා ගනිමින් අන් පක්ෂ නායකයන් සම්බන්ධ කරගන්නා සාකච්ඡුා සභාවක් කැඳවිය යුතුය. ඊට සෝභිත හිමියන්ද කැඳවිය යුතුය. සාකච්ඡුාවේ ප්‍රධාන අරමුණ කරගත යුත්තේ පොදු වැඩසටහනක් ඇතිකර ගැනීමය. එම වැඩසටහන මැතිවරණ දෙකම ඉලක්ක කරගත් එකක් විය යුතුය. ඇති කරන්නට යන ආණ්ඩු ක්‍රමය සඳහා වන මූලධර්ම හඳුනාගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගත යුතුය. ඉතාමත් වැදගත්ම දේ රට ශීලාචාර තැනකට ගැනීමය. භේද නොසලකා සියලූ මනුෂ්‍යයන්ට සමාන ගෞරවයක් හා සමාන අයිතිවාසිකම් ලබාදෙමින් සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන අභිනව ශ්‍රී ලංකා රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීම ඇතිකරන ප්‍රතිසංස්කරණවල සැබෑ අරමුණ විය යුතුය. ආණ්ඩු ක්රමයේ ඇති කරන වෙනස්්කම් පිළිබඳව එකඟතාවකට එන පක්ෂ හා ව්‍යාපාරවල නායකයන්ගෙන් සැදුම්ලත් සියලූ කටයුතු මෙහෙයවීම සඳහා නායක මණ්ඩලයක් ඇතිකර ගත යුතුය. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු තෝරාගැනීමේදී යොදාගත යුතු නිර්ණායකයන් සඳහාද පොදු එකඟතාවක් ඇති කරගත යුතුය. ඒ සමග පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂක ලැයිස්තු ක්‍රමයක් සඳහා පංගු වෙන් කරගත යුතු ආකාරය ගැනද පොදු එකඟතාවක් ඇති කරගත යුතුය. එම මූලික කටයුතු සම්පූර්ණ කරගැනීමත් සමග මහජනයාගේ ප්රබෝධයට හේතුවන ක්‍රියාකාරී විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක්ද බිහිවනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment