අපේ මිනිසුන් යකඩ කර්මාන්තයට බුහුටිය. ඉතිහාසයේ එක්‌තරා කලෙක පර්සියාවේ රඡ්ජුරුවන්ට කඩුව හැදුවේත් අපේ රටේ වානේ වලිනි. ගොවිකම බෙහෙවින්ම පැතිරී තිබූ ආර්ථිකයක් සහිත අපේ රටේ කම්මල්කරුවාද බොහෝ වටිනා කෙනෙක් වූයේය. ශූර කම්මල් කරුවෙක් ගමට සම්පතක් වූයේය.
තම පාරම්පරික ශිල්පය රක්‍ෂා කරගෙන ජීවිකාව ගොඩනගා ගන්නා කම්මල් කරුවෝ තවමත් රටේ වෙති.
කැකනදුර පරවාහැර ඇලෑදෙණිය ගම්මානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කම්මල් කර්මාන්තයේ නියෑළෙන පිරිසක් අදටත් ජීවත්ව සිටින නිසාවෙනි. ඇලෑදෙණිය ගම්මානයේ කම්මල් කර්මාන්තකරුවෝ පනහකට ආසන්න පිරිසක් ජීවත්වෙති.
එහෙත්a ඔවුන් අද ඔවුන්ගේ පාරම්පරික රැකියාව කරගෙන යන්නේ මහා දුෂ්කරතා මධ්‍යයේය. ඔවුන්ට අමුද්‍රව්‍ය හිඟය. නිපදවන උපකරණ සඳහා හොඳ වෙළෙඳපොලක් නැත. එබැවින් අද කම්මල්කරුවන් බොහෝ දෙනෙක් මෙම කර්මාන්තයෙන් ඉවත්වී සිටිති.
මේ මිනිස්‌සුන්ගේ ජීවිතයේ ඇතුළු පැත්ත දැකීම සඳහා පසුගිය දිනෙක අපි ඔවුන් සොයා ඇලෑදෙණිය ගම්මානයට ගියෙමු. මුලින්ම අපට හමුවෙන්නේ ටී. එම්. ජයවර්ධනය. හෙතෙම මේ ශිල්පය ජීවන වෘත්තිය කරගත් ශිල්පියෙකි. මේ ජයවර්ධන අපට කියන කතාවය.
ඇලෑදෙණිය ගම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ කම්මල් කර්මාන්තය නිසයි. ගමේ කම්මල් කර්මාන්තකරුවන් 50 කට ආසන්න පිරිසක් සිටිනවා. එයින් සක්‍රීයව දැනට මේ කර්මාන්තයේ යෙදිලා සිටින්නේ කම්මල්කරුවන් විසි පහක් පමණ ආසන්න පිරිසක්. පාරම්පරිකව පැවත එන කර්මාන්තයක් තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යැම පිළිබඳව ගැටලු මතුවෙලා තියෙන්නේ. එම ගැටලුවලට විසඳුම් සපයා ගැනීම අපට ප්‍රශ්නයක්.
වසර හතලිහකට ආසන්න කාලයක් සිට මම මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්නේ. දැනට අප කම්මල් කරුවන් ලෙස මුහුණ දෙන මූලිකම ගැටලුව අමුද්‍රව්‍ය සපයා ගැනීමයි. දුනු කොළ යකඩ සොයා ගැනීම ලොකුම ගැටලුවක්. මේ කර්මාන්තයට යොදා ගන්නේ දුනු කොළ. මේ වෙන කොට දුණු කොළ කිලෝවක් රු. 130 යි. ඒකත් හොයා ගන්න එක පහසු කාර්යයක් නොවෙයි. වැලිගම ගාල්ල වැනි දුර ප්‍රදේශවලට යන්න වෙනවා. මේ අමුද්‍රව්‍ය හොයා ගන්න. පොල් කටු අඟුරු කිලෝවක් රු. 50 යි. පොල් කටු අඟුරුවලට අවශ්‍ය පොල් කටු දැන් ගමේ නැහැ. ඒකත් පිටරට පටවනවා. මේ හේතුව නිසාත් අසරණතාවට පත්වෙන්නේ අපි වගේ පුංචි කම්මල් කාරයන්වයි.
දැන් දුනු කොළ හිඟයි. දුනු කොළ වෙනුවට වෙන කිසිම ලෝහයක් මේ කර්මාන්තයට යොදා ගන්න අපහසුයි. අවුරුද්දේ වැඩිහරියක්‌ම අපට වැඩ නැහැ. අපි හදන භාණ්‌ඩ විකුණලා හැදෙන්නේ අතරමැදියා විතරයි. අසරණ අපි වගේ අයට ගොඩඒමක් නැහැ. පොඩියට හෝ බිස්‌නස් එකක් කෙරෙන්නේ අවුරුදු කාලෙට විතරයි. දෙවිනුවර උත්සව කාලෙට වගේම සල්පිල් පවත්වන කාල සීමාව තුළත් ආදායමක් අතට එනවා. ඒත් මහන්සියට සරිලන ආදායමක් නැහැ. ඇඟපතේ හයිය තියෙනකන් රස්‌සාව කරන්න පුළුවන්. ඉන් පස්‌සේ එක්‌තැන් වෙලා තමයි ඉන්න වෙන්නේ. අනික දැන් බොහෝ දෙනා කැමති කම්මලේ හදන බඩුවක් ගන්නවාට වඩා පිටරටින් ගේන බඩුවක් ගන්න. ඒවායේ කල් පැවැත්ම කොහොම වුණත් ලස්‌සනයි හැඩයි. මිලත් අඩුයි. ඒ බඩු වලින් නගරයේ වගේම ගමේ කඩෙත් පිරිලා.
ඇලෑදෙණිය, කොට්‌ට බද්දගේ නන්දසේන හැට හතර හැවිරිදිය. හේ මතක ඇතිදා සිට යකඩ හා වානේ සමග ඔට්‌ටු වූ කෙනෙකි. මේ අමුද්‍රව්‍ය මිල අපට උහුලන්න බැහැ. අද දුනු කොළ හිඟයි. ඒ දවස්‌වල අපි දුනුකොළ කිලෝව රු. 12 ට මිලට ගත්තේ. දැන් කිලෝව රු. 130 යි. දිනකට අපට පොල් කටු අඟුරු කිලෝ 35 ක් විතර අවශ්‍ය වෙනවා. දැන් පොල් කටු කිලෝව 55 යි. දැන් අඟුරුත් සුලබව නැහැ. වැලිගම මාතර සහ ගාල්ල වගේ දුර බැහැර ගිහිල්ලා දුනු කොළ කිලෝ 300 ක් විතර හොයා ගන්නවා. දැන් අපට දුනු කොළ කිලෝ සියයක් සොයා ගැනීමත් අසීරු කරුණක් වෙලා. ඒ නිසා මේ කර්මාන්තයේ නියෑළෙන කම්මල් කරුවන් අන්ත අසරණවෙලා. වැඩිදෙනෙක් මයිනහම භාවිතයෙන් ඉවත් වෙලා. හැම කෙනාම "බ්ලෝවර් එක" කියන නවීන කුඩා යන්ත්‍රය භාවිත කරනවා. වැඩි දිනක් යන්න කලියෙන් මේ කර්මාන්තයට කණ කොකා හඬලනවා.
වයි. බී. පියතිස්‌ස වසර ගණනාවක සිට කැකනදුර ඇලෑදෙණිය ප්‍රදේශයේ කම්මල්කරුවන්ගෙන් පිහි, කැති පොරෝ, දැකැති සහ තවත් භාණ්‌ඩ හක්‌මන, මිද්දෙනිය වලස්‌මුල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කරන්නෙකි. හෙතෙම මෙසේ පැවසීය.
ඉස්‌සර නම් මේ භාණ්‌ඩ විකුණා ගන්න එක ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් භාණ්‌ඩ අලෙවි කර ගන්න ගියාම පුදුම දුකක් විඳින්නේ. ගම්වලට ගිහින් කෑල්ලයි දෙකයි විකුණා ගන්න වෙලා තියෙන්නේ. පයින් ඇවිදින තරමටත් ණයයි. අතරමැදි වෙළෙන්දෝ මේකෙන් හැදෙනවා. අපි වගේ පොඩි මිනිහා නහිනවා විතරයි. මේ මිනිසුන්ගේ බඩු ටික විකුණා ගන්න ක්‍රමයක් හදලා දෙන්න. රජයේ වගකිවයුත්තන්ගෙන් කරන එකම ඉල්ලීම ඒකයි.
කාන්තාවක සියුමැලිය. ලදල්ලක් සේය. ඇයට ඔබින වෘත්තින් තිබේ. එහෙත් මේ කාන්තාව වීරිය වඩනා මවකි. දිරිය කතකි. දෙඅත කර ගැටවලින් පිරී ඇත. ඇය ජීවත්වීම සඳහා යකඩ තලන්නීය. පීරිගාන්නීය. හොඳ මුවහතක්a ඇති කැතිද පිහියා ද මන්නද තනන්නීය. ඇය කොට්‌ටල් බද්දගේ පුෂ්පාය. වසර 20 කට වඩා වැඩි කාලයක සිට පුෂ්පා කම්මල් කර්මාන්තයේ නියෑළෙන්නීය.
මේ ඇගේ කථාවයි. පිරිමින්ට උරුම වූ වෘත්තියක් තෝරා ගන්න කොට සමාජය මා දිහා බැලුවේ පුදුමයෙන්. යකඩ ගැහැනියක්. ඒ විදියටත් සමහර අය මාව හඳුනා ගත්තා. කොහොම හරි මටත් මගේ දරු පවුලටත් ජීවත් වෙන්න මාර්ගයක් මම හොයාගත්තා. මගේ පියා මුලින්ම මේ කර්මාන්තයේ යෙදුණ කාර්මිකයෙක්. කුඩා කාලයේ සිටම තාත්තාට අත් උදව්වට හිටියේ මම. තාත්තා එක්‌ක හරි හරියට වැඩ කළා. කුළු ගෙඩියෙ ඉඳන් හැමර්ඩි්‍රල් එක ග්‍රයින්ඩර් වගේ ගැහැනියකට හසුරුවන්න අපහසු උපකරණ භාවිතයත් හුරු පුරුදු වුණා. මේක බොහොම අභිමානයක් තියෙන රැකියාවක්. කාටවත් යටත් නැහැ. අමුද්‍රව්‍ය හිඟය නිසා විතරයි අපි අසරණ වෙලා ඉන්නේ. දක්‍ෂිණ සංවර්ධන අධිකාරියෙන් අපට වසර දෙකක් පමණ උදව් කළා. බඩු විකුණා ගන්න උදව් කළා. ආයුධ කට්‌ටල කර්මාන්තකරුවන්ට ලබා දුන්නා. දැන් ඒ දේ වෙන්නේ නැහැ. ශිල්ප සභාවෙන් නම් කිසිම උදව්වක් නැහැ. අමුද්‍රව්‍ය හිඟය, බඩු විකිණීමේ ඇති වන ගැටලු විසඳන්න වගකිවයුත්තන්ට ඉදිරිපත් වෙන්න කියන්න. දැනටත් මේ ගම්මානයේ කර්මාන්තකරුවන් අඩපණ වෙලා. දුකයි මහන්සියයි විතරයි අවසානයේ අපිට ඉතිරි වෙන්නේ. අපේ දරුවෝ මේ කර්මාන්තයට යොමු වන්න කිසිම කැමැත්තක් නැහැ. ඒ අය දකිනවා අපි විඳින දුක. ඉදිරි පරපුරක් නැතිව මේ කර්මාන්තය වසර දෙකකටත් කලියෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වේවි. කොට්‌ටල් බද්දගේ පුෂ්පා කතාව නිම කරන්නීය.
එහෙත් එය නිමාවක් නැති කතාවක පටන් ගැනීමය. ජාතියක් වශයෙන් අප විසින් රැකගත යුතු ශිල්ප පරම්පරාවක් අප හමුවේ වැනසී යනු දැකීමේ ෙ€දවාචකය දෙස බලා හිඳීමේ වේදනාව පමණක් මේ මොහොතේ අපට ඉතිරිවී තිබේ.
කැකනඳුර දර්ශන
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment