BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 1, 2014

ඔහු ඒ වෙලාවෙ හිටියෙ හතරගාතෙන් හොඳට බීලා.- මහාචාර්ය පැට්‍රික් රත්නායක


පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.

එහෙත් එම තේරීම වැරදි බවත් සම්මානය හිමිවිය යුත්තේ බොරළු පාර නාට්‍යයේ රංගනය වෙනුවෙන් තමාට බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ අභියෝග කර සිටියි.


මෙලෙස අභියෝගය කරමින් ඔහු විනිශ්චය මණ්ඩලයට බැණ වැදුණු බවත් පැවසේ. එම බැණ වැදීම නිසා විනිශ්චය මණ්ඩලය ඔහු කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව නොරහසකි.

මේ නිසා ඇති වී ඇති අලුත්ම තත්ත්වය නම් ජගත් මනුවර්ණට නිල නොවන මට්ටමේ රංගන තහංචියක් පැනවී ඇති බවයි.

ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය සඳහා තෝරා නොගත යුතු බව සියළු නාලිකාවන්ට දැනුම්දී ඇති අතර ඉදිරි කාලයේ පැවැත්වෙන සම්මාන උළෙලවලදී තම නාලිකාවේ විකාශය වන නාට්‍ය සඳහා සම්මානය නොලැබෙතැයි යන බියෙන් මෙම නිලනොලත් තහංචිය ක්‍රියාත්මක කිරීමට රූපවාහිනී නාලිකා සූදානමින් සිටියි.


මේ සිදුවීම මගේ ප්‍රතිරූපයට හානියක්‌ නෙමෙයි...
- ජගත් මනුවර්ණ


ජගත් - පැට්‍රික් ගැටුම

මගේ නඩුව පසුගියදා අවසන් වූ රයිගම් ටෙලීස්‌ සම්මාන උත්සවයේදී එහි විනිශ්චය මණ්‌ඩල සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායකට රංගන ශිල්පී ජගත් මනුවර්ණ දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කිරීම පිළිබඳ ආන්දොලනාත්මක පුවතක්‌ මාධ්‍ය වාර්තා කර තිබුණා. එම පුවත් මගින් ඒත්තු ගන්වා තිබුණේ තමන්ට සම්මාන නොලැබීම නිසා ජගත් මනුවර්ණ විනිශ්චය මණ්‌ඩල සභාපතිවරයා සමග ආරවුලකට පැටලීමට ගිය බවයි. එහිදී වූ සිද්ධිය මාධ්‍ය මගින් විකෘති කර වාර්තා කර තිබෙන බව පවසන ජගත් මනුවර්ණ ඒ පිළිබදව අවනඩුව ට මෙසේ පවසා සිටියා.

ඇත්තවශයෙන්ම මේ සිදුවීම වෙන්නෙ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවති රයිගම් ටෙලීස්‌ සම්මාන උළෙලේදී. මම එතනට සහභාගි වෙන්නෙ ඊට සහභාගි වන ලෙස ලැබුණු ආරාධනයකට අනුව. නමුත් මේ සිද්ධිය ඇතිවෙන්නෙ සම්මාන උත්සවයෙන් පස්‌සෙ පැවැත්වෙන සාදය අවස්‌ථාවෙදි. සාදයක්‌ කියන්නෙ ඊට සහභාගිවන අය සතුටුවෙන කන බොන අවස්‌ථාවක්‌. මමත් මගේ යාළුවෝත් එක්‌ක කන බොන අතරෙ කාලය ගෙවී ගියා. ඔහොම කාලය ගෙවෙනකොට මට එතනදි පැට්‍රික් රත්නායක හමුවෙනවා. ඔහු තමයි මේ සම්මාන උළෙලේ විනිශ්චය මණ්‌ඩල සභාපති. ඒ වගේම මම ඔහුව දන්න කෙනෙක්‌. ඔහු මට මුලින්ම මුණගැසෙන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යයක්‌ බලන්න ගිය අවස්‌ථාවකදී.

ඔහු එදා මම රඟපෑ ටෙලි නාට්‍ය කීපයක්‌ ගැන කතාකරමින් මගේ රංගනය ගැන අගයමින් කතා කළා. මගේ රඟපෑම ඉහළ මට්‌ටමක තිබුණත් ඒකාංගික ටෙලිනාට්‍ය නිසා මට දෙන්න සම්මානයක්‌ නෑ කිව්වා. ඊට පස්‌සෙ තැන් කිහිපයකදීම ඔහු මට හමුවෙලා තියෙනවා. අපි අතරෙ කිසිම අමනාපයක්‌ තිබුණේ නෑ. මේ නිසා, මම ඔහුව දන්න පුද්ගලයෙක්‌ විදියටත් සම්මාන උත්සවයෙන් පස්‌සෙ විනිශ්චය මණ්‌ඩලයෙත් සාමාජිකයෙත් විදියට පළමුව මට හමුවූ පුද්ගලයා විදියටත් පැට්‍රික් රත්නායකට මම යෝජනා කළා සම්මාන උත්සවවල විනිශ්චය මණ්‌ඩලය සම්බන්ධව අපි පොඩ්ඩක්‌ කතා කරමු කියලා. රයිගම් සම්මාන උළෙලේ විනිශ්චය සම්බන්ධව කියල නෙවෙයි මම ඔහුගෙන් ඇහුවෙ. එතනදි මම ඔහුගෙන් ඇහුවා ඔබට තිබෙන සුදුසුකම මොකක්‌ද රඟපෑම් සම්බන්ධව විනිශ්චයක්‌ දෙන්ඩ....? ඒකට ඔහු සෘජු පිළිතුරක්‌ දෙන්නැතිව ලිස්‌සල ගියා. නමුත් සංවාදය මගහැරයැම ගැන මට ගැටලුවක්‌ තිබුණා. ඒ නිසා "එහෙම යන්න බෑ" කියල මම ඔහුට බාධා කළා. එතන තිබුණ ප්‍රශ්නය තමයි රඟපෑම් සම්බන්ධව විනිශ්චයක්‌ දෙන්න සුදුසු කෙනෙක්‌ ඔය සම්මාන උළෙලේ විනිශ්චය මණ්‌ඩලයේ හිටියෙ නෑ. මහාචාර්ය පැට්‍රික් රත්නායකගෙ විෂයයන් වෙන්නෙත් ඡායාරූපකරණය සහ ජනසන්නිවේදනයට අදාළ විෂයයන්. එයා ඡායාරූප හා සිනමාව සම්බන්ධයෙන් හදාරා තිබුණට රංගනය සම්බන්ධයෙන් විශේෂඥයෙක්‌ නෙමෙයි. සිනමාව කියන විෂය කිහිපයකට බෙදෙනවා. සිනමා කරණය එකක්‌ සිනමා අධ්‍යයනය තව එකක්‌. සිනමාකරණය සහ රූපවාහිනිකරණය කියන්නෙ රංගනය නෙවෙයිනෙ. ඔහු විශේෂඥයෙක්‌ වෙන්නෙ සිනමාකරණය සහ රූපවාහිනිකරණයට. "ඩ්‍රාමා ඇන්ඩ් තියෙටර්" කියන විෂයයන් රංගනය සම්බන්ධයෙන් උගන්වන විෂයයක්‌ නෙමෙයි. "තියෙටර් ඇක්‌ටින්" කියල උගන්වනවානම් අන්න රංගනය සම්බන්ධව උගන්වන විෂයයක්‌. ලංකාවේ එහෙම රංගනය ගැන උගන්වන්නෙ නෑ. විනිශ්චය මණ්‌ඩලේ ඉන්න කිසිම කෙනෙක්‌ පිටරටක ගිහින් හරි එහෙම විෂයක්‌ මම දන්න විදියට හදාරලත් නෑ. ඉතිං මට රංගන ශිල්පියෙක්‌ විදියට අහන්න අයිතියක්‌ තියනවා ඔබගේ විනිශ්චය මණ්‌ඩලේ හිටපු සුදුස්‌සා කවුද නළු නිළියන්ගෙ රංගනය පිළිබඳ විනිශ්චයක්‌ දෙන්ඩ. ඒ ප්‍රශ්නය තමා මම එතනදි ඇහුවෙ. ඒක මට සම්මාන නොලැබුණ නිසා ප්‍රශ්න කළා කියන එක සාවද්‍ය පුවතක්‌. මීට කලිනුත් මම ෂුට්‌ එකකට බීලා ගිහින් එතන අවුල් කළා කියල ඔය කියන පත්තරේම සාවද්‍ය පුවතක්‌ දාල තිබුණා. මේ සැරේ ඔවුන් මාව නවක නළුවෙක්‌ කියල වාර්තා කර තිබුණා. නමුත් ඔවුන් දන්නෙ නෑ මීට ඉස්‌සර රයිගම් සම්මාන උළෙලෙම මම නැගී එන නළුවාට හිමි සම්මානය අරන් තියන බව. අනික මම මෙතනදී මට සම්මාන නොලැබීම ගැන ප්‍රශ්න කළේ නෑ. මම මේ සම්මාන උත්සවයට සහභාගි වෙන්නෙම සබුද්ධිකව. වෙළෙඳ කටයුත්ත මූලික කරගෙන පැවැත්වෙන සම්මාන උත්සවයකදී විනිශ්චය මණ්‌ඩලයට ස්‌වාධීන වෙන්න පුළුවන්ද? ලංකාවෙ එහෙම ස්‌වාධීන විනිශ්චය මණ්‌ඩල තිබෙනවාද? අන්න ඒ වගේ ප්‍රශ්න මට තිබුණා.

අනෙක්‌ කාරණය ඔවුන් මට චෝදනා කරන්නේ ඔහුගේ මහාචාර්ය පදවියට මම ගරු කළේ නෑ ඔහුගේ දැනමුතුභාවයට මම ගරු කළේ නෑ කියන එක. එතන තියෙන්නේ අපේ රටේ තියන වෙන ප්‍රශ්නයක්‌. ලංකාවේ තියෙන්නේ වයසින් මුහුකුරා ගිය පලියට, අර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා වූ පලියට ඔහුට ගරු කරන්න ඕන කියන මතයනෙ. ඒක හරිම ගුරුකුලවාදියිනේ. අපි නම් ඔය ගුරුකුලවාදයට කැමති නෑ. හැබැයි ඒ විෂයට අදාළ දැනුම තිබුණ නම් අන්න අපි ඒකට ගරු කරන්න ඕන. ඒ වගේම මේ වගේ ස්‌ථානයකදී එහෙම කතා කළා කියල ආයතනික ප්‍රශ්නයක්‌ මට නෑනෙ. එතන තිබුණෙ සාදයක්‌. සාදයක්‌ වගේ තැනකදී සුහද කතාබහක්‌ ඇති වෙන්න පුළුවන්. අනික මට සියයට සියයක්‌ විශ්වාසයි ඔයා මට මොනවද කළේ කියල මම ඇහුවෙ නෑ. අනික ඔය සිද්ධිය නිසා මගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙන්නෙත් නෑ. මගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙනව නම් වෙන්නෙ මම කළ රංගනයක්‌ සම්බන්ධයෙන් මොකක්‌ හරි වැරැද්දක්‌ අසමත්කමක්‌ තිබෙනව නම් විතරයි. රංගන ශිල්පියෙක්‌, කෙටි චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ විදියට මට අයිතියක්‌ තියෙනවා ලංකාවේ සම්මාන උළෙලවල්වල සිටින විනිශ්චය මණ්‌ඩල ගැන ඒ වගේ ප්‍රශ්න කිරීමක්‌ කරන්න.



ඔහු සම්මානයක්‌ නොලැබීමේ ආවේගය පිට කළා...
- මහාචාර්ය පැට්‍රික් රත්නායක


ඇත්තම කියනව නම් ඒ වෙලාවෙ ඔහු හැසිරුන විදිය දැන් ඔහුට මතක නැතිව ඇති. ඔහු ඒ වෙලාවෙ හිටියෙ හතරගාතෙන් හොඳට බීලා. එයා ශාස්‌ත්‍රීය සංවාදයකට ආවෙ නෑ. ඒ වෙලාවේ තනිකරම එයා දැම්මෙ චණ්‌ඩි පාට්‌ එකක්‌. එතන හිටිය ජනක්‌ ප්‍රේමලාල් ආනන්ද අබේනායක වගේ කලාකරුවො පවා මේ සිදුවීම දැක්‌කා. කවුරු හරි කලාව සම්බන්ධයෙන් ස්‌වාධීන විනිශ්චයක්‌ කරන්න ඕන තමා. නමුත් මෙතන සිදුවුණේ ඔහුට සම්මාන නොලැබීම පිළිබඳ ඔහු තුළ ඇති වූ ආවේගය පිටකිරීමක්‌. මම අහන්නෙ සම්මාන හම්බවෙනකොට ඒ විනිශ්චය මණ්‌ඩලය ඉඹින්නයි නැතිවෙනකොට විවේචනය කරන්නයි හදනව නම් කොහොමද ස්‌වාධීන විචාරයක්‌වත් ගොඩනැගෙන්නෙ. දැන් ඔහු කියන්නෙ බොරු. ජගත් මනුවර්ණ මට රංගනය ගැන අභියෝග කරනවා නම් මම කියනවා ඔහුට අනෙක්‌ කලාකරුවනුත් රැස්‌ කරල වැඩමුළුවක්‌ ලෑස්‌ති කරන්න. මම පැයක්‌ නොවෙයි පැය ගණනක්‌ රංගනය පිළිබඳ දේශනයක්‌ කරන්නම්. ජගත් මනුවර්ණ මගෙන් අහනවා රංගනය කියන එක දන්නවද කියලා. මම කිව්ව නෑ ඔයා කියල දෙන්න කියලා.

ඒක තමයි ඒ වගේ ප්‍රශ්නයකට තියන හොඳම පිළිතුර. මොකද රංගනය ගැන එක එක්‌කෙනාට තියෙන පාඩම වෙනස්‌ වෙන්න පුළුවන්. ඔය ප්‍රශ්නය අයිරාංගනී සේරසිංහ, වසන්ති චතුරානි වගේ විධිමත්ව රංගනය ගැන හැදැරුව කෙනෙක්‌ ඇහුව නම් මම සතුටු වෙනවා. මට කනගාටුව ජගත් මනුවර්ණ වගේ ආධුනිකයෙක්‌ මේ ප්‍රශ්නය මගෙන් ඇහුව එක ගැන. මේ වගේ තරුණයෙක්‌ සතුටු වෙන්න ඕනෙ වසර 10 ක්‌ තිස්‌සේ මම වගේ කිසිම දේශපාලන බලවේගයකට හෝ යටත් වෙන්නෙ නැති පුද්ගලයෙක්‌ මේ විනිශ්චය මණ්‌ඩලයෙ ඉන්නවට. මම ඔහුගේ රංගනය අගය කරන කෙනෙක්‌. ඒ නිසා මට කියන්න තියෙන්නෙ එයා එයාගෙම හතුරෙක්‌. මම ඔහුගේ මිතුරෙක්‌.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger