Tuesday, September 16, 2014
තිඹිරියාගම බණ්ඩාර
“පුවත්පත්වල පළ කෙරෙන තීරු ලිපි අතරින් මා වඩාත් පි‍්‍රය කරන්නේ තිඹිරියාගම බණ්ඩාරගේ “බණ්ඩාගේ වාක්කිය” නම් වූ තීරු ලිපි පෙළටයි. සැබෑ ගැමියකු වශයෙන් ගැමි බස ද පරිසරය ද උපයෝගී කරගනිමින් උපහාසය සහ මුවට සිනා නංවන හාස්‍යය ද උපදේශය ද ඔහු පාදක කරගන්නා චරිත ඔස්සේ පාඨකයන් හට ඉස්මතු කරයි. දිගු කලක් තිස්සේ ඒ තීරු ලිපි පළවන නමුත් එදා ආරම්භයේදී එහි තිබූ නැවුම් සුවඳ තවමත් පහව ගොස් නොමැති වීම සතුටට කරුණකි. ඒවා හැමදාමත් නවතාවෙන් කිය විය හැකි ය.”
මේ වූ කලී තිඹිරියාගම බණ්ඩාර විසින් ලියන ලද “බණ්ඩාගේ වාක්කිය” නමැති ප‍්‍රකට තීරු ලිපි පෙළ අරභයා මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් පළ කළ කියුමකි. අද්‍යතනයෙහි පුවත්පත් රාශියක පළ වන තීරු ලිපි අතර බණ්ඩාගේ වාක්කියට වෙසෙසි තැනක් හිමි වන්නේ මන්දැයි විග‍්‍රහ කිරීමට මීට වඩා අටුවා ටීකා ටිප්පණි අවැසි නැත.
බණ්ඩාගේ වාක්කිය තීරු ලිපි පෙළේ සාරවත් අන්තර්ගතය ගොඩනැගෙන්නේ උපහාස රසය සහ ගැමි ජන වහර ආත්ම කොට ගැනීමෙනි. තිඹිරියාගම ද හොඳ ගැමියෙකි. එහෙයින් ඔහුගේ බස් වහරින් ගැමි ජීවන සුවඳ වහනය වීමේ අරුමයක් නොමැත. තිඹිරි ද එය මෙලෙස අනුමත කළේ ය.
“තීරු ලිපි රචනා කිරීමට පෙර මා පුවත්පත්වල කවි ලිවා, විචාර ලිපි පළ කළා. ‘බණ්ඩාගේ වාක්කිය’ තීරු ලිපි පෙළෙහි අන්තර්ගත වූ ගැමි ජන වහර මට නිරායාසයෙන් ලැබුණු දෙයක්. මම හොඳ ගැමියෙක්. මගේ ගම කුරුණෑගල. අවුරුදු 15, 16 ක් මං ගමේ ජීවත් වුණා.”
පුවත්පතක පළ වන අවසෙස් ලිපි අතර තීරු ලිපියකට හිමිවන ආස්ථානය කුමක් ද?
“පුවත්පතක ප‍්‍රවෘත්ති, විශේෂාංග වැනි අංශ ගණනාවක් තියෙනවා. සංක්ෂිප්ත බව තීරු ලිපියක කැපී පෙනෙන වෙනසක්. අනෙක විශේෂාංගයකට ගවේෂණ ලිපියකට වඩා මෙහි අනම්‍ය ස්වරූපයක් දකින්නට ලැබෙනවා.
පුවත්පතේ කුඩා ඉඩ ප‍්‍රමාණයක අඩු වචන සංඛ්‍යාවකින් අපූර්ව යමක් තීරු ලිපියකට ඇතුළත් විය යුතු ය. එහිදී ප‍්‍රකාශන විධිය වැදගත්. නැත්නම් එහි පිළුණු ගතියක් තියෙන්න පුළුවන්. සමකාලීන උණුසුම් මාතෘකා, කාලීන සිදුවීම්, පිළිබඳ තීරු ලිපි ඔස්සේ පාඨක ඇස යොමු කෙරෙනවා. විශේෂාංග ලිපියකදී අතීත සිදුවීම් ඒ සඳහා ඇසුරු කොට ගත හැකියි. නමුත් තීරු ලිපියකදී අතීත තතුවලට වඩා කාලීනත්වය වැදගත්. මෙකී කාලීනත්වය ඔස්සේ අතීතය හා වර්තමානය ගළපන්න අපට පුළුවන්.”
ප‍්‍රවීණ මාධ්‍යවේදියකු වූ කිත්සිරි නිමල් ශාන්ත ලියූ “තීරු ලිපියේ විකාශනය සහ සන්නිවේදනය” ග‍්‍රන්ථය හැරුණුවිට තීරු ලිපි පිළිබඳ පර්යේෂණයක් කතිකාවක් මෙතෙක් සිදු කොට නැහැ. එබඳු පසුබිමක ඔබ ‘බණ්ඩාගේ වාක්කිය’ එළිදැක්වූ අවස්ථාව තීරු ලිපි සංවාදයකට කතිකාවකට විවර කිරීම කාලෝචිත වෑයමක්.
“තීරු ලිපි පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. තීරු ලිපිවල රචනා විලාසය, එහි ප‍්‍රස්තුතය, අරමුණු විවිධාකාරයි. මේ නිසා ‘බණ්ඩාගේ වාක්කිය’ එළිදැක්වීමේ අවස්ථාව තීරු ලිපි පිළිබඳ කතිකාවකට මඟක් බවට පත් කළහොත් එය වැදගත් යැයි මා සිතුවා. මෙහිදී විවිධ පුවත්පත්වල තීරු ලිපි රචකයන්ට තම තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න හැකිවීම සතුටක්. ජනමාධ්‍ය තලයේ වුවත් තීරු ලිපි පිළිබඳ සංවාද ඉතා අඩුයි. ඔබ කී පරිදි කිත්සිරි නිමල් ශාන්ත ගේ පර්යේෂණ ග‍්‍රන්ථය හැරුණුවිට තීරු ලිපි පිළිබඳ විධිමත් කතිකාවක් සිදු කෙරුණේ නැහැ. ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘වගතුග‘ තීරු ලිපි එකතුව ග‍්‍රන්ථයක් ලෙස පළ වුණා. මෙබඳු කෘති පළවීමෙන් පර්යේෂකයකුට තීරු ලිපි පිළිබඳ අන්තර් විශ්ලේෂණයක් සිදු කළ හැකියි. මා “බණ්ඩාගේ වාක්කිය” තීරු ලිපි එකතුව ග‍්‍රන්ථයක් ලෙස එළිදැක්වූයේත් මේ කතිකාව සංවර්ධනය කිරීමේ අරමුණෙන්.”
අර්ථාන්විත, නිර්මාණශීලි, තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන සංකථනයන් ස්පර්ශ කළ තීරු රචනා දිගු කලෙක පටන් විවිධ පුවත්පත්වල පළ වුණා. මෙබඳු පෙර පරපුරේ තීරු ලිපිවලින් ඔබ ආභාසයක්, අනුප‍්‍රාණයක් ලැබු බව නිරනුමානයි.
“පාසල් සමයේ සිට ම විවිධ පුවත්පත් කියැවීම මගේ සිරිතක්. එහිදී තීරු ලිපි කියවන්න කවදත් මා ඇලුම් කළා. සිසිර කුමාර මානික්කආරච්චි මහතා ලියූ ‘මනෝසීල’ තීරු ලිපි පෙළ මුලින්ම මා කෙරෙහි බලපෑ බව කිව යුතුයි. මේ තීරු ලිපිවල ප‍්‍රබල හාස්‍යයක් ගැබ් වී තිබුණා. අනෙක ඒවා නාටකීය ගුණයෙන් අනූනයි.
පළමුවෙන් සිළුමිණ පුවත්පතේ පළ වී පසුව දිවයින පුවත්පතට එක්වූ දයාසේන ගුණසිංහයන්ගේ “රයිගම් රාල” තීරු ලිපි පෙළට ද මා ඉතා ඇලුම් කළා. දයාසේන ගුණසිංහ මහතාගේ ‘උකුස්සා’ තීරු ලිපිය ද මෙහිදී මට අමතක කරන්න බැහැ. මා තීරු ලිපි රචනා කිරීම ඇරැඹුවාට පසුව මානවසිංහයන්ගේ ‘වගතුග‘ යළිත් විචාර අවබෝධයෙන් කියෙව්වා. මෙය, තීරු ලිපි සාහිත්‍යයේ ප‍්‍රදීපස්තම්භයක් ලෙස මා දකිනවා. මේවාහි ආභාසයෙන් තීරු ලිපි රචනයට එක්වූ මා මුලින් ලීවේ කෙටි ලේඛන ශෛලියකින්. 80 දශකයේ සිට මා “තෝතැන්න” නමැති සඟාවට මෙබඳු ලිපි රචනා කළා. එහිදී උපහාසයට වඩාත් නැඹුරු වුණා.
1990 ලක්මිණ පුවත්පතට “ගමේ විත්ති” නමින් තීරු ලිපි පෙළක් රචනා කළ අතර එය ග‍්‍රන්ථයක් ලෙස ද එළි දුටුවා. 1992 වසරේදී බණ්ඩාගේ චරිතය කේන්ද්‍රකොට ගෙන රාවය පුවත්පතට ‘බණ්ඩාගේ වාක්කිය’ තීරු ලිපිය ඇරැඹුවා. මුලින් මෙය නම් කෙරුණේ ‘බණ්ඩේ ලියු වැකිය’ නාමයෙන්. 1992 සිට අඛණ්ඩව වසර 17 ක් පුරා මෙම තීරු ලිපිය මා රචනා කරනවා. මේ හැරුණුවිට ‘මනස් සිතුවිලි’ ‘සම්භාෂා’ යන තීරු ලිපි ද මා වරින්වර රචනා කළා.”
මාධ්‍යවේදියා යනු දැනුම්වත් ව හෝ නොදැනුම්වත් ව තමා නියෝජන කරන ආයතනයේ දේශපාලන න්‍යාය පත‍්‍රයට හසු වූවෙක්. එහෙයින් සමාජ යථාර්ථය සාකල්‍යයෙන් ගෙන හැර පෑමේදී ඔහුට හෝ ඇයට බාධා, අවහිරතා, වැටකඩොලුවලට මුහුණපෑමට සිදුවීම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. තීරු ලිපි රචකයාට මෙය බලපාන්නේ කෙසේ ද?
“රාවය පුවත්පත අනුදත් නිශ්චිත රටාව ම මා මෙහිදී අනුගමනය කළේ නැහැ. මේ තීරු ලිපිවලට කතුවරයාගේ කිසිදු බලපෑමක් මට එල්ල වුයේත් නැහැ. සංස්කෘතිය පිළිබඳ බුද්ධිමතුන්ගේ ජනපි‍්‍රය තලයේ අර්ථ කථන ඔවුන්ගේ නම් සඳහන් කරමින් මා මෙමඟින් විචාරයට ලක් කළා. විවාහය, ලිංගිකත්වය, ජාතිකත්වය ආදි මට හැඟුණු විවිධ මාතෘකා යටතේ මා මේ තීරු ලිපිය විස්තාරණය කළා.
පාඨක ලෝකෙන් මට ගල් සහ මුල් දෙක ම ලැබුණා. නිදර්ශනයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම සරදමට ලක් කොට මා ලිපියක් ලීවා. “භික්ෂූන් වහන්සේලාට නින්දා කරන්න එපා” යැයි මට නිර්නාමික ලිපියක් ලැබුණා. මා කිසිදාක භික්ෂූන්වහන්සේලාට නින්දා කළේ නැහැ. නමුත් මා ඒ තීන්දුවට තදින් ම විරුද්ධයි.
මෙතෙක් මගේ කිසිදු තීරු ලිපියකට වාරණයක් නම් එල්ල වී නැහැ. නමුත් මේවාට පාඨකයන්ගේ දැඩි විවේචන එල්ල වුණා. එයින් සහේතුක විවේචන මා පිළිගත්තා. මා ඉන් අදහස් කළේ පාඨකයන්ට ඕනෑ විදියට තීරු ලිපි ලීවා යන්න නොවේ. සමහර ලිපි සැර වැඩියි යැයි මටම සිතුණා. එදා 1992 ආර්. පේර්මදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් ව්‍යාපෘතිය “ශ‍්‍රම කොල්ලකෑමක්” යැයි තීරු ලිපියක මා ලීවා. නමුත් අද මට ඒ ලිපිය සාහසික වැඩියැයි හිතෙනවා. ග‍්‍රාමීය ආර්ථිකයට ඉන් ඉටුවූ සේවය අපට සුළුකොට තකන්න බැහැ.
හැමවිටකම අපි පවතින ක‍්‍රමය වැරැදි යැයි නිගමනය කරනවා. නමුත් කලකදී අපිම එය වෙනස් කරනවා. කිසියම් ගැටලුවක් අර්බුදයක් මතු වුණාම බලයේ සිටින කණ්ඩායම සියලු අගතීන්ට වගකිව යුතුය යැයි අපි බොහෝවිට සිතනවා. නමුත් සමාජයේ වෙනත් හානිකර දේ තියෙනවා.
යම් කිසි රටක පත්වන නායකයා පුරවැසියාගේම නියෝජනයක් නේද? පුරවැසියන්ගේ වැරැදි තිබෙන්න බැරිද? මේ නිසා හොඳ නරක ගැන අපි එක් පාර්ශ්වයකට පමණක් චෝදනා නැඟීම වැරදියි. එය අපි සමසේ බෙදා ගත යුතුයි. ඇතැම්විට මේ වැරැදිවලට දැන හෝ නොදැන අපිත් කොටස්කාරයෝ. අප එකිනෙකාගේ මතවාද වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි අන් අයගේ මතවලට ඇහුම්කන් දෙන්න සූදානම් ද? මේවා අපට කියා දෙන්න රාජ්‍ය නොවන සංවිධාන අවශ්‍ය නැහැ. විවිධත්වය ඉවසීම ගැන අපේ පාරම්පරික සම්ප‍්‍රදායෙන් උකහා ගත යුතු බොහෝ දේ තියෙනවා.
මේ මෑතකදී වවුනියාවේ විහාරස්ථානයක් ඉදිකරන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් දායක වුණා. මේ එකමුතුකම, සමඟිය අපේ ජන සමාජයේ තිබුණා. නොයෙක් හේතු මත පසුකාලීනව අප මේවා නැති කරගත්තා. ‘බණ්ඩාගේ වාක්කිය’ තීරු ලිපිවල “යකාගේ හැටියට විමානේ”, “කූඹියාගේ හැටියට කැවුත්ත” යන යෙදුම්වලින් මා ව්‍යංග්‍යයෙන් කීමට උත්සාහ කළේ මේ යථාර්ථයයි.
මාධ්‍යවේදියාට එල්ල වන අනේකවිධ වාරණ මඟහැර ව්‍යංග්‍යාර්ථවත් බසකින් සමාජ යථාර්ථය හෙළි කිරීමට තීරු ලිපි කලාවේ නෛසර්ගික ස්වරූපය අනුව ම ඉඩහසර ලැබෙනවා. තීරු රචකයාගේ නිර්මාණශීලී ගුණය, ආවේගශීලී බව ඉක්ම වූ සංයමය, මැදහත් බව ඔස්සේ විශාල සමාජ කාර්යභාරයක් මින් සිදු කළ හැකිය. මාක්ස්වාදී ජනමාධ්‍ය සංකල්පයෙන් ද ඇගැයීමට ලක්වන්නේ මෙකී සමාජ මෙහෙවර නොවේද?
”ඔබ කී කාරණයට දයාසේන ගුණසිංහයන් ගේ ‘උකුස්සා’ තීරු ලිපි පෙළ නිදර්ශනයට දක්වන්න පුළුවන්. “තීරු ලිපිය වාරණයෙන් රිංගන්න ලැබෙන අවස්ථාවක්” යැයි වරක් දයාසේනයන් පැවසුවා. ඔහු ඒ තීරු ලිපියෙන් පහර ලැබිය යුතු තැන්වලට ව්‍යංග්‍යාර්ථයෙන් පහර දුන්නා. මේ නිසා වගකිවයුත්තන්ට නඩු දාන්නත් බැහැ. තොප්පිය හරි නම් දාගත හැකියි. තීරු රචකයා කවර හේතුවකටවත් ද්වේශ සහගත නොවිය යුතුයි.
අපහාසයේ සහ උපහාසයේ සීමා මායිම් හඳුනා ගන්න ඕනෑ. ඔහු හෝ ඇය තමන්ට හිනා නොවෙනවා නම් අනුන්ට හිනා වෙන්න අයිතියක් නැහැ. තලතුනා ගැමියන්ට තිබෙන සැහැල්ලු උපහාස රසය මගේ තීරු ලිපිවලට ආභාසයක් වුණා. මමංකාරය තුනී කර ගත් ලේඛකයාට සාර්ථක තීරු ලිපි රචකයෙක් වෙන්න පුළුවන්. තමන් විතරක් නිවැරදි යැයි සිතා සිටින්නන්ට මෙය කළ නොහැකියි. ලිවීමේදී කෙතරම් ප‍්‍රශ්න තිබුණත් ලේඛකයා ගේ මනස පියාපතක් සේ සැහැල්ලු විය යුතුයි. මාර්ටින් වික‍්‍රමසිංහයන්ට මොනතරම් දැනුමක් තිබුණාද? නමුත් ඔහු අකුරු අතර සැරි සැරුවේ ඉතා සැහැල්ලුවෙන්. මහගම සේකරයනුත් එහෙමයි. තීරු ලිපි රචකයාගේ බස විදග්ධ වේවා ජනවහර වේවා ලේඛක වහර වේවා කටවහර වේවා අදාළ ව්‍යාකරණය අනුගමනය කළ යුතුයි. කටවහර යොදනවා නම් එය සකස් කරගන්න ඕනෑ.
බස පහත් කිරීමේ, වියරණය මරා දැමීමේ අයිතියක් කාටවත් නැහැ. සෙනරත් පරණවිතාන මහතා මේ කටවහර මනාව සකස් කර ගත්තා. මේ නිසා බස නිවැරදි ව හැදෑරීම අත්‍යවශ්‍යයි. මෑත කාලයේ මෙරට බිහි වූ සමහර එෆ්.එම්. ගුවන්විදුලි නාලිකා අපේ බස විනාශ කළා. දයාසේන ගුණසිංහයන් ‘රයිගම් රාල’ තීරු ලිපියේදී මේ ව්‍යසනය කලින්ම දුටුවා. අනාගතයේ සිංහල ඉංගී‍්‍රසි සංකර වූ දෙමුහුන් බසක් බිහි වන බව ඔහු ලියා තිබුණා. අද සමහර ජනමාධ්‍ය නිසා භාෂාව පිරිහිලා. අපේ දරු පරපුර මේවා නිසා වැරදි භාෂා ක‍්‍රමයකට හුරු වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා ඔවුන් රැක ගැනීමට විධිමත් කතිකාවක් අද අවශ්‍යයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment