BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, August 21, 2014

රෙබෙකාගේ මරණයෙන් පසු...

මහරගම පිළිකා රෝහ‍ලේ ඇඳක් මත සිටියද යළි ගෙදර ගොස් තමන් කරගෙන ආ කලා කටයුතු ඉදිරියටත් කරගෙන යාමට සිහින මැවූ රෙබෙකාට ඒ වාසනාව උදාවූයේ නැත. පසුගිය සතියේ කලාකාමී සියලු දෙනා සෝ සයුරක ගිල්වා ඇය ගෙදර යනු වෙනුවට අවසන් ගමන් ගියේ බොරැල්ල කනත්තටය.
නමුත් ඇය අප කාටත් උගන්වා ගිය පාඩමක් තිබිණ. එය කියන්නට මුලින්ම කටහඬ අවදි කරනු ලැබුවේ මාලනීය. මේ මාලනී ෆොන්සේකාගේ හඬය.
“රෙබෙකාට වෙච්ච මේ දේ අපට හොඳ පාඩමක්. අපි කාටත් මරණය උදාවෙන බව ඇත්ත. ඒත් තමන්ට කිසියම් අසනීපයක් හැදුනාම ඒකට නිසි පරිදි බෙහෙත් කළ යුතුයි. පිළිකාව කියන දේ අද සුලබ දෙයක් බවට පත් වෙලා. ඒක දැනගත්තාම අවශ්‍ය වෛද්‍ය උපදෙස් පිළිඅරන් නොකඩවා ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. ලෙඩේ හංගාගෙන ඉන්න එක නමෛයි කළ යුත්තේ. රෙබෙකා රෝගය ගැන බුද්ධිමත්ව කල්පනා කළා නම්, මීට වඩා සැලකිලිමත් වුණා නම් අද මෙහෙම නොවෙන්න තිබුණා. මමත් ඒ අත්දැකීම ලබපු කෙනෙක්. ඒකයි මම මෙහෙම කියන්නේ. රෙබෙකා පුදුම අහිංසක චරිතයක්. හරිම ලෙන්ගතුයි. කවදාවත් කෙනෙකුගේ හිතක් රිදවන්නේ නෑ. කාටවත් බනින්නේ නෑ. ඇත්තටම රෙබෙකාට මෙහෙම නොවෙන්න තිබුණා.”
මාලනියගේ අදහස් මෙය කියවන කාටත් සිතිය යුතු පාඩමක් කියා දෙයි. අනතුරුව තම ලෙන්ගතු මිතුරිය පිළිබඳව සේමිණි ඉද්දමල්ගොඩ මෙසේ අදහස් දක්වා සිටියාය.
“වෙන්න තියෙන හැම දෙයක්ම වුණා. ඇගේ වියෝව පිළිබඳ අපි හැමදෙනාගේම හදවත් කනගාටුවෙන් පිරිලා. ඒ වුණත් ඈ දුක් විඳිමින් ඉන්නවාට වඩා මෙහෙම වෙච්ච එක හොඳයි. රෙබෙකා මානුෂික ගතිගුණවලින් උපරිමයි. අනික සීයට දාහක් විශ්වාසය රකින්න පුළුවන් යෙහෙළියක්. අපි අතරේ තිබුණේ පුදුම මිත්‍රත්වයක්. ඒ හිතවත්කම, ඒ විශ්වාසය මට නැති වුණා. එත් මම ඈ යළි අප අතරම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ. මගේ ප්‍රාර්ථනාව ඇගේ ආත්මය සුවපත් වේවා කියලයි.”
සේමිණිට එසේ ප්‍රාර්ථනා කරන්නට බොහෝ කාරණා හේතුවන්නට ඇත. සේමිණිගේ ප්‍රාර්ථනය එලෙස පළකරද්දී, නයනා කුමාරි අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.
“මම ක්ෂේත්‍රයට ආපු මුල්ම කා‍ලේ ඉඳලා අපි බොහොම ලෙන්ගතුව සිටියා. අපි දෙන්නම රූපලාවන්‍ය
ක්ෂේත්‍රයෙත් හිටපු නිසා තවත් සමීප වුණා. රෙබෙකාගේ අසනීපය දැනගත්තු දා ඉඳලා අපි හැමෝම එයත් එක්කයි හිටියේ. එයාගේ හිත අපි හැමෝම එකතු වෙලා හැදුවා. එයා විශ්වාස කළා එයාට ජීවත් වෙන්න පුළුවන් වේවි කියලා. හැබැයි එයාගෙ හිතේ කොනක තනිකමක් තිබුණා. ඒ නිසා නිතර අපට කිව්වා “තනිවෙච්ච කෙනෙක් නොවී’ ඉන්න උත්සාහ කරන්න කියලා. රෙබෙකගේ මරණය අපිට අපි ගැන හිතන්න හොඳ අවස්ථාවක්. එයා යන්න ගියේ අපට ඒ පාඩම කියා දීලා. මේක තමයි ජීවිතය.”

මේ රෙබෙකාගේ සමීපතම අසල්වාසියයි. කලාකරුවන් වෙනුවෙන්ම වෙන්වුණු මත්තේගොඩ නිවාස ‍පොකුරේ, රෙබෙකා සමග දුකසැප බෙදාහදා ගන්නී සුසන්තා චන්ද්‍රමාලිය. රෙබෙකාට මෙන්ම ඈට සිටින්නේද දියණියකි.
“අනේ ඇයි මෙහෙම දෙයක් වුණේ....?”
සුසන්තාට ගළපා ගන්නට හැකිවූයේ ඒ වචන කිහිපය පමණි. ආදරණීය මිතුරියගේ වියෝවෙන් ඈ තවමත් හඬා වැටෙන්නීය. සිය අසල්වැසි මිතුරිය, සහෝදර කලා ශිල්පිනිය පිළිබඳව ඇය යමක් පැවැසිය යුතුමය. හිත හදා ගන්නට කෙටි වෙලාවක් මිඩංගු කළ ඈ, රතු වූ දෙනෙතින් යුතුව හඬ අවදි කළේ මදින් මද බිඳුණු ස්වරයෙනි.
“එයා, එයා ගැන සැලකිලිමත් වුණේම නෑ. අපෙන් යැපෙන්න ඉන්න අය රකින්න නම් මුලින්ම අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. අපි අඳුරගෙන අවුරුදු පහළොවක් විතර. එයා ලෙඩේ හංගගෙනයි හිටියේ. ප්‍රතිකාර හරියට කළා නම්, අපිවත් ඒ ගැන දැනුවත් කළා නම්, දෙයියනේ මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ... එයාගෙ දුව බලාගන්න හිටියේ එයාමයි. ඉතින් ඇයි එයා ඒක ගැනවත් හිතුවේ නැත්තේ. මගේ ඉස්සරහ ගෙදර හිටියේ. මට හරි පාඩුවක්. හරි පාළුවක්...”

ඈ කතාව නිමකරනු ලැබුවේ වචන වෙනුවට ඉකිගැසීම් මතිනි. සැබෑ ලෙන්ගතුකම ඇගේ මුව ගොළුකර තිබිණ. රෙබෙකා පිළිබඳව බොහෝ දේ දන්නා ඇගේ සහෝදරයෙකු තරමටම සමීප මිතුරකු වූයේ බුද්ධික ලොකුකැටියයි. ඔහුට කියන්නට ඇති පිටු ගණනක කතාවක් වචන දෙක තුනකට සීමා කරන්නට යෙදුණේ ඔහු තුළවූ කම්පනයයි.
“මේ ක්ෂේත්‍රයේ මට හම්බවෙච්ච පළවෙනි යෙහෙළිය ඇයයි. මට මගේම අක්කා කෙනෙක් වගේ හිටියේ. මම හැම දේකටම උපදෙස් ගත්තේ ඇයගෙන්. අනේ ඒ තරම් නිහතමානී කෙනෙක්. ජීවිතේට ආපු හැම ප්‍රශ්නෙකටම යකඩයක් වගේ තනියෙම මූණ දුන්නා. දුවත් බලාගෙන ජීවත්වීමයි එකම අරමුණ වුණේ. මේ වගේ ලෙඩක් තියෙනවා කියලා දැනගත්තාම ඇයට ලැබෙන නාට්‍ය නැතිවෙයි කියලා බයෙන් හිටියේ. ඒක නිසා ඇය ලෙඩේ හංගාගෙන හිටියේ. ඒකයි මෙහෙම වුණේ.”
කලාකරුවෙකුට හෝ කලාකාරියකට මෙවැනි සිතුවිල්ලක් පහළව විය යුතුද? ඇත්තෙන්ම එසේ වන්නේ නම් වරද කොතැනද?

“ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් රෙබෙකා නිර්මලී 2007 වසරේ සිට අපේ රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. මෑතකදී නැවත රෝගය වැඩිවෙලා රෝහ‍ලේ වාට්ටු අංක 7 සිටියා. ඊට පස්සේ කරන්න පුළුවන් සත්කාර සියල්ලම අපි කළා. විකිරණ ප්‍රතිකාර දුන්නා. ඊටත් පස්සේ කීමෝ තෙරපි ඒ කියන්නේ පිළිකා නාශක ඖෂධ දුන්නා. ඒ සියලුම ප්‍රතිකාර කළත් ඇගේ තත්ත්වය එතරම් හොඳ මට්ටමේ තිබුණේ නැහැ.” මහරගම පිළිකා රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක, රෙබෙකාට ප්‍රතිකාර කළ අයුරු ගැන කියන්නේ එබඳු කතාවකි.
කවුරු කෙසේ කීවද සිදුවිය යුතු හෝ සිදුනොවිය යුතු සියල්ල දැන් සිදුවී හමාරය. මෙයට සති දෙකකට පළමුව ලක්බිම ‘සරසි‘ අතිරේකය වෙනුවෙන් අප රෙබෙකා හමුවීමට ගොස් ඈ පිළිබඳ තොරතුරු මුල්වරට මාධ්‍ය මගින් හෙළි කළෙමු. ඈ එදා බලා සිටියේ යළි ගෙදර යන දිනය එළඹෙන තුරුය. ගෙදර ගොස් තනිකඩ දියණියට විවාහයක් කර දෙන සැටිය. එසේම මහරගම පිළිකා රෝහ‍ලේ සිටියදීත් ඇය යළි රඟපාන්නට යන්නට දින ‍පොත පෙරළ පෙරළා සිටියාය.

එහෙත් ෙදෙවය ඈට හරස් වූවාය. මහරගම පිළිකා රෝහල් වාට්ටුවේ සිවිලිම හරහා ඇගේ අවසන් සුසුම්‍පොද ඇය වාතලයට මුදාහැරියාය. එතැනින් ඈ නික්ම ගියේ බොරැල්‍ලේ මල් ශාලාවටය. එතැනින් යළිත් කලාභවනටය. කලාභවන පිරී ඉතිරී යන්නට පැමිණි කිසිවෙකු ඇගේ නෙත නොගැටිණ. ඔවුන් කිසිවෙකුගේ ඉකියක්, ඇගේ සවන්පත් මත නොතැවරිණ.
ඇය රඟපෑ වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ ගීතයක් ගැයුණේ ‘දූවිල්ලෙන් සැදුනු ලියේ’ යනුවෙනි. සියලු දෙනාගේ සෝ සුසුම් මැද දූවිල්ලෙන් සැදුනු ලිය, දුමාරයක් වී අහස් තලයට මුදාහැරියේ පසුගිය බ්‍රහස්පතින්දා මළහිරු බැස යන හෝරාවේදීය.
------------------------------------------------------
අපේ රටේ උදවිය රෙබෙකා නිර්මලී මුල්වරට හඳුනාගත්තේ “වෙදහාමිනේ” ටෙලි නාට්‍යයෙනි. එම ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කරන්නේ, පිළිකා රෝග පවා සුවකිරීමට සමත්කම් දක්වන්නියකගේ චරිතයකි. එම ටෙලි නාට්‍යයට අනුව, පිළිකා රෝගයකින් පෙළෙමින් අසාධ්‍ය තත්ත්වයක පසුවන “ගුනේන්ද්‍ර” යළි සුවපත් කරන්නේ ද ඇයය. එදා ‘ගුනේන්ද්‍ර’ ලෙස රඟපෑ කමල් අද්දරආරච්චි රෙබෙකා ගැන මතකය අවදි කළේ මේ අයුරිනි.
කමල්ට රෙබෙකාව මුලින්ම මුණගැහෙන්නේ කොහොමද ?
  ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙදහාමිනේ’ ටෙලි නාට්‍යයෙන්ම තමයි මට ඇයව මුලින්ම හමු වුණේ. ඒ මීට අවුරුදු 25කට විතර කලින්.
මුලින්ම දකිද්දි ඇය මොනවගේ කෙනෙක්ද?
  ඉතාම ලැජ්ජාශීලි ගතියකින් තමයි ඇය හිටියේ. ඇය ඒ දවස්වල නිතරම තැතිගත් ස්වභාවයෙන් හිටපු අහිංසක චරිතයක්.
ඇගේ රංගනය ගැන කතා කළොත් ?
  වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ ඇයට ලොකු රංගනයක් කරන්න තිබුණේ නැහැ. ඒත්, ඈ තමන්ගේ රංගනය දිගින් දිගටම දියුණු කරගත්තා. තමන් ලබන අත්දැකීමුත් එක්ක වෘත්තීය මට්ටමේ නිළියක් වෙන්න ඇයට පුළුවන්කම ලැබුණා.
‘වෙදහාමිනේ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට ඇය සමග රඟපෑමට අවස්ථා ලැබුණාද?
  නෑ. එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ.
ඇය රෝගීව සිටින බව දැනගත්තේ කවදා විතරද?
  ඇය අසනීපයෙන් සිටින බව දැන ගෙන හිටියා. නමුත්, ඇය පෙළෙන්නේ පිළිකා රෝගයකින් බව දැනගත්තේ මීට මාසයකට විතර කලින්.
රෙබෙකා හමුවුණු අවසන් අවස්ථාවේ මොනවාද ඇය ඔබට කිව්වේ ?
  මම ඇයව බලන්න රෝහලට යන විට ඇය බොහොම නිද්‍රාශීලී විදිහටයි හිටියේ. ඒත්, මාව දැක්කාට පස්සේ ඇගේ ඒ නිදිබර ගතිය පහවුණු බව මට පෙනුනා. අසනීපය හොඳ කරගන්නා විදිහ ගැනයි ඇය අන්තිමට මාත් එක්ක කතා කළේ. හැබැයි, ඇයට තිබුණ රෝගය පිළිකාවක් බව ඇය ඒ අවස්ථාවෙදිවත් ඇඟවූයේ නැහැ. කොටින්ම කිව්වොත්, අපි පිළිකා රෝගය ගැන කතා කළේම නැහැ. සාමාන්‍ය අසනීපයක් තියෙන රෝගියෙක් වගෙයි ඇය ඒ වෙලාවෙත් කතාබහ කළේ.
භාතිය මදනායක/කිෂාන් කනංකෙ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger