BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, August 4, 2014

මගේ නිවෙස උකසට තියලයි ඒ ණය ලබාගත්තේ...මේකයි යථාර්ථය.....

කිසිදු ආර්ථික ලාබයක් හෝ ජනප‍්‍රියත්වයක් ලද නොහැකි ශබ්දකෝෂකරණය වූ කලි, මහත් කාලයක්, ධනයක්, ශ‍්‍රමයක් වැය කළ යුතු වන අති දුෂ්කර කාර්යයකි. ග‍්‍රන්ථකරණය වාණිජ අරමුණු විසින් මෙහෙයවනු ලබන සමාජයක ශබ්දකෝෂයක් වැනි විසල් ව්‍යායාමයක් සඳහා ධනය ආයෝජනය කොට ලැබිය හැකි ඵලය කුමක් ද?

එහෙත් නිස්සරණාධ්‍යාශයෙන්, මෙකී කාර්යයෙහි නියැළී සිටින විද්වතකු සමඟ අපට පසුගිය දා සංලාපයෙක යෙදිය හැකි විය. මෙරට දැනට භාවිතයට ඇති එක ම එක බෞද්ධ ශබ්දකෝෂය මේ විද්වතා ගේ මෑත කාලීන විශිෂ්ට මෙහෙවරයි.
මේ කෘතිය කොටස් දෙකකින් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය ධනය ඔහු සපයා ගත්තේ බැංකු ණය මුදලකිනි. තමා ජීවත් වන නිවෙස උකසට තබා ගත් ණය මුදල නොපියැවී ඇති බැවින් දැන් බැංකුව ඔහුට නඩු පැවැරීමට සූදානම් වෙයි.
මේ වාතාවරණය ඇසුරේ වුව ද සිය ශබ්දකෝෂකරණය පිළිබඳ ව අප සමඟ මෙසේ අදහස් දැක්වූයේ මාධ්‍ය කලාකීර්ති, සාහිත්‍යශූරී, දේශබන්දු ශාස්ත‍්‍රාචාර්ය සිරි ලියනගේ මහතා යි.
ඔබ විසින් සංස්කරණය කරන ලද ශබ්දකෝෂ ප‍්‍රමාණය හතරක් පමණ වනවා. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය, ජන විද්‍යා ශබ්දකෝෂය, ජනශ‍්‍රැති ශබ්ද කෝෂය මෙන් ම 2006 වසරේ දි ඔබ විසින් සංස්කරණය කරන ලද බෞද්ධ ශබ්දකෝෂය ද ඒ අතර වනවා. සැබවින්ම මෙය ඉතා භාරදූර කාර්යයක්. එමෙන් ම අති දුෂ්කර වූවක්. මෙවැන්නක් සඳහා ඔබ පෙළඹුණේ කෙසේ ද?
බොහෝ දෙනකු අත නොගසන කටයුත්තක් තමයි ශබ්ද කෝෂ සංස්කරණය. මේ සඳහා මට අති විශාල පෙලඹවීමක් ලැබුණේ මා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල ශබ්දකෝෂයේ කටයුතු කිරිම නිසයි.
වසර හයක පමණ කාලයක් පුරා සිදු කරන ලද ඒ කාර්යය මා තුළ ඉතා ප‍්‍රබල බලපෑමක් පුහුණුවක් මෙන්ම අවබෝධයක්ද ඇති කළා.
මේ කාර්යය බොහෝ දෙනකු අමාරු ලෙස ප‍්‍රතික්‍ෂේප කරන කටයුත්තක් වගේම බොහෝ දෙනකු විසින් නොකරන ලද්දක්. මෙය ජනප‍්‍රිය වීමට බලපාන කාර්යයකුත් නොවෙයි. අනිකුත් සාහිත්‍ය පොත් වගේ අලෙවි කැර ගන්නත් බෑ.
ශබ්දකෝෂ ග‍්‍රන්ථයක් ප‍්‍රමාණයෙන් විශාල වනවා. ප‍්‍රකාශකයකු බාර ගන්නේ නෑ. මෙබඳු පසුබිමක් යටතේ වුවත් මා මේ කාර්යයට පෙලැඹුණේ සාංසාරික පුරුද්දකින් වගේ.
ඔබ මේ ආකාරයට කරන ලද ශබ්ද කෝෂ පිළිබඳව කෙටියෙන් විස්තර කළොත්?
මම මුලින් ම ලිව්වේ ජන විද්‍යා ශබ්ද කෝෂය. එහි තිබෙන්නේ ඡ්‍යොතිෂයට සම්බන්ධ වචන, ගුප්ත විද්‍යාවට, වගේම යන්ත‍්‍ර මන්ත‍්‍රවලට මෙන්ම අභිචාර විදිවලට අයත් වචන, දේව විශ්වාස වගේ දේට අයත් වචනත් මෙයට අයත් වනවා.
ඊළඟට කෙළේ ජනශ‍්‍රැති ශබ්දකෝෂය. මෙයට අන්තර්ගත වූයේ ජන වහරේ එන වචනවල තේරුම්. උදාහරණ වශයෙන් සැලකුවොත් දකුණු ප‍්‍රදේශයේ, උඩරට, සබරගමුව, ආදී විවිධ ප‍්‍රදේශවලට විවිධ වචන පාවිච්චි කරනවා. ඒ වාගේම වැදි ජනතාව කතා කරන බසට අයත් වචන රැසක් තිබෙනවා.
ඊට අමතරව විවිධ කර්මාන්ත කිරීමේදී ඊට අදාළ වචන මාලාවකින් කතා බස් කෙරෙනවා. කුඹුරු වැඩ කිරීම, කුරුඳු තැළීම, මැණික් ගැරීම ආදිය උදාහරණ කොට දැක්විය හැකියි.
ඒ සියල්ලට අයත් වචන මෙහි ඇතුළත්. මේ සඳහා මට 2000 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.
ඊළඟට කෙළේ නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය. එහි අදාළ වචනයේ නිරුක්තියද වරහන් ඇතුළේ සඳහන් කෙරෙනවා. උදාහරණයක් ලෙසට ‘නිවන’ කියන වචනය ගනිමු.
මෙය නිර්වාණය යන සංස්කෘත වචනයෙන් හෝ නිබ්බාන යන පාලි වචනයෙන් පැමිණි ආකාරය ද මෙහි සඳහන් වනවා. එමෙන් ම අර්ථයද පැහැදිලි කෙරෙනවා කුමක් ද ‘නිවන’ යනු කියා.
මේ ආකාරයට ඒ ඒ වචනය සිංහලයට බිඳී ආ ආකාරය ඉදිරිපත් කැර තිබෙනවා. ‘පළ’ යන වචනය සිංහලයට බිඳුණේ “ප‍්‍රකට” යන සංස්කෘත වචනයෙන්. සිංහලයට වචන එන්නේ පාලි නැති නම් සංස්කෘත වචනවලින්.
බොහෝ වචන ඇවිත් තිබෙන්නේ සංස්කෘත වචනවලින්. ඒවත් ඇතුළත් කැර තමයි “ නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය සංස්කරණය කෙළේ. මෙය කියවන විට ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි, ඒ ඒ වචන සිංහලයට පැමිණියේ කෙසේද කියා.
ඔබ බෞද්ධ ශබ්ද කෝෂයක් ද සංස්කරණය කළා. මේ පිළිබඳව ඔබේ අත්දැකීම කෙබඳුද?
ඔව්, මේ කාර්යය සඳහා මා පොලඹවනු ලැබූ විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි මෙතෙක් මේ රටේ බෞද්ධ ශබ්ද කෝෂයක් නොමැති අඩුව පුරවාලීම. වසර 2500 කට වඩා ඉතිහාසයක් පුරා අපි බෞද්ධ බව සැබැවි.
විශේෂයෙන්ම මිහිඳු හිමියන් වැඩම කළ දින පටන්ම අප මුළු රටම බෞද්ධයන් වූවා. එහෙත්, මෙතෙක් කිසිවකු හෝ බෞද්ධ ශබ්ද කෝෂයක් නොමැති වීමේ අඩු පාඩුව සපුරා ලීමට ඉදිරිපත් නොවීම තදබල අඩුවක්ව පැවතියා.
එය වටහා ගත් නිසා ඒ කටයුත්ත ඉටු කළා. සිංහල බස පමණක් දන්නා බෞද්ධාගමට ලැදි පිරිස් සඳහා බෞද්ධාගමට සම්බන්ධ වචනවලට තේරුම් තිබෙන ශබ්ද කෝෂයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් නිසා මා මේ කාර්යයට පෙලඹුණා.
ඔබ කෙසේද මේ කටයුත්ත ඉටු කෙළේ. මෙය ඉතා පුළුල්, භාරදූර වගේම අති විශාල කාර්යයක්.
ඔව්, මෙය මහා සාගරය වගේ වැඩක්. බෞද්ධ පොත පත අපමණයි. ති‍්‍රපිටකයට වෙළුම් හතළිස් ගණනක් පමණ තිබෙනවා. මේවායේ සූත‍්‍ර දේශනා දහස් ගණනක් තිබෙනවා. මේ සඳහා සියල්ල කියැවිය යුතු වුණා.
එසේම සෑම පොතක්ම අත් නොහැර කියෙව්වා. කොහේදීද? කා සඳහාද? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ යන්න සටහන් කැර ගනිමින් මෙය ලිවිය යුතු වුණා. මේ කාර්යය කැරගෙන යන විට මා මුලින් සිතුවාට වඩා අති දැවැන්ත කාර්යයකට අත ගසා තිබෙන බව වැටහුණා.
 එසේ වුවත් මා මෙය කළ යුතු බවට අධිෂ්ඨාන කැරගෙන දිගින් දිගට වචන එකතු කිරීමට පටන් ගත්තා. ශබ්ද කෝෂය සඳහා සොයා ගන්නා වචන මුලින්ම ලියැවෙන්නේ කාඩ් පත්වලයි. අඟල් 6 ක් පමණ උස අඟල් 4, 5 පමණ පළල කාඩ් පත් මේ සඳහා යොදා ගන්නවා.
මෙසේ නොකොට පොතක ලියා වචන එකතු කිරීමෙන් අකාරාදී පිළිවෙළට සැකැසීම දුෂ්කර වනවා. කුමන පොතක කුමන පිටුවේද යන්න සඳහන් කරමින් මේ කාර්යය කළ යුතුයි.
බෞද්ධ ශබ්ද කෝෂයේ සංස්කරණ කටයුතු මා පටන් ගත්තේ 1999 තරම් ඈත දී. පොත එළිදැක්වූයේ 2006 දී. ඒ මුළු කාලය පුරාම කැපවීමෙන් මේ සඳහාම කාලය මිඩංගු කරන්න මට සිදුවුණා. මෙහි වචන 45,000 ක් අඩංගු වනවා. තේරුම ලියන අතරම කුමන ස්ථානයකින් ද කුමන පොතෙන් ද මෙය ලබාගන්නේ කියාත් සඳහන් කිරීමට මා මෙහිදී පෙළැඹුණා.
අපට තිබෙන එකම බෞද්ධ ශබ්ද කෝෂය මෙයයි. සැබවින් ම මා සොයා බැලූ පරිදි අපට මීට ඉහත දී බෞද්ධ ශබ්ද කෝෂයක් තිබුණේ නෑ. ‘ජින වචන කෝෂය’ කියා එක පොතක් සොයා ගන්නට ලැබුණා.
එහි තේරුම බුදු හාමුදුරුවන්ගේ වචන කෝෂය කියන එකයි. මෙහි අන්තර්ගත වනුයේ පාලි වචනයක් අරගෙන එය දීර්ඝම විස්තර කිරීමක් පමණයි. එසේ වුවත් ශබ්ද කෝෂ විද්‍යාවට අනුකූලව මෙතෙක් බෞද්ධ ශබ්ද කෝෂයක් ලියැවී නෑ. මෙයයි පළමු පොත.
ශබ්ද කෝෂයක සංයුතිය සැකසිය යුත්තේ කෙසේ ද?
ශබ්ද කෝෂකරණය ශබ්ද කෝෂ විද්‍යාව පදනම් කරගෙන සිදුවන්නක්. ශබ්දකෝෂයක් සකසන විට පළමුව සලකා බැලිය යුතු වනවා, මෙය ලියන්නේ කුමන රාමුවක් ඇතුළත ද යන්න. විවිධ විෂයයන් සම්බන්ධව ශබ්ද කෝෂ සැකැසීමට පුළුවන්.
(උදාහරණ ලෙස භූගෝල විද්‍යාව, පරිගණක විද්‍යාව) අනතුරුව ඒ ක්ෂේත‍්‍රයේ වචන කෝෂය එකතු කිරීමට උපක‍්‍රම භාවිතා කළ යුතුයි. මේ පිළිබඳව ලියැවී ඇති සියලු පොත් පත් එකතු කරගෙන කියවිය යුතුයි. විෂයට අදාළ වචන එකතු කළ යුතුයි.
කාඩ් පත්වලයි වචන ලියන්නේ. කුමන පොතක කුමන පිටුවකද මෙය අන්තර්ගත වන්නේ කියා පොඩි සටහනක් ඇතුළත් කරනවා. එකම වචනය පන්සිය වතාවක් වුවත් ලියැවීමට ඉඩ තිබෙනවා.
මේ භාරදූර කාර්යය සඳහා අවශ්‍ය වියදම ඔබ සපයා ගත්තේ කොහොමද?
මගේ පුතා මෙය පරිගණක ගත කර දුන්නා. නො එසේ නම් ඊටත් අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවිය හැකිව තිබුණා. මෙය වියදම් අධික කාර්යයක්. ඒ සඳහා ණය මුදලක් ලබාගත යුතු වුණා.
මෙබඳු දහසක් දුෂ්කරතා මධ්‍යයේයි, මා මෙය තනිවම සිදු කෙළේ. මගේ ආශාව වූයේ රටට අත්‍යවශ්‍ය වූ ශබ්ද කෝෂයක් සංස්කරණය කිරීමයි. බෞද්ධාගමට ලැදි ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනකුට මේ ශබ්ද කෝෂයෙන් ලබා ගත හැකි පිටු බලය අතිවිශාල යි.
උදාහරණයක් ලෙසට ජනශ‍්‍රැති ශබ්ද කෝෂය ගනිමු.
සමාජ විපරිණාමය සමඟ අප අතරින් අතුරුදන් වන වචන රාශියක් මෙහි අන්තර්ගතයි. කමත් බසට අයත් වචන, අම්බරුවා කියන වචනය මේවා එකම තැනකින් සොයාගන්නට තිබෙනවාද? තව ටික කාලයක් ගත වන විට සොයාගත නොහැකි ලෙසට අතුරුදන් වන වචනයි මේවාට ඇතුළත් වන්නේ.
අනික් කාරණය මේ සඳහා තැන්පත් ධනයක් අවශ්‍යයි. මේ සියලුම අවශ්‍යතා මා සපුරා ගත්තේ තනිවමයි. අතිවිශාල කාලයක් හා වෙහෙසක් මෙන් ම මුදලක් ද මා මෙහි දී වැය කළා.
නමුත් මේ කටයුත්ත සඳහා මා බැංකුවකින් ණය මුදලක් ගත්තා. මගේ නිවෙස උකසට තියලයි ඒ ණය ලබාගත්තේ. තවම ණය ගෙවා ගන්නට බැරිවුණා. දැන් බැංකුව නඩු දමන්නට සූදානම් වනවා. මේකයි යථාර්ථය.
ශබ්ද කෝෂයක් කියන්නේ ආශ්‍රේය ග‍්‍රන්ථයක්. මෙය මුල සිට අගට කියවන පොතක් නොවේ. එය භාවිත කරනුයේ ඒ ඒ අවස්ථාවේ විෂයයන්ට අදාළව පැන නඟින වචනයක අර්ථය පැහැදිලි කැර ගැනීම සඳහායි. රස වින්දනාත්මක පොත පත බහුල මෙකල මෙවැනි පොතකට වෙළෙඳ පොළක් නිර්මාණය වන්නේ නෑ නේද?
ඇත්ත. අපි එදිනෙදා කතා බහ කරන කොට, වැඩ පළවල යෙදෙන විට, කාර්යාලයේ වැඩ කටයුතු කරන විට, බස් රථයේ දී, කඩපොළේ දී මේ වැනි විවිධ අවස්ථාවලදී අපට ශබ්ද කෝෂයක් අවශ්‍ය වන්නේ නෑ, ඒ අදාළ කටයුතු කැර ගැනීමට. ඒ වගේ ම තමයි ලෙඩක් හැදුණාම තමයි වෛද්‍යවරයකු අවශ්‍ය වන්නේ. කුමන හෝ ගැටලුවක් මතු වූ විට පමණයි ශබ්ද කෝෂයක් අවශ්‍ය වන්නේ.
කුමක්ද ආනාපාන සතිය, කුමක්ද නේවසඤ්ඤා නා සංඤ්ඤායතනය ආකිංචඤ්ඤායතනය - සිත දියුණු කිරීමෙන් ලබා ගත හැකි බඹතල පිළිබඳව මෙමඟින් දැනගත හැකියි. මේක අවශ්‍ය වන්නේ බුද්ධ ධර්මය හදාරන උදවියට. සෑම පොදු මිනිසකුටම මෙය අවශ්‍ය වන්නේ නෑ.
ඒ නිසා පැහැදිලියි ශබ්දකෝෂයක අවශ්‍යතාව, එදිනෙදා ගේ දොර කටයුතුවලටත් අවශ්‍ය නොවන සාහිත්‍ය කෘතියක් සේ රස විඳීමටත් බැරි වූවක් බව. යම් යම් විෂයයන් ගැඹුරින් හදාරන අයට අවශ්‍ය කරන මෙවලමක් බව.
ඒ වුණත් ශබ්දකෝෂයක අවශ්‍යතාව සාමාන්‍ය පොදු ජනතාවට නැහැයි කියන්න බැහැ. මොකද පොදු ජනතාව අතින්ම ශබ්දකෝෂ අවශ්‍යතාව පැන නොනඟිනවා කියන්න බෑ. උදාහරණයක් ලෙසට බෞද්ධ ශබ්ද කෝෂයේ අවශ්‍යතාව විවිධ උදවියට පැන නඟින කරුණක්.
උපාසක උපාසිකාවන්ට, දහම් පාසල් දරු දැරියනට බෞද්ධ ධර්මය උගන්වන ගුරුවර ගුරුවරියනට, භික්‍ෂුන් වහන්සේට, සාමනේරයන් වහන්සේට, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන පිරිසට මෙයින් ලබා ගත හැකි ප‍්‍රයෝජන අපමණයි.
ශබ්ද කෝෂ සංස්කරණය මඟින් ඔබ සිංහල බසට අති විශාල සේවයක් ඉටු කොට තිබෙනවා. මේ සඳහා ප‍්‍රමාණවත් ඇගැයීමක් ලැබිලා තිබෙනවා ද?
සමස්තයක් ලෙසට පොත පතට ඇගැයීම් කිරීමේ සම්ප‍්‍රදායයක් මේ රටේ නෑ. මා සිතනවා ඒ ස්වභාවය මේ ක්‍ෂේත‍්‍රයේම සිිටින උදවියගේ, විද්වතුන්ගේ ස්වරූපයක් විය හැකියි. සාහිත්‍ය තෑගි දීම කි‍්‍රයාත්මක වනවා.
අලුතින් පෞද්ගලික ආයතනවලිනුත් තෑගි දෙනවා. ඒක බොහොම ඇගැයිය යුතු කාර්යයක්. මේ ත්‍යාග සඳහා සුදුසු කෘතීන් තෝරන්නේ කෙසේ ද කියන එක පිළිබඳව අප විවේචනය කළ යුතු නෑ.
කොහොම තේරුවත් තෑග්ගක් දෙනවා නම් ඒක පැසසිය යුත්තක්. එතකොට කාට හෝ තෑග්ගක් ලැබෙනවා. ඇගැයීමක් ලෙසට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් සාහිත්‍ය සම්මාන පිරිනැමීම බොහොම හොඳයි.
තම තමන්ට තෑගි නොලැබෙන කොට බොහෝ දෙනා මේ ත්‍යාග සම්මාන පිරිනැමීම විවේචනය කරනවා. එසේ අක‍්‍රමිකතා ද වනවා විය හැකියි. ඒත් ඒක නිවැරදිවම කියන්න බැහැ කියන එකයි මගේ හැඟීම.
තමන්ට නොලැබුණ පළියට ලැබුණ අයට ගැරහීම මට අනුමත කරන්නට බෑ. මා එසේ සිතන්නේ නෑ. මොකද මගේ කෘතිය සුදුසු නැතුව ඇති. එම නිසා මට නොලැබෙන්නට ඇති. එහෙත් බෞද්ධ වචනයක තේරුම සොයා ගන්නට මේ පොත හැරෙන්නට වෙනත් පොතක් නෑ.
මෙවර රාජ්‍ය සම්මාන උලෙළේ දී ඔබේ මේ වටිනා කාර්යය සම්බන්ධයෙන් ඇගැයීමක් ලැබුණේ නෑ?
නැහැ. නමුත් ඔවුන් මේ කෘති පිළිබඳව ඉතා ඉහළ මට්ටමින් බැලුව ද දන්නේ නෑ. ඒ නිසා අපි ද්වේශයෙන් මිදිලා මේ දෙස බැලිය යුතුය. හිත නරක් කැර ගන්නවාට වඩා හොඳයි හිත හදා ගන්න එක.
මෙයට වඩා උසස් යැයි කිව හැකි කෘතියක් ඔබට හමුවුණා ද?
බුද්ධ චරිතය කියා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ගේ පොතකටත්, ආචාර්ය වික‍්‍රම ගමගේ මහතා ගේ ‘ප‍්‍රතිමා කලාව‘ ට සහ මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා ගේ ‘අක්‍ෂර විද්‍යාව‘ කියා පොතකට තෑගි දීලා තියෙනවා.
සුචරිත, ජේ. බී. දෙදෙනාම මගේ ගුරුවරු. ඔවුන්ගේ කෘති මගේ කෘතියට වඩා හොඳ ඇති. ඒ නිසා මම බොහොම සතුටු වනවා මගේ ගුරුවරුන්ට තෑගි ලැබීම පිළිබඳව. මගේ කිසිම විවේචනයක් නෑ ඒ පිළිබඳව. නිවැරදිව අධීක්‍ෂණය කරලා ඇති.
 මම දන්නේ නෑ ඒ අධීක්‍ෂණ කටයුතු ගැන. මම ඒ මණ්ඩලවල ඉඳලා නෑ. නමුත් එක වැරද්දක් තිබෙනවා. ඒ මණ්ඩලවල සිටින විද්වතුන් කව්ද කියා අපට කිව්වා නම් මේ කෘති තෝරන්නේ ප‍්‍රමාණික දැනුමක් තිබෙන අය ද නැති අය ද කියා අපට වටහා ගත හැකියි.
මොකද කතෝලික අයකු සිටියේ නම් ඔහු බෞද්ධ පොතක අගය දන්නේ නෑ. එසේ වන කල නිවැරදි ඇගැයීම වෙන්නේ නෑ. මෙහෙම විවෘත බවක් තිබුණා නම් අඩු තරමින් ඒ ඒ උදවියගේ රුචිකත්ත්වය පිළිබඳ තක්සේරුවක් ලබා ගෙන අපට ඒ අනුව හෝ ලිවීමට පුළුවන්.
මොන පදනමින් කළත් තෑගි පිරිනැමීම ඇගැයිය යුතුයි. තෑගි දෙන්නේ හොඳ පොත්වලට නේ, කසිකබල් ඒවාට නොවෙයි නේ. මා මේ ශබ්ද කෝෂය කළේ සම්මාන අපේක්‍ෂාවෙන් නොවෙයි. මගේ පරමාර්ථය බුදු දහමට සේවයක් කිරීමයි. එය මා අවංකව කළා. එපමණයි.

කුමුදිනී ප‍්‍රියංකා කුරුගල


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger