ජූලි 7 වැනිදාට යෙදෙන එච්.ආර්. ජෝතිපාල ගුණානුස්මරණය නිමිත්තෙනි...!
ටජ් මහලක් තනවන්න බැහැ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි....!
(පද – කරුණාරත්න අබේසේකර)
ශ්‍රී ලාංකික ගීතලෝලී අප සැමගේ සෙනෙහස වෙනුවෙන් ඔහු ගැයූ ගී රාව ප්‍රතිරාව දෙමින් එදා මෙන්ම අදත් ඇසෙන්නේ ය. අද මෙන් හෙටත් ඔහු ගැයූ ගීත ශ්‍රවණය කරමින් මතු පරම්පරාවන් ද අමන්දානන්දයට පත්වෙනු නොඅනුමානය. ඒ ඔහු ගැයූ ගීතවල ස්වර්ණම වටිනාකමක් ගීතලෝලීන්ට ඇති නිසාය.
1987 ජූලි 7 වැනිදා අප අතරින් සදහටම සමුගෙන ගොස් කාලය දශක දෙකකටත් වඩා ගතවී ගොස් ඇති නමුත් උපතින් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නම් වූ ඔහු ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන්ගේ හෘර්දයාංගම වදනින් “හැමදාම රත්තරං ජෝතිපාල” ලෙස විරුදාවලී ලබා සිටියි. මෙවර “ස්වර වර්ණ” ජෝතිපාලයන් පිළිබඳ නිහාල්ගේ සිතුවිලි සමඟ වර්ණ ගන්වමු.
”ජෝතිපාලගේ නමට මුලින් එච්.ආර්. අකුරු දෙක එකතු වෙලා තියෙන්නේ උපතින්ම ලද භාග්‍යයකට යි. ජෝති මගේ හොඳ මිත්‍රයෙක්ව සිටියා. අපි එකට එකම වාහනේ එක අසුනේ ඉඳගෙන ආ ගිය ගමන් අපමණයි. අපි කරපු කතා බහ පිළිබඳව ලියුවොතින් මුළු පත්තරයම පිරෙන්න ලියන්න පුළුවන්.
මේ මුළු රටේම ඉන්න මිනිස්සුන්ගෙන් භාගයකට වැඩි දෙනකු ජෝතිපාල කියන්නේ කවුද කියලා දැනගෙන උන්නා. ඒ වගේම ඒ හැමදෙනාම දැනගෙන උන්නා, ජෝතිපාල කියන්නේ හිත හොඳ රත්තරං මිනිහෙක් කියලත්.
ඒ හින්දා තමයි මම එච්.ආර්. කියන්නේ ‘හදවත රත්තරං’ කියලා ජෝතිව හැඳින්වූවේ. ඇත්තටම කුහකකම, ඊර්ෂ්‍යාව, මසුරුකම වගේ නොමිනිස් ගතිගුණ නොතිබුණු පිරිසුදු අවංක නිහතමානී හදවතක් ජෝතිට තිබුණා. එහෙම මිනිසාගේ හදවත රත්තරං. රත්තරං හැමදාම රත්තරං මිස වෙන ලෝහයකට හැරෙන්නේ නැහැ. ඒ වගෙයි, ජෝතිපාලත් හැමදාම රත්තරං.”
”සමහරු හිතුවේ ජෝති මැරුණාට පසු ඔහු අවසාන වෙයි කියලයි. ජෝති මහ පොළොවේ පය ගහලා උන්නු රත්තරං මිනිසෙක්. ඔහු ගායනා කළ ඔහුගේ ගීත වලට ඔහුගේ හඬින් සාධාරණය ඉටු කර පොදු ජනතාවට කලාකරුවෙක් ලෙස සේවයක් කළ සැබෑ කලාකරුවෙක්. රත්තරං උපදින්නේ මහ පොළොවෙන්. එසේම හැමදාම මහ පොළොවේ රත්තරං තිබෙනවා. ජෝති ගායනා කළ ගීතත් මේ මහ පොළොවේ හැමදාම පවතිනවා. ඒ නිසාත් ජෝතිපාල හැමදාම රත්තරං ජෝතිපාලම තමයි.”
ඔබ තවත් අවස්ථාවකදී ජෝතිව රැකියා බැංකුවකට ආදේශ කළා නේද?
”ඔව්. ජෝතිපාල මේ රටේ රැකියා නැති ගායන හැකියාව ඇති තරුණයන්ට රැකියා ලබා දෙන බැංකුවකට සමානයි. බලන්න අදත් ජෝතිගේ ගීත ගායනා කරලා ජීවත් වෙන කී දෙනකු මේ රටේ ඉන්නවාද කියලා.
සමහරු ගේ දොර, යාන වාහන අරගෙන සැපවත් ජීවිත ගත කරන්නේ, තවත් සමහරු වෘත්තීය ගායන ශිල්පීන් වී සිටින්නේ ජෝතිගේ ගීත ගායනා කරලයි. ඔය රියැලිටි ෂෝ වලින් ආපු බොහෝ තරු ආවේ ජෝතිගේ ගීත ගායනා කරලයි. හැමදාම රත්තරං ජෝතිපාලගේ ගීත මේ රටේ පොදු ජනතාවගේ ගී.
ඒ ගීත ගායනා කරපුවාම ජනතාව අතර පිළිගැනීමක් ලැබෙනවා. ඒ ගීත ගයන තරුණයන්ට හොඳ ආදායම් ලබා ගත හැකි වෘත්තියක් ජෝතිගේ ගී ගැයීම. ඉතින් ජෝතිපාල රැකියා බැංකුවක් නොවෙයිද?”
අඬන්නෙ ඇයි සුදු මැණිකේ
කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි
ආදර නිල්මිණි දෑසේ....!
(පද – ධර්මසිරි ගමගේ)
නවකයින් ජෝතිගේ ගීත ගායනා කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?”නවකයින් ජෝතිගේ ගීත ගායනා කිරීම සුදුසුයි. හැබැයි ජෝතිගේ ගීත ඔහුගෙන් ගලවා ගෙන තමන්ගේ කර ගැනීම නුසුදුසුයි. එමෙන්ම ඒක බලවත් වරදක්. ජෝතිගේ ගීත ජනතාවගේ ලේ සමඟ කලවම් වෙලා තියෙන්නේ.
කවදාවත් ජෝතිගේ ගීත මේ රටේ ජනතාවගේ ලේ වලින් වෙන් කරන්න බැහැ. නවකයින් ජනතාව අතරට එන්න ජෝතිගේ ගීත ගායනා කළ යුතුයි. ඒත් ජනතාව අතර රැඳෙන්න ජෝතිගේ ගීත ජෝතිගෙන් ගලවා ගැනීම නොකළ යුතුයි. හැමදාම රත්තරං ජෝතිපාලම බව ජනතාව දන්නවා. කවුරුන් හෝ ඒ ජෝතිපාලගෙන් ජෝතිගේ ගීත ගලවා ගන්න වෑයම් කළොත් ඔහු විනාශ වෙනවා. ජනතාව ඉඩ දෙන්නැහැ ජෝතිව නැති කරන්න.
ඔබට ජෝතිගේ ගී ගයන්න ලැබුණොත්...?
”මම නම් කෝටි මිලියනයක් ලැබුණත් ජෝතිගේ ගීත ගායනා කරන්නේ නැහැ. මිනිස්සු අතරට ගිය මිනිස්සු ආදරය කරන ජෝතිගේ ගී කොහොම ගායනා කළත් එය ජෝතිගේ ගී විකෘති කිරීමක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා මම කවදාවත්ම ජෝතිගේගීත නම් ගායනා කරන්නේ නැහැ.
ජෝති වගේම ගයනවා යයි කියාපාමින් හෝ මොන විදිහෙන් හෝ ජෝතිගේ ගී ගායනා කරන පුද්ගලයින්ට මම කියන්නේ ජෝතිගේ ගීත විකෘති කරන්න එපා. ජනතාව එවැනි පුද්ගලයින්ට ආශිර්වාද කරන්නේ නැහැ.”
ඔබ එලෙස සිතුවාට සමහර ප්‍රබුද්ධ ගායකයින් පවා දැන් ජෝතිගේ ගී ගයනවා නේද?
”ගාන්ධර්ව මට්ටමේ ඉන්න අපේ සමහර ගායකයොත් ජොතිගේ ගීත ගයන බව ඇත්ත. ඒ ඉතින් ඒ අයගේ තියෙන මුදල් කෑදරකමට කරන වැඩනේ. එහෙම ජෝතිගේ ගීත ගයන ගාන්ධර්වයෝ ඔප්පු කරලා පෙන්වලා තියෙනවා, තමන්ගේ ගීතවලට වඩා ජනපි‍්‍රය ජෝතිගේ ගීත බව.
නැතිනම් ඔවුන් ගායනා කරන්න ඕනේ තමන්ගේ ගීත පමණයි නේද? පේනවා නේද – එයිනුත් පැහැදිලි වෙන්නේ හැමදාම රත්තරං ජෝතිපාලම බව කියන දේ. හැබැයි ඔවැනි පුද්ගලයෝ කිසිදාක ජෝති වෙනුවෙන් පල්ලියකට පන්සලකට ගිහින්වත් ජෝතිව සමරනවා නම් මං දැකලා නැහැ.”
කීවෙමි ඔබ හට සිය දහස් වර
ඔබ නෑ මා හට කන් දුන්නේ
වෙනතක බලලා වෙන අත් පතලා
ඔබ අද අසරණ වී ඉන්නේ...!
(පද – චිත්‍රානන්ද අබේසේකර)
ජෝතිගේ වියෝවින් පසු ඔහුගේ මරණය සංස්කෘතික බල කණුවක බිඳ වැටීමක් ලෙස හඳුන්වනු ලැබුණි. එමෙන්ම කනත්තේ සංස්කෘතියෙන් ජෝති උපන් බවද පැවසුණි. ඒ පිළිබඳව ඔබ පවසන්නේ මොනවාද?”ජෝති ජීවතුන් අතර සිටිද්දී ඔහු පීචං ගායකයකු ලෙස දුටු බොහෝ දෙනකුට මිය ගිය ජෝතිගේ ජනපි‍්‍රයත්වය අදහාගන්න බැරි වෙද්දී ජෝති ප්‍රබුද්ධයෙකු වුණා. සැබැවින්ම ජෝති ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ යෝධ බලකණුවක් සදහටම.
සංස්කෘතික බල කණුවක් වුණේ ජෝති පොදු ජනතාවගේ රසාස්වාදයට පාත්‍ර වූ ගීත ගායනා කිරීමෙනුයි. ඔහු ගැයුවේ රත්තරං ගීත. රත්තරං සේම ඒ ගීත වලත් වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. හැබැයි කනත්තේ සංස්කෘතියෙන් ජෝති නැවත උපන්නා කියා නම් මම පිළිගන්නේ නැහැ. ඒ යෙදුම නිවැරැදි නැහැ. මොකද පොළොව යට සිටි මළවුන්ට වඩා කනත්තට ජීවතුන් අතර සිටින මිනිස්සු රැගෙන ආවේ ජෝතිපාලයි.
එලෙස කනත්තට සංස්කෘතියක් ඇති වුණේ ජෝතිපාලගෙනුයි. ඒ නිසා කනත්තේ සංස්කෘතියෙන් ජෝති නැවත උපන්නා නොව ‘ජෝති කනත්තට සංස්කෘතියක් ඇති කර නැවත උපන්නා’ ලෙස එම යෙදුම නිවැරැදි වෙන්න ඕනේ. ඒ නිසාම තමයි, ජෝති සංස්කෘතික බල කණුවක් ලෙස සැලකිය හැකි වෙන්නේ.”
ඔබ ජෝති සුප්‍රබුද්ධ ගායකයකු ලෙස හඳුන්වනවා නේද?
ජෝතිට පීචං ගායකයා කී ප්‍රබුද්ධයෝ ජෝති මැරුණට පස්සේ ජෝතිගේ ගීත ගායනා කරමින් තමන් මුදුන් වෙන්න ගිහින් පීචං වෙනවා. ජෝති සිටිද්දී ඔහුට ගරහපු ඒ අය ‘කපා ගන්න බැරි වුණු අත සිඹිනවා’ වගේ ක්‍රියාවක් තමා කරන්නේ. ඉතින් ඒ ප්‍රබුද්ධයෝ පීචං වෙත්දී ජෝති ඉබේම සුප්‍රබුද්ධ ගායකයකු වෙනවා. ඔය ප්‍රබුද්ධ මල් වට්ටිය ඔළුවේ තියාගතතු කට්ටියයි, පීචං මල් වට්ටිය ඔළුවේ තියාගත්තු කට්ටියයි දෙගොල්ලම බැණ දොඩ ගනිද්දී ජෝති සුප්‍රබුද්ධයකු වෙලා.
මන්ද ජෝති ඒ දොගොල්ලටම අයිති නැති හින්දා. නොවරදවාම මෙහිදී කියන්න ඕනේ, තවත් ඉන්නවා සුප්‍රබුද්ධයෙක්. ඒ අමරදේව. ඔහුගේ ඔළුවෙත් ඔය ප්‍රබුද්ධ පීචං තරාතිරම් නැහැ. ඔහුත් පිරිසුදු සිතක් තියෙන ජෝතිට ආදරය කළ සුප්‍රබුද්ධ කලාකරුවෙක්. මම එතුමාටත් ගෞරව කරනවා. එවැනි සුප්‍රබුද්ධයෝ තවත් අපි අතර ඉන්නවා. අපි ඔවුන්ව හොයන්න ඕනේ. සොයලා ඔවුන්ට රාජ්‍ය මට්ටමෙන් උපහාර කරන්න ඕනේ.
ජෝති ඉන්න කොට ජෝතිට කිසිදු උපහාරයක් කෙරුණේ නැහැ. ඒ ජෝතිට නොදුන් දේ දැන්වත් ජෝති වෙනුවෙන් ජීවතුන් අතර ඉන්න එවැනි අයට පුද දෙන්න කටයුතු කරනවා නම් එයයි කළ යුතුව ඇත්තේ. මෙහිදී ප්‍රබුද්ධ, පීචං තරාතිරම් නොසලකා හැකියාව, හඬ, නිර්මාණ සලකා ඔවුන්ට උපහාර කළ යුතුයි.”
අද වැනි දිනෙක ජෝති ජීවත්ව උන්නා නම් ඔහුගේ ගීත ගැන කුමක් පවසයි කියා ඔබ හිතනවාද?
”හැමෝම දැන් ජෝතිගේ ගීතම ගායනා කරන හින්දා ඒ ගැන මෙහෙම කියාවි කියා මට හිතෙනවා. ‘සින්දුව මගේ මල්ලී, ඒ හින්දා මගේ අගේ. කමක් නැහැ, උඹ හම්බ කරගෙන කාපං... අනේ ඉතින්, පව් - නේ’ මෙහිදී ජෝතිගේ නිහතමානීකම මෙන්ම මනුස්සකමත් ප්‍රකාශිත වෙයි කියා මං හිතනවා.
ඔහු රසට ගී ගැයුවා වගේම මේ අද වගේ දවසක උන්නා නම් ඔහුගේ ගී ගයන බොහෝ ගායකයින්ටත් රසට ගී ගයන්න කියා දේවි. නැතුව ජෝති වගේ කෙනකු වී පලක් නැහැනේ. එහෙම ‘වගේ’ කෙනෙක් වුණාම ‘අගේ’ ජොතිටම එනවාට ජෝති කැමති වෙන එකක් නැහැ. මොකද ඔහු කවදාවත් අනුන්ගේ දේ කඩා ගත්තු කෙනකු වුණේ නැති නිසා. ඔය මොන විදිහෙන් සැලකුවත් ජෝතිපාල හැමදාම රත්තරං! ජෝති ගැයූ ගීතත් රත්තරං!! ජෝති ගැන මතක සුවඳත් රත්තරං!!!”
පහන් ටැඹ යට සොහොන් කොත ළඟ
කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ...!
(පද – උපාලි ධනවලවිතාන)
මෙම ලිපියේ ඇතුළත් වන ගී පද ජෝති ගැයූ ඔහුගේ පි‍්‍රයතම ගීත වලින් උපුටා ගන්නා ලදී.
Post a Comment