පද්මසිරි කොඩිකාර
එච්. ආර්. ජෝතිපාල උදේ හවා ළඟින්ම ඇසුරු කළ හිතවතකු වූයේ නම් ඒ පද්මසිරි කොඩිකාර ය. ඔහු වෘත්තියෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. පද්මසිරි, ජෝති සමඟ එක්ව ‘සුමිතුරෝ’ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේය. එසේම ‘සූරයන් අතර වීරයා’ ඔහුගේ තවත් සිනමා නිපැයුමකි.
ඔබ අවුරුදු ගණනක් තිස්සේ ජෝතිට හිටපු ළඟම හිතවතා. ඔබට කොහොමද ජෝතිව මුලින්ම මුණගැහෙන්නෙ?
මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ජෝතිගේ සැබෑ රසිකයෙක්. වරක් ‘විසිතුර’ සිනමා පත්තරේ පළව තිබුණු ලිපිනයකට අනුව මම ජෝතිව හොයාගෙන කොස්වත්තේ පිහිටි ඔහුගේ නිවෙසට ගියා. ඔහු ඒ වන විට රටේ සුප්‍රසිද්ධම ගායකයා. ඔහු මාව පිළිගත්තේ මම බලාපොරොත්තු නොවුණු විදියට. එදා මං තේරුම් ගත්තා, ජෝතිපාල කියන්නේ අතිශයින්ම නිහතමානි කලාකාරයෙක් ය කියලා.
ඊට පස්සේ?
ඊට අවුරුදු කීපයකට පස්සේ මමත් සිනමාවට සම්බන්ධ වෙනවා. ඒ ‘හතරදෙනාම සූරයෝ’ චිත්‍රපටයෙන්. එහි ගීත පටිගත කිරීම් තිබුණේ හැඳල විජය චිත්‍රාගාරයේ. එහිදී තමයි ජෝතිව ඊළඟට මුණගැහෙන්නේ. ඊට පස්සේ අපේ හිතවත්කම් දිගින් දිගටම පැවතුණා. කොටින්ම ඔහු මටත් මං ඔහුටත් නැතුවම බැරි තත්ත්වයකට පත්වුණා. 1978 දී ඔය මාලිගාවත්තේ ෆ්ලැට් එක ගත්තේ අපි දෙන්නට වැටිලා ඉන්න.
ජෝති නැති අඩුව අද ඔබට කොහොමද දැනෙන්නේ?
පෞද්ගලිකව මට හිත හොඳ මිනිසකු නැතුව ගියා. සංගීත ලෝකයට සදාදරණීය ගායකයා නැතිව ගියා. ජෝතිට තිබුණේ විස්මිත කටහඬක්. ඒක ගෝල්ඩන් ස්ක්‍රීන් වොයිස් එකක්. ඕනෑම නළුවකුට සරිලන කටහඬක්. අද අපේ සිනමාව බිඳ වැටිලා. සමහරු කියනවා, බිඳ වැටිලා නැහැයි කියලා. සිනමාව බිඳ වැටිලා නැත්නම් කොහොමද දවසින් දවස හෝල් වැහෙන්නෙ? ඒකෙන්ම තේරෙනවා කඩා වැටිලායි කියලා. අපේ සිනමාව මේ විදියට කඩා වැටෙන්න හේතු වුණු ප්‍රධාන සාධක දෙකක් මම දකිනවා; එකක් විජය කුමාරතුංග නැතිවීම. අනික ජෝතිපාල නැතිවීම. ජෝති මියගිහින් අවුරුදු 25 කට පස්සේ අදටත් ඔහුගේ අඩුව මකන්න කවුරුත් නැහැ. ජෝති මැරුණයින් පස්සේ අලුත් චිත්‍රපට 56 කට ජෝතිගේ පරණ සින්දු ඇතුළත් කරලා තියෙනවා. ඒක පටන්ගත්තේ මම. ඒ මගේ ‘සූරයන් අතර වීරයා’ චිත්‍රපටයෙන්.
ඔබ ජෝති විතරක් නෙමෙයි විජය (විජය කුමාරතුංග) එක්කත් ළඟ ඇසුරක් පැවැත්වුවා. ජෝති හා විජය අතර තිබුණු මිත්‍ර සන්ථවය ඔබ දැක්කේ කොයි විදියට ද?
පුදුමාකාර බැඳීමක් ඔවුනොවුන් අතර තිබුණේ. ජෝති විජයට ආදරෙයි විජය ජෝතිට ආදරෙයි. විජය කටානට ඡන්දේ ඉල්ලද්දි ජෝති ඒ පැත්තේ කිසිම යූ එන් පී වේදිකාවකට නැග්ගේ නැහැ. විජයගේ ‘වරදට දඬුවම්’ චිත්‍රපටයට ජෝති සින්දු පහක් කිව්වා. ඒත් සතයක්වත් ගත්තේ නැහැ. කිව්වෙ එකම එක දෙයයි. “අන්න මං වැඩේ දුන්නා. විජය මල්ලි නිකම් පෙනී හිටියත් ඇති” කියලායි. එහෙමනේ සාමාන්‍යයෙන් ඔහු කතා කරන්නේ.
විජය, එක්තරා ජෝති ගුණ සමරුවකදී මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය ‘ජෝතිපාල පුරය’ යනුවෙන් නම් කරන ලෙසත් යෝජනා කළා මට මතකයි.
ඒ 1988 පෙබරවාරි 12 වැනිදා පවත්වපු ප්‍රථම ජෝති ගුණසමරුව. එදා තමයි එච්.ආර්.ජෝතිපාල මාවත නම් කළේ. විජය තම කතාවෙදි කිව්වා ජෝති නමින් පුංචි පාරක් හඳුන්වනවාට වඩා මුළු නිවාස යෝජනා ක්‍රමයම ‘ජෝතිපාල පුරය’ යනුවෙන් නම් කරන්න කියලා. දැන් ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපේ ජනාධිපතිතුමා අවසර දී තිබෙනවා. මෙවර ජෝති 25 වැනි ගුණසමරුවේදී එය නම් කෙරෙනු ඇති.
ජෝති පස්සෙ කාලෙක යූ එන් පී කාරයෙක් වුණාට ඔහු මුලින් හොඳ සමසමාජ කාරයෙක් බවයි මම අහලා තියෙන්නෙ?
ඔව් ඒක ඇත්ත. හැම මැයි දිනේටම ජෝති පෙළපාළි ගියා. ජෝති යූ එන් පී කාරයෙක් නෙමෙයි. ඒ හංවඩුව ඔහුට වැදුණේ එක්තරා සිද්ධියක් නිසයි. 1970 මහ ඡන්දයෙදි ඒ. එච්. එම්. ෆවුසි යූ එන් පී එකෙන් ඡන්දෙ ඉල්ලුවේ. ඔහුට වුවමනා කළා, තමන්ගේ වේදිකාවට ජනපි‍්‍රය ගායක ගායිකාවන් ගෙන්ව ගන්න. ඔය කොන්ත්‍රාත් එක භාර ගත්තේ ප්‍රකට සිනමා පුවත්පත් කලාවේදියකු වූ ආරියරත්න කහවිට. ඔහු ජෝතිපාල, මොහිදින් බෙග්, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරාව ෆවුසිගේ වේදිකාවට නැග්ගුවා.
ඔවුන් සින්දු කිව්වේ දේශපාලන පක්ෂපාතිකමකට නෙමෙයි. සල්ලිවලට. මේ හේතුවෙන් 70 දී බලයට පත්වුණු සමගි පෙරමුණු ආණ්ඩුව ඔවුන්ගේ සින්දු ප්‍රචාරය කිරීම තහනම් කළා. ඒක තමයි ගායකයකුට කරන්න පුළුවන් ලොකුම හතුරුකම. ඒක මිල්ටන් පෙරේරාට බරපතළ විදියට වැදුණා. හැබැයි ජෝතිට චිත්‍රපටවල, ප්‍රසංග වේදිකාවල වැඩ තිබුණු නිසා ඒක ඒතරම්ම දැනුණේ නැහැ. ඒකෙන් ඔහුගේ මාකට් එක අඩු වුණේ නැහැ. ඊට පස්සේ තමයි ජෝති නිකම්ම යූ එන් පී කාරයෙක් බවට පත් වුණේ.
පුදුමේ කියන්නේ 77 යූ එන් පී ආණ්ඩු කාලයේත් ජාතික රූපවාහිනිය ජෝතිව පිටුදැක්කා.
ඒක කළේ එක්තරා ගායකයෙක්. ඔහුගේ ‘නන්දන වින්දන’ වැඩ සටහනට ජෝතිව ගත්තේ නැහැ. ඊට පස්සේ රසිකයන් ලියුම් එව්වා ඇයි ජෝතිගේ සින්දු දාන්නේ නැත්තේ කියලා. අන්තිමෙට අර ගායකයාට සිද්ධ වුණා ජෝතිව ගන්න. ඔහු ජෝතිට කතා කළා. ඒත් ජෝති ගියේ නැහැ. ජෝති ඔහුගෙන් ඇහැව්වා “දැන් ද මාව මතක් වුණේ කියලා”. ජෝතිට එහෙම කතා කරන්න තරම් පිටකොන්දක් තිබුණා. ඔහු කියන්න තියෙන දේ කෙළින්ම කියපු කෙනෙක්.
ජෝතිගේ ‘ජෝති රාත්‍රිය’ ප්‍රසංගය පිටුපස්සෙ හිටියෙත් මං හිතන්නේ ඔබ.
ඔව්. ජෝති ජීවිතයේ පළමු වතාවට ජාතික ඇඳුමක් ඇන්දේ ‘ජෝති රාත්‍රිය’ දා. ප්‍රසංග වැඩියෙන්ම තිබ්බේ මරදාන ටවර් හෝල් එකේ. ඒ පැවැත්වුණු හැම ප්‍රසංගයක්ම හවුස් ෆුල්.
ජෝති අනිවාර්යයෙන්ම තමන්ගේ රසිකයන්ට අසීමිතව ආදරය කරපු ගායකයෙක්?
ඇත්ත වශයෙන් ම. ඔබ දැකලා තියෙනව ද ජෝති රසිකයන්ට ආචාර කරන හැටි. බුදුන්ට - ඒ වගේම තමන්ගේ මවට වඳිනව වගෙ තමයි ඔහු දොහොත් මුදුන් දීලා තම රසිකයන්ට වඳින්නේ. මම දවසක් ඇහැව්වා ජෝති අයියේ, ඔය ආචාර කරනව ද නැත්නම් වඳිනව ද කියලා. එතකොට ඔහු දුන්නු උත්තරේ මේකයි.
“ඔව් මං වඳිනවා. මොකද මාව ජීවත් කරවන්නේ රසිකයෝ. ඒ ගොල්ලන්ට වඳින්නෙ නැතුව මං කාට වඳින්න ද”
ජෝති තරම් උතුරා ගිය මනුෂ්‍යත්වයක් ප්‍රකට කළ ගායකයෙක් වෙන නැති තරම්. ඔහුගේ මනුස්සකම ඉස්මතු වුණු අවස්ථා ඔබ අනන්තවත් දැකලා ඇති?
ජෝතිපාලගේ ජීවිතේ පුරාම තියෙන්නේ මනුස්සකම. ඔහු ඇඳන් හිටපු ඇඳුම පවා ගලවලා දුන්නු මනුස්සයෙක්. ඉස්සර ජෝති අයියාව බලන්න අන්ධ සීයා කෙනෙක් එනවා. ඔහු ජෝතිට මොනතරම් ආදරේ ද කියනව නම් ජෝති අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉද්දි ඔහු සල්ලි එකතු කරගෙන දවස් හතක් බෝධි පූජා තියපු කෙනෙක්. දවසක් ඔහු ඇවිල්ලා ජෝතිගෙන් අඳින්න වැඩිපුර සරමක් තියේනම් ඉල්ලගෙන යන්න. ජෝති කරලා තියෙන්නේ ඇඳගෙන හිටපු සරම ගලවල ඒ සීයට දීලා.
මං ෆ්ලැට් එකට යනකොට මෙන්න ජෝති ඉන්නවා තුවායක් ඇඳගෙන. මං ඇහැව්වා ‘මොකෝ මේ’ කියලා. ඊට පස්සේ ඔහු ස්ටෝරිය කිව්වා. මං ඇහැව්වා ‘ඇයි සරමක් ගන්න සල්ලි දුන්න නම් ඉවරයිනෙ’ කියලා. එතකොට ජෝති හිනාවෙලා කිව්වා ‘අතේ සතේ නැහැ’ කියලා. ඊට පස්සේ මං ඇහැව්වා “එහෙනම් මරදානට ගිහින් අලුත් සරමක් ගේන්නද” කියලා. එතකොට ජෝති කිව්වා ‘නැහැ මල්ලි අම්මා ගියා සරමක් ගේන්න’ කියලා.
මොකද, ඊට ටික වේලාවකට කලින් ජෝතිගේ අම්ම ඇවිල්ලා. ජෝතිගේ චරිතය පුරාම තියෙන්නෙ ඒ වගේ අත්දැකීම්.
ජෝති සාමාන්‍යයෙන් ගරු කරපු අය කවුද?
ජෝති ප්‍රවීණයන්ට ගරු කළා. විශේෂයෙන් කේමදාස මාස්ටර්ට, බෙග් මාස්ටර්ට, අමරදේව මහත්තයාට ගරු කළා. තමන්ට අතහිත දුන්නු අයට ගරු කළා. ඒ වගේම සංගීත හදාරපු අයට ගරු කළා. ජෝති සංගීතය හදාරලා නැහැ. ඒත් හදාරපු අයට ඔහු ගරු කළා.
ඒත් ජෝතිට කවුද ගරු කළේ? ඔහුට ලැබෙන්න තිබුණු සම්මානවත් දුන්න ද? ආචාර්ය මහාචාර්යවරු පවා අගය කළේ ඔහු මැරුණයින් පස්සේ. ඒවා පශ්චාත් මරණ ඇගැයීම්.
කොච්චර හොඳට සින්දු කිව්වත් තමන්ට සම්මාන නොදෙන බව ජෝති දැනගෙන හිටියා. ඒත් ඒ ගැන ඔහු කනගාටු වුණේ නැහැ. අපිටයි කනගාටු. සමහර අවුරුදුවල ජෝතිගේ ලස්සන සින්දු තිබියදී චිත්‍රපටවල කවි ගායනාවලටත් සම්මාන දුන්නනේ.
ඔය කියන්නේ සිරිබෝ අයියා’ චිත්‍රපටයේ?
පද්මසිරි සිනාසෙනු මිස පිළිතුරක් නොදෙයි.
සමහරු ජෝතිව බේබද්දෙක් - සල්ලාලයෙක් විදියට ගර්හා කළා නේද?
ඒක තමයි ජෝතිට කරපු ලොකුම අපහාසේ. ජෝති බිව්වෙ නැහැයි කියනවා නම් ඒක බොරුවක්. ඒත් ඔබ අහලා තියෙනව ද ජෝති බීලා ගෝරිවලට ගිහින් තියෙනවා; අතන මෙතන කාණුවලට වැටිලා හිටියයි කියලා. ජෝති බොහෝම වැදගත් විදියට ජීවත්වුණු කෙනෙක්. මොකද ඔහුට හිටියේ දුවලා.
ඒ නිසා විශේෂයෙන් ඔහු හැම ගැහැනු ළමයෙක් දිහාම බැලුවෙ තමන්ගේ දුවෙක් විදියට. මම ලන්ඩන්වලට ගිය දවස්වල එහෙ අය කියනවා, ජෝති ලන්ඩන් ආවම හිටියේ තමන්ගෙ ගෙදර. හැබැයි ඔහු බොහෝම වැදගත් විදියට, විනීතාචාරව හැසිරුණු ගායකයෙක් කියලා. දවසක් එක්තරා ප්‍රබුද්ධ ගායකයෙකුගෙයි - ගායිකාවකගේ සීන් එකක් දැකලා නිහාල් නෙල්සන් මට කියනවා, “අර බලපන් සුප්‍රබුද්ධයෝ කළොත් ඒක සුන්දරයි ජෝති කළොත් වනචරයි.”
ඔය කියන්නේ අර ඒ දවස්වල එකට සින්දු කිව්ව ජෝඩුවනේ?
මම එක්තරා ගායක ගායිකා යුවළක් නම් කළෙමි.
ඔව් ඒත් නම් ගම් දාන්න එපා.
අපි කවුරුත් දන්නවනේ ජෝති බිව්වයි කියලා. ඇයි ඇත්තටම ජෝති බිව්වේ?
කලාකාරයෝ සාමාන්‍යයෙන් අඩිපුඩි ගහනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. ජෝතියි මමයි ෆ්ලැට් එකට ආව දවසේ රෝයි - සුමනයි බුදු පිළිමයක් ගෙනාවා. ජෝති උදේ හවා බුදුන්ට පහන පත්තු කරලා වඳිනවා. මං නැත්නම් ජෝති හිටියේ තනියම. මොකද, ඔහුගේ බිරියයි, දරුවන් ටිකයි හිටියේ වෙනමනේ. ඒ නිසා තනිකම, පාළුව මකාගන්න ඔහු බිව්ව වෙන්න ඇති.
පෞද්ගලික ජීවිතයේ ජෝති කොයි වගේ ද?
ඇත්තම කියනවා නම් ඔහු බලාපොරොත්තු වෙච්ච ආදරය ලැබුණේ රසිකයන්ගෙන්. මං ඔය ගැන වින්ටර් අක්කා (ජෝතිගේ බිරිය) එක්ක කතා කරලා තියෙනවා. දවසක් ඇය ඇඬුවා. මං කිව්වා, ජෝති ඔයාට විතරක් අයිති කෙනෙක් නෙමෙයි, ඔහු රටටම අයිති කෙනෙක් ය කියලා.
ඔබ ජෝතිගේ ජීවිත කතාව සිනමාවට නැඟුවා. ඒ චිත්‍රපටයට මොකද වුණේ?
‘සදා ආදර ජෝති’. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
ජෝති ගුණ සමරුවක් වෙලාවෙදි මම සමරු කලාපයකට මෙහෙම ලිව්වා.
“මිනිස්සු ඉපදෙති; මියෙති; ජීවත්වන කාලය තුළ නොයෙක් වෘත්තීන් හි යෙදෙති. යමෙකු ජීවත්ව සිටි කාලය තුළ කළ කී දෑ පවත්වාගෙන යෑම සඳහා තවකෙකු ඉපදී නැත්නම් ඔහු ජාතික වස්තුවකි.”
අදටත් මට කියන්න තියෙන්නේ එච්චරයි.
Post a Comment