ඒ වනවිටත් මරණයේ මුවදොර සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වෙනුවෙන් ගීත ලියවා ගැනීමට ආනන්ද තිස්ස ඇමතිතුමා මා කැඳවා ඇති බව ඩන්ස්ටන් සිල්වා මහතා දන්වා සිටියේ ය. පවනට බදු වේගයෙන් ධාවනය වූ රථය ගුවන් විදුලි පෝටිකෝව සෙවණේ නැවතීමට වැඩි වේලාවක් ගියේ නැත.
ගුවන් විදුලි සංස්ථා සභාපති කාර්යාලයට අප ඇතුළුවනවාත් සමඟ දිසි දසුන වූයේ සභාපති පුටුවේ අසුන්ගෙන සිටින රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතායි. ගුවන් විදුලිය භාර ඇමැතිවරයා වූයේ ද ඒ මහතා ය. එදවස අමාත්‍යංශ ලේකම්වරයා වූ සරත් අමුණුගම මහතා ද ඔහු අසල රැඳී සිටියේ ය. ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ ඉල්ලීම වූයේ ඇන්. ඇම්. වෙනුවෙන් ගීත කීපයක් අලුතෙන් ලියන ලෙසයි.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා තව නොබෝ වේලාවකින් අප අතරින් වියෝවන බව ඒ වන විට අපි හැමෝම දැන සිටියෙමු. ගීත පටිගත කිරීමට අවශ්‍ය වාදක මණ්ඩලය වහාම කැඳවන ලෙසට අමාත්‍යතුමා දන්වා සිටියේ සරත් විමලවීර මහතාට ය. ගායනා සඳහා අමරදේව මහතාත් නන්දා මාලනී මහත්මියත් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් කැඳවාගෙන එන ලෙසට ඩන්ස්ටන් සිල්වා මහතාට භාර කළ ඇමැතිතුමා ගීත පටිගත කිරීම සම්බන්ධ සියලු කටයුතු පෞද්ගලිකව ම සොයා බැලී ය.
ගතවූයේ සුළු මොහොතකි. විපත පිළිබඳ අසුබ පුවත රැගෙන ඒමන් කාරියකරවන මහතා දුව ආවේ ය. ඒමන් කාරියකරවන මහතා එකල ගුවන් විදුලි සභාපති තනතුර හෙබවීය.
ඇන්. ඇම්. වියෝ වූ පුවත ඇසූ සැණින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට එම සෝබර පුවත දුරකථනයෙන් දැනුම් දීමට ඇමැතිතුමා යුහුසුළු විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ කළ දුරකථන සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති උපදෙස් පරිදි එතුමාගේ ශෝක පණිවුඩය පටිගත කිරීමට ඇමැතිතුමාත් අමුණුගම මහතාත් පටිගතකිරීමේ නිලධාරි ලංකාත් වහා වෝඩ් පෙදෙස බලා නික්ම ගියහ.
පසුවදා ගුවන් විදුලි දවසේ වැඩසටහන් ආරම්භයට පෙර ජනාධිපති ශෝක පණිවිඩය සමඟ අලුතෙන් පටිගත කරන ගීතයක් ප්‍රචාරය විය යුතු බව ද ඇමැතිතුමා අප වෙත දන්වා සිටියේය. ඇන්. ඇම්. මළ පුවත ඇසීමෙන් පසු ඇමැති තුමාගේ කටහඬේ ද මතුවූයේ සෝබර ස්වරයකි.
මහ රාත්‍රියේ අමරදේව මහතාත්, ඩන්ස්ටන් සිල්වා මහතා ව, නන්දා මාලනී මහත්මියත්, මාත් දහවෙනි මැදිරියේ සිට ගීත නිර්මාණ කටයුතු ආරම්භ කළේමු. පළමුව මා අතින් ලියවුණේ “සූරිය මල මැලවී ගිය’ යන ගීතයයි.
සූරිය මල මැලවී ගියා
දේශභක්තියෙන් උදාර වූ
නව චින්තනයක උල්පත වූ
දැයක් අවදි කළ
නැවුම් සුවඳ හල
සූරිය මල මැලවී ගියා
ඩන්ස්ටන් සිල්වා මහතාට තනුවක් නිර්මාණය කිරීමට අමතර වාද්‍ය භාණ්ඩයක් අවශ්‍ය නොවේ. ඔහු තුළ පැවති ස්වරඥානය අනුව බොහෝ විට තනු නිර්මාණය කරන්නේ මුවින් මතුල හඬ උසුරුවමිනි. ගුවන් විදුලි දහවෙනි මැදිරියේ (දැන් සුනිල් සාන්ත මැදිරියේ) විසල් පියානෝව මත ගීතයේ පදවැල තබාගත් ඩන්ස්ටන් සිල්වා මහතා හඬ උසුරුවමින් ගොඩ නඟන ස්වර මාලාවේ එක් එක් කාණ්ඩය නන්දා මුමුණමින් සමස්ත ගීතයම සුළු වේලාවක් තුළ නිර්මාණය විය.
සූරිය මල මැලවී ගියා ගීතය පටිගත කිරීම සඳහා නන්දාමාලනී ගායනා කළේ මහ රෑ දෙක පමණ වන විටය. මෙය ලිවීමේ දී මසිතට ඇන්. ඇම්. ඇතුළු සමසමාජ නායකයින් පණදුන් සූරිය මල් ව්‍යාපාරය ස්මෘතියට නැගුණි.
ඉක්බිතිව දෙවන ගීතයද මා අතින් ලියවුණි. එහි තනුව අමරදේවයන් නිර්මාණය කළේ ද සෝබර හැඟීමෙනි. දහවෙනි මැදිරියේ යෝද පියානොවෙන් ද නැඟුණේ ගැඹුර අෙඳා්නාවකි. අමරදේවයන්, පියානෝවේ නාදරූප අනුව මුමුණමින් ඒ දුක්බර ගීතයේ තනුව නිර්මාණය කළේ ය. පක්‍ෂ විපක්ෂ භේදය නොමැතිව එදවස මුළු මහත් ජාතියක් හැඬවීමට මෙම ගීතාවලිය සමත් විය.
සොහොයුරාණෙනි
ඔබේ නාමෙන්
හෙටත් සූරිය මල් පිපේවා
සොහොයුරාණෙනි අමරණීයයි
උදාරයි ඔබෙ ස්වර්ණ නාමය
දහසක් දුක් හිරිහැර බාධක මැද
ආගමනේ පිය සටහන් අතරේ
සදා දැනේ පරපුරෙන් පරපුරට
ඔබෙ උදාර වූ නොසැලෙන ගුණකඳ
අඳුර බිදැර ඥානය නිවහල් කොට
පීඩිත වූ ජනතාව අවදිකර
අපගේ උරුමය යළි පණ පොවනට
ඔබෙන් ලැබිණ නිරතුරුව සියලූවෙර
ඔබගේ කටහඬ තුළින් මතුව ආ
විමුක්ති කාමී රණ ගී රාව ය
අදත් ඇසේ යළි හෙටත් ඇසෙනු ඇත
ශක්තිය වී හදවතට ගලා එන
ඇමැතිතුමා මෙන් ම සරත් අමුණුගම මහතා ද ඉල්ලා සිටියේ මෙම නව ගීතවලට අමතරව සුදර්මන් ද සිල්වා මහතා සමඟ එක් වී ඇන්. ඇම්. පිළිබඳ ව විචිත්‍රාංගමය වැඩසටහනක් ද පිළියෙළ කරගන්නා මෙනි.
පසුවදාට එළිවෙනවාත් සමඟ ගුවන් විදුලි විකාශය ආරම්භ කළේ ඇන්. ඇම්. මළ පුවත ජාතියට දැනුම් දීමෙනි. ඉනික්බිතිව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ශෝක ප්‍රකාශිත කටහඬ විකාශය කළ අතර නන්දා මාලනී ගැයූ “සූරිය මල” ගීතය ජනාධිපති ප්‍රකාශයෙන් පසුව වාදන කළේ ය.
පසුවදා එළිය වැටෙන විටම සනත් නන්දසිරි සංගීතවේදියා මැදිරියට පැමිණි අතර ඔහු තම තනුවක් අනුව මවිසින් රචනා කළ තෙවන ගීතයද ගායනා කළේ ය. සනත් නන්දසිරි මහතා තම ගැඹුරු හඬින් ගායනා කළ එම වියෝගීය වූයේ සොහොයුරාණනේ ගීතයයි.
සොහොයුරාණනේ
සොහොයුරාණනේ
අපේ මේ රට පවතින තුරු
ඔබේ නාමය අමරණීයයි
සොහොයුරාණනි ඔබේ කටහඬ
සදා අප හද පුබුදුවාලයි
දුප්පතුන් සුවපත් කරන්නට
දුප්පතුන් නැති ලොවක් තැනුමට
සොහොයුරාණෙනි ඔබේ ශක්තිය
ඔබේ ඥානය නිබඳ දී ඇත
පයින් පෑගු මිනිස් නිදහස
රුදුරු අධිරද යදම් බිඳීමිණ
ඔබේ රණ ගී හඬින් පිබිදී
දැයේ නිවහල් මල් පිපෙනු ඇත
ඩන්ස්ටන් සිල්වා මහතා පසු කාලයේ තම බිරිඳ සමඟ මායා මාවතේ අප නිවසට පැමිණි බොහෝ අවස්ථාවල වෙනත් ගී තනුවක් නිර්මාණය කිරීමට පෙර තම දුක්බර බටනළාවෙන් සූරියමල ගීතයේ ස්වර මාලාව වාදනය කළේ ය. ඔහු හැමවිට ම පවසන්නේ සංගීතය නොව මගේ ගීතවල භාෂාව ඔහු වාදනය කළ බවයි.
ඇන්. ඇම්. පෙරේරා විද්වතුන්ගේ බුද්ධි ප්‍රභාවය රූපකාය මෙන්ම එඩිතර භාවයද අප හැම වසඟ කිරීමට සමත් විය.
මෙවන් අසාමාන්‍ය පුද්ගලයෙක් මරණය හමුවේ කළ ජීවිත සටන දැක ගැනීමට ලැබීම වේදනාත්මක සිද්ධියක් විය.
මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වීදුරු කවුළුව තුළින් මටත් මා බිරිය සරෝජනීටත් ඇන්. ඇම්. මරුවා සමඟ කළ සටන දැක ගත හැකි විය.
උඩුබැලිව හොත් ඔහු අමාරුවෙන් හුස්ම ගැනීමට උත්සාහ කරයි. එඩිතර බවේ සේයාව ස්වභාවික රිද්මයට වඩා වේගයෙන් ඉහළ පහළ යන පිරිපුන් පපුවෙන් තවමත් පෙන්නුම් කරයි. දොස්තර කාලෝ පොන්සේකා මහතා සයනය අසල එතුමන්ගේ අතක් අල්ලාගෙන ය. අතීතයේ සටන් අරගලවල දී උරෙනුරගැටෙමින් ඔහු හා එකට පෙරමුණේ ගමන් කළ කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් සහෝදරවරු එම සෝබර දසුන මගහැර රෝහල් භූමියේ ගැවසුණි.
දිවියේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මනාව පසක්කර ගැනීමට හේතුවක් විය.
ඇන්. ඇම්. පෙරේරා මහතාගේ අවසාන කාලයේ විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබාගැනීමට මහාචාර්ය තිස්ස විතාරණ මහතා කැටුව එංගලන්තය බලා පිටත් විය. වෛද්‍ය උපදේශය කුමක්ද යන්න නුවණින් අවබෝධ කරගත් ඔහු එහිදී පවසා ඇත්තේ අවසන් හුස්ම ටික තම මවු රටේ දී හෙළීමට ලංකාවට රැගෙන යන ලෙසයි.
‘සසර වසන තුරු - නිවන් දකින තුරු
පින්කෙත හෙළරන් දෙරනේ යළි උපදින්නට
හේතු වාසනා වේවා” යන ඩෝල්ටන් අල්විස් මහතා රචනා කළ ගීතය අමරදේව මහතා ලවා යළි යළි ගායනා කරවූ අවස්ථා මෙහිදී සිහිපත් වේ.
ඇන්. ඇම්. පෙරේරා මහතාගේ වියොවින් වසර ගණනක් ගත වී තිබුණි. කාලයාගේ ඇවෑමෙන් සිදුවූ එයටම සම්බන්ධ තවත් පුවතක් මෙහිලා සටහන් කර තබමි. සරච්චන්ද්‍ර මහතාගේ මනමෙ නාටකයේ එන
අහෝ විපත සිදුවු නි - නොදනිමි කාගෙ දොසා යන ගීතය මෙහි දී මතකයට නැෙඟ්. එය කාලයොගේ ඇවෑමෙන් සිදුවූවකි.
එකල මා සේවය කළේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ය. බැංකු පාලකයෝ මා දිගාමඩුලු දනව්වට පිටුවහල් කිරීමට නිමිත්ත කර ගත්තේ ඇන්. ඇම්. වෙනුවෙන් ගීත ලිවීම ය.
අම්පාර ප්‍රදේශයේ සේවය කරද්දී මගේ වැඩ තහනමක්ද සිදු කෙරුණි. මවගේ රෝගය උත්සන්න බවටත් ලොකු දුව වැඩිවිය පැමිණි බවටත් බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණ දිනයේ දී ම වැඩ තහනම් කිරීමේ ලිපිය මගේ අතට පත්විය.
මෙම හබයෙන් මා මුදා ගැනීමට අතීත කතාව මෙන්ම වර්තමාන කතාව ද දන්නා ආනන්ද තිස්ස ද අල්විස් ඇමැතිතුමා කීපවිටක්ම උත්සාහ දැරීය. බැංකුවේ සභාපති නාහෙට නාහන දඩබ්බර ගොයියකු නිසා එම උත්සාහය නිරර්ථක විය. මා ඉදිරිපිට කළ දුරකථන ඇමතුම් අවසානයේ ආනන්ද තිස්සද අල්විස් ඇමැතිතුමාගේ මුහුණ අඳුරු වනු දුටුවෙමි. එකල ආණ්ඩුවක් තුළ තවත් බලසම්පන්න ආණ්ඩුවක් ඇති බව වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය.
සුනිල් සරත් පෙරේරා
Post a Comment