BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, July 24, 2014

ආනන්දි සශීදරන් වෙත මුලතිව් ජනතාවගෙන් දැඩි විරෝධතාවක්‌...


යුද සමයේ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන එලිලන් මෙන්ම එම සංවිධානයේ සිටියදී අතුරුදන් වූවන් පිළිබඳව විභාග වන නඩුවකට සහභාගි වීම සඳහා පැමිණි උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සශීදරන් වෙත මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගෙන් දැඩි විරෝධතාවක්‌ එල්ල වූහ.

ජනතාව විරෝධතාව දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේ දි එලිලන් විසින් පැහැරගෙන අතුරුදන් වූවන් පිළිබඳව එලිලන්ගේ බිරිඳ වන ආනන්දී සශීදරන් විසින් තමන්ට කරුණු දැක්‌විය යුතු බවයි. මුලතිව් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් උතුරු පළාත් සභා දෙමළ සන්ධාන මන්ත්‍රිනි ආනන්දි සශිදරන්ට පොලිස්‌ ආරක්‌ෂාව මධ්‍යයේ උසාවි භූමියේ විශාල වේලාවක්‌ රැඳී සිටීමට සිදු විය.

එලිලන් විසින් පැහැරගනු ලැබූ තම ඥතීන්ගේ ඡායාරූප හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවට එක්‌වූ ජනතාව උසාවි භූමියට මීටර් 200 ක්‌ පමණ ආසන්න වන විට පොලිසිය මැදිහත් වී එම පිරිස උසාවිය අසලට පැමිණීම වැළැක්‌වීය. තම අතුරුදන් වූ ඥතීන් පිළිබඳව තොරතුරු ආනන්දි සශිදරන් හෙවත් ආනන්දි එළිලන් විසින් ලබාදිය යුතු බවට විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ. විරෝධතාව සඳහා 350 ක පමණ ජනතාවක්‌ සහභාගි වූ අතර පසුව එම පිරිසගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සංදේශයක්‌ ජනාධිපති සම්බන්ධීකාරක එස්‌. කනකරත්නම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්‌ මැදිහත් වීමෙන් පසු එම ස්‌ථානයෙන් පිරිස විසිර ගියහ. පසුව දැඩි පොලිස්‌ ආරක්‌ෂාව මධ්‍යයේ මන්ත්‍රීවරිය උසාවි භූමියෙන් පිටත්ව ගියාය.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger