නුගේගොඩ හයිලෙවල් පාරේ අනුලා පෙර පාසලෙහි ගේට්ටුවෙන් ඇතුළත දැන්වීම් පුවරු දෙකක් සවි කර තිබේ. ‘ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් පදනම සහ ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන කෙන්ද්‍රය යනුවෙන් ඒවායෙහි සටහන් කර ඇත. බසයෙන් ගමන් කරන අතර එහි දුරකතන අංකය සටහන් කරගත් මම දිනක් එම අංකයට කතා කර එහි ගියෙමි.
මා ඉතාමත් ගරුකරන විද්වතකු හා උතුම් මනුෂ්‍යයකු වන ඊ. ඩබ්. අදිකාරම් මහතාගේ අදහස් උදහස් වත්මන් පරපුර අතරට ගෙන ඒම සඳහා එම පදනමෙන් කෙරෙන කාර්යභාරය දැනගැනීමත් එය පාඨකයන් අතරට පත් කිරීමත් මගේ අරමුණ විය.
ආචාර්ය අදිකාරම්ගේ නිදහස් සිතුවිලි පත්‍රිකා, මාර්ටින් වික්‍රමසිංහගේ මුල් කාලයේ විචාර කෘති සහ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ අධ්‍යයන යොවුන් වියෙහි දී මගේ ලෝක දෘෂ්ටිය සකස් වීම කෙරෙහි බෙහෙවින් බලපෑවේ ය. ආගම ජාතිය සම්බන්ධයෙන් ආචාර්ය අදිකාරම් සහ ආචාර්ය කොවුර් ලියූ නිබන්ධ බර්ට්‍රන්ට් රසල්ගෙ ලියැවිලි සමඟ සමතැන්හි නො එසේ නම් ඊටත් ඉහළින් තැබිය හැකි ය.
අදිකාරම් පදනමෙහි ලේකම් හැටියට කටයුතු කරන්නේ මහාචාර්ය මහින්ද පලිහවඩනගේ පුත් රවි පලිහවඩන යි. ඔහු මුල් වරට දකින්නට පෙර මා ළබැඳි සරසවි ඇදුරන් වන මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ සහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් විවිධ තොරතුරු දැනගෙන සිටියෙමි. ඔවුහු ද අදිකාරම් චින්තනයෙන් එළිය ලද්දෝ වෙති.
ආචාර්ය අදිකාරම්ගේ පත පොත නැවත පළ කිරීම සහ බෙදා හැරීම සිදුකරනු ලබන්නේ මේ පදනම විසිනි. ඊට අමතර ව එහි පුස්තකාලයක් ද පවත්වා ගෙන යනු ලැබේ. ක්‍රිෂ්ණමූර්ති පිළිබඳ හුදු වාර්තා චිත්‍රපටියක් ද එහි පැමිණෙන්නන් සඳහා ප්‍රදර්ශනය කෙරේ. එහි දුරකතන අංකය 2811076 වේ.
“අදිකාරම් මහත්තයගේ පොත් ගැන අලුත් පරපුරේ උනන්දුවක් තියනව ද? මම රවිගෙන් ඇසීමි.
“ඒ ගැන නම් කියන්න කනගාටු යි. වැඩිහිටි පරම්පරාව පමණයි ඒ ගැන උනන්දු වෙන්නෙ”
“අලුත් පරම්පරා අතරට යවන්න ක්‍රමවේද හොයල බැලුවෙ නැද්ද?”
“බැලුවා යූ ටියුබේ සහ ෆේස් බුක් මාර්ගයෙන් එන අලුත් අය එතුමගෙ පත පොත ගැන උනන්දුවක් නැහැ. විස්තර ටික බලලා නිකන් ඉන්නවා පමණයි.” ආගම සහ ජාතිය සම්බන්ධයෙන් ද විද්‍යා දැනුම භාවිතය සම්බන්ධයෙන් ද ආචාර්ය අදිකාරම් පළකළ අදහස් එදාටත් වඩා අද වැදගත් වෙයි.
අදටත් වඩා හෙට වැදගත් වෙයි. රාවය පුවත්පතෙහි මංජරිය සංස්කරණය කළ අවධියෙහි මම එතුමන් ලියූ ජාතිවාදියා මානසික රෝගියෙක් ද? යන ලිපිය පළ කළෙමි. ඊට පාඨකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබිණ. පසුගියදා බස්නාහිර අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් දහම් පාසල් සිසුන් සඳහා පළ කරන ලද පුවත්පතකට ද මම ඒ ලිපිය ඇතුළත් කළෙමි. එම ලිපිය කියවූ ඇතැම් දරුවෝ ප්‍රතිචාර දක්වමින් සිටිති.
ආචාර්ය අදිකාරම් යනු සාම්ප්‍රදායික බෞද්ධයන්ට අභියෝගයක් වූ අයෙකි. ඔහු ප්‍රකට වූයේ පන්සිල් නොගත් බෞද්ධයා හැටියට ය. එහෙත් ඔහුගෙන් කුරා කුහුඹුවකුටත් හානියක් නොවී ය. ඔහු තරම් අහිංසකයකු ගැන මා අසා නොමැත. කිසිවකු තමාගේ සිරුර කියතකින් කපන විට ද ඔහුට මෙත් වැඩිය හැකි නම් එය මිනිසකු සතු උසස් ම ගුණය බව කකචුපම සූත්‍රයෙහි දැක් වේ. මට අදිකාරම් මහතා පෙනෙන්නේ එබඳු මිනිසකු ලෙස ය.
ඔහු තුළ ඒ පිළිවෙත පිහිටි බව කකචුපම සූත්‍රය පිළිබඳ නිදහස් සිතුවිලි පත්‍රිකාවල සඳහන් කිරීමෙන් පෙනේ. ‘පටිභා’ නමින් අගනා වැඩසටහනක් දෙරණ රූපවාහිනී නාළිකාවෙන් ඉදිරිපත් කරන හන්තානේ ධම්මගවේෂී හිමියන් කකචුපම සූත්‍රය වස්තු කොට ගනිමින් ඉදිරිපත් කළ වැඩ සටහන නැරඹීමේ භාග්‍ය මට ලැබිණි. බුදු දහම වෙනුවට වෙනත් බහුබූත බෞද්ධයන්ට ඉදිරිපත් කරන ඊනියා භික්‍ෂූන් අතර මෙවන් බුද්ධ පුත්‍රයන් සිටීම බෞද්ධයන්ගේ පැත්තෙන් වාසනාවකි.
අදිකාරම් මහතා ජාතිවාදය රෝගයක් ලෙස දුටුවේ ය. එහෙත් ඇතැම් ජනප්‍රිය භික්‍ෂූන් තම ප්‍රතිරූපය ගොඩ නඟා ගන්නේ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා පෘථග්ජන ජනයා පිස්සු වැට්ටවීමෙනි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් පාදා දුන් ‘භික්‍ෂුවකගේ උරුමය’ , ‘බුදුන් වදාළ ධර්මය’ සහ සත්‍යොදය නූතන භික්‍ෂූන් අතට පත් කළ යුතු කාලය එළඹ ඇතැයි සිතමි. සසුන පිරිහීමට සමාන්තරව පිළිමවල උස වැඩි වී ඇතැයි ආචාර්ය අදිකාරම් ප්‍රකාශ කළේ ය.
උදේ හවා පන්සිල් ජපකරමින් පිළිම වන්දනා කරමින් පස්පව්වල යෙදෙන බෞද්ධයන්ගේ දෙබිඩි පිළිවෙත ඔහුගේ සරදමට ලක් විය. වෙසක් පෝයට අඬ බෙර ගසා ගවයකු නිදහස් කර එදින ම පවත්වන දන්සලේ හාල්මැස්සන් ගෝනි දෙක තුනක ප්‍රමාණයක් හොද්දට උයන වෙළෙඳ සමාගම්වලට සරදම් කරමින් වරක් මම සම්භාෂා තීරු ලිපිය ලීවෙමි.
බුදු දහමෙහි සඳහන් පරිදි මල් නොතළා රොන් ගන්නා බමරුන් මෙන් සුළු ලාබයක් ලබන්නේ නැති ව හොර තරාදිවලින් බඩු කිරන වෙළෙන්දන්ගේ මහා බත් දන්සල පවට පින මාරු කිරීමේ උත්සාහයක් බව මම සඳහන් කළෙමි. මේ ලිපිය පසසමින් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සහ මහාචාර්ය ඒ. ඩී. පී. කලන්සූරිය එවූ ලිපි මාළඟ තවම සුරැකි ව ඇත.
ආචාර්ය අදිකාරම්ගේ චරිතයෙහි අමතක නොවන සිදුවීමක් මෙහි අවසන් වශයෙන් සටහන් කරමි.
මාලිගාකන්ද පිරිවෙනේ තරුණ භික්ෂූන්ගේ ආරාධනයෙන් අදිකාරම් මහතා දිනක් එහි ගොස් දෙසුමක් පැවැත්වී ය. භික්‍ෂූහු ඉමහත් ප්‍රබෝධයෙන් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කළහ.
“ඔබතුමාගේ අවසාන බලාපොරොත්තුව මොකක්ද?”
භික්ෂුවක් ඇසී ය
“මට සිහිනයක් තියෙනවා. මා මැරෙන්න පෙර එක භික්‍ෂුවක් හරි බුදු දහම වැලඳ ගත්තොත් මට ඒ ඇති.”
ඔහු පිළිතුරු දුන්නේ ය. මීට වසර විසි ගණනකට පෙර අදිකාරම් මහතා මිය ගියේ ය. එහෙත් සිහිනය පල නොදැරී ය.
තිඹිරියාගම බණ්ඩාර
Post a Comment