BREAKING NEWS

රටතොට

Sunday, January 19, 2014

තණමල්විල ගංජා නීතිගත කරන්න..

අද තණමල්විල ප්‍රදේශයේ ගංජා වගා නොකරන පුද්ගලයන් හොයාගන්නත් අමාරුයි. අද ගංජා නීතිගත කරන්න කියලා ප්‍රදේශයේ හාමුදුරුවොත් ඉල්ලා සිටිනවා. ඒ ප්‍රදේශවල හාමුදුරුවරුත් එහේ ගියාම ඉල්ලා සිටින්නේ ගංජා නීතිගත කරලා දෙන්න කියලයි යෑයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය පැවැසීය.


ඇමැතිවරිය මේ කරුණු අනාවරණය කරන ලද්දේ පෙරේදා (18 දා) සියඹලාණ්‌ඩුව හා සාරගම හෙල්මුල්ල යන ප්‍රදේශවල විදුලිය විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී විදුලිය සඳහා රජය මගින් කෝටි 5 කට අධික මුදලක්‌ වැයකර තිබූ අතර පවුල් 320 ට පමණ විදුලිය පහසුකම් ලබාදී තිබිණි.

අද එක්‌සත් ජාතික පක්‍ෂය කෑලි කෑලිවලට කැඩිලා. නායකයෙක්‌ තෝරගන්න බැරිව නායකයෝ කීප දෙනෙක්‌ ඉන්න හැමෝම නායකයා යෑයි කියන බංකොලොත් පක්‍ෂයක්‌ බවට පත්වෙලා. රටේ වාසනාවට හා අපේ වාසනාවට ලොකු ශක්‌තියක්‌ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්‍ෂ නායකයා වෙලා සිටීම. රනිල් වික්‍රමසිංහ මහත්තයාට බෑ කවදාවත් රටේ නායකයා වෙන්න. අද වන විට අපේ ආණ්‌ඩුව විසින් සෑම ආසනයකම සෑම දිස්‌ත්‍රික්‌යකම සෑම ගමක්‌ ගානේම දැවැන්ත සංවර්ධනයක්‌ කරගෙන යනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට කරන්න දෙයක්‌ නැතිව කැඳ හැලියක්‌ බවට පත්වෙලා. ඒ පක්‍ෂයේ හිටපු දක්‍ෂයෝ ටික අද ඉන්නේ අපේ පක්‍ෂයේ. අද එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉතුරුවෙලා ඉන්නේ නායකයා පමණයි. දැන් දකුණට නායකත්වය දෙන්න ඉන්නේ අපේ පක්‌ෂෙන් පන්නලා දාපු මංගල සමරවීරලා. මංගල නායකත්වයට දාගෙන දකුණු පළා දිනවන්න උත්සාහ කරනවා. එක්‌සත් ජාතික පක්‌ෂෙට මේ ආත්මේදිනම් බෑ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න. පළාත් සභාවක්‌ හෝ ප්‍රාදේශීය සභාවක්‌වත් දිනන්න බෑ.

මේ අවස්‌ථාවට ඌව පළාත් සභා නිවාස සමුපකාර අමාත්‍ය කුමාරසිරි රත්නායක, සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය සභා සභාපති සමන් වර්ණකුලසූරිය, උප සභාපති අජිත් පුෂ්පකුමාර, මන්ත්‍රීවරයකු වන ආනන්ද ධර්මතිලක හා අසංක බුද්ධික යන මහත්වරු සහ ප්‍රදේශවාසීහු රැසක්‌ එක්‌වී සිටියහ.


 මොනරාගල - නයන ඉහළගෙදර, සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger