BREAKING NEWS

රටතොට

Wednesday, October 9, 2013

රටේ සියලුම මැණික්‌ පතල් බොරු වළවල්

මේ රටේ සියලුම මැණික්‌ පතල් බොරු වළවල් ය. සියලු ගල්කොරි පාතාලයන් ය. ගඩොල් හා උළු කම්හල් පරිසරය වනසන මාරයන් ය. මේ සියල්ලට වගකිවයුතු මිනිසුන්ට කියන නම 'යක්‍ෂයන්' ය.


රත්නපුරේ අත්හැර දමන ලද පතලකට වැටී බලන්ගොඩ පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දස හැවිරිදි දරුවකු මියගිය බව ඊයේ (09 වැනිදා) අපි දැන ගතිමු. මේ පතල හෑරූ එකාත්, එහි වැඩ කළ නරුම රැළත් වහා අත්අඩංගුවට ගෙන මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරා එල්ලුම්ගස්‌ යෑවිය හැකි නීති සම්පාදනය කරන ලෙස අපි ආණ්‌ඩුවෙන් ඉල්ලමු. දස අවුරුදු දරුවකු යනු මැණිකක්‌ බඳු වස්‌තුවකි. දෙමාපිය වැඩිහිටියන් ද, ගුරුවරුන් ද සිය අගනා ජීවිතයෙන් දහ අවුරුද්දක්‌ ඒ මැණිකට ආයෝජන කර ඇත. මේ ආයෝජන මල්පල ගන්නා තුරු සමාජය බලා සිටියි. එහෙත් පල නොදීම මල් පොකුරු පිටින් හැලී ගොස්‌ තිබේ. එය ඉබේ හැලුණා නොව ගස සොලවා, ගසට පා පහර දී, ගසට ගල් ගසා හලන ලද්දකි.

අපි ඉතා වේගයෙන් මරණය සහ අනතුර ගැන සැලකිල්ලක්‌ නැති ජාතියක්‌ බවට පත් වෙමින් සිsටිමු. රිය පැදවීමේ සිට පාර පැනීම දක්‌වාත්, තැඹිලි කෝම්බයට වතුර එකතු වන්නට ඉඩ හැරීමේ සිට අපිරිසිදු ආහාර අනුභවය දක්‌වාත් විවිධ නොසැලකිලිමත් අවස්‌ථාත් නිසා ජීවිතය ඉතා වේගයෙන් අප කෙරෙන් පැන යමින් පවතී. රත්නපුර යනු තනිකරම බොරු වළකි. සමස්‌ත රත්නපුර නගරයම පවතින්නේ නො වසන ලද මැණික්‌ පතල්වලින් පටන්ගෙන පොළොව යටින් දිවෙන දොaනාවල් මත ය. මෙසේ යටින් දොaනාවල් කපා විවිධ කර්මාන්ත සිදු කළ විදේශික නගර රැසක්‌ මේ වන විට මහ පොළොව තුළට ගිලා බට අයුරු පසුගිය කාලයේදී අපි විටින් විට පුවත්පත් මගින් කියෑවීමු. රූපවාහිනියෙන් නැරඹීමු. අප නො සිතූ නො පැතූ මොහොතක සුනාමිය ආවාක්‌ මෙන් රත්නපුරය ගිලා බැස්‌සොත් එයට වගකිවයුතු මැණික්‌ මුදලාලිලා කරන්නේ කුමක්‌ ද? ගම රත්නපුරය වුවත් ඔවුන් ජීවත් වන්නේ කොළඹ පිහිටි මන්දිරවල යá එපාට්‌මන්ට්‌වල ය. නැත්නම් කොළඹින් බොහෝ ඈත නුවරඑළියේ පිහිටි එස්‌ටේට්‌වල ය. මේ සියල්ල මැණික්‌ සල්ලි ය. අපි ඔහුගේ මුදල් කෙරෙහි කුහක සිතින් කල්පනා නො කරමු. එහෙත් මුදල් හම්බකර ගත් පසු තමන් විසින් හාරන ලද මැණික්‌ පතල් වසා දැමීම අමතක කර සැප පමණක්‌ අනුභව කරමින් දුක පමණක්‌ අනුන්ට දෙන ඔවුන්ගේ ප්‍රතිපත්තිය ගැන මහත් සේ කලකිරෙන්නෙමු. ඔවුන්ගේ මැණික්‌ පතල්වලට තවමත් කෙනකු වැටී නැත්නම් අනියම් මිනීමැරුම් චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමු.

ගල් කොරියක්‌ අත්හළ විට එය විශාල ජලාශයක්‌ බවට පත් වෙයි. රාගම ආසන්නයේ මෙවැනි ගල් කොරියක්‌ තිබෙන අතර එය සියදිවි නසා ගැනීමට පාවිච්චි කරනු ලැබේ. ගඩොල් මුදලාලිලා විසින් ගඩොල් මැටි ලබා ගැනීමට කපන වළවල් ද වසා දැමීමක්‌ නැත. ඒවා වසා දමන්නට ක්‍රමයකුත් නැත. එබැවින් මෙවැනි ප්‍රතිඵල ලබා දෙන සියලු කර්මාන්ත සඳහා පාරිසරික බද්දක්‌ අය කළ යුතු ය. ගල් කොරියක්‌ ඇති කළ විට කොහෙන් හෝ අබලි ද්‍රව්‍ය, අවම වශයෙන් කසළ හෝ පුරවා ඊට උඩින් පස්‌ දමන ලෙස කර්මාන්තකරුවන්ට බල කළ යුතු ය. නැතහොත් අනාගතයේ දවසක මේ රට විශාල වළක්‌ බවට පත් වී මුහුදු මට්‌ටමෙන් පහළ තිබෙන රටක තත්ත්වයට පත්වනවා ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger