ලංකාවේ බොදුබල සේනා සංවිධානය බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටියදී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට සංවිධානයක් බිහි වී ඇත.
මෙහි නායකයා වන්නේ මණ්ඩලේ ප්‍රදේශයේ වෙසෙන 45 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන් විහාරයේ වෙසෙන විරාතු හිමියන් 2003 දී විසි පස් වසරකට සිරගත කරනු ලැබුවේ මුස්ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත් ජනපති සමාව යටතේ මේ හිමියන් 2012 දී නිදහස් කෙරිණි. 969 නම් වූ මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ නමුත් බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්ලිම් පල්ලියක 969 ලෙස සටහන් කර තිබිණි.
විරාතු හිමියන්ගේ 969 සංවිධානයේ තේමා පාඨය වන්නේ අනාගතය රැකගනිමු යන්නයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන් පවසයි. මෙහි 9 මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ සිහිවීමටය. බුරුමයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු හිමියන්ගේ ආගමික ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර ඇති බව පැහැදිලිය. විරාතු හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ මුස්ලිම් කඩවලින් බඩු නොගන්නා ලෙසයි. 786 ගසා ඇති කඩවලින් බඩු නොගන්නා ලෙස 969 සංවිධානය එරට පුරා ප්‍රචාරය කර ඇත. මෙයික්තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ බෞද්ධ කාන්තාවක් මුස්ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ඇති වූ වචන හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම කඩවලින් පමණක් සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක් ඇති නොවන බවයි. විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්වූ හිමිනමකි. නමුත් උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ බෞද්ධ මුස්ලිම් ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන සතුටු විය නොහැකි බවයි.
නමුත් අද බුරුමයේ 969 වැනි සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක් නිසාද? නිහඬව බලා සිටියහොත් බුදු දහමටත් බලවත් අන්තරාවක් උදාවන බව බුරුම භික්ෂූන්ට අවබෝධ වූ නිසාද? ක්‍රි. ව. 1193 දී බක්තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක් භික්ෂූන් මරණානුස්සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන බුරුම භික්ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට සූදානම් නැත. එය කෙතරම් ධර්මානුකූලද යන්න පිළිබඳව විග්‍රහයක් කිරීමට මම උත්සාහ නොකරමි.
චතුර පමුණුව
Post a Comment