BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, July 2, 2014

වටරැක යළි රිමාන්ඩ්


අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික බල සේනා සංවිධානයේ සභාපති වටරැක විජිත  පිළිබඳ විමර්ශන අවසන් නැති හෙයින් මෙම 07 වැනිදා තෙක්‌ තවදුරටත් උන්වහන්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (02 වැනිදා) නියෝග කළේය.


තවදුරටත් විමර්ශන සිදු කිරීමට ඇති බව පරීක්‍ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන්ගේ ප්‍රකාශ අධිකරණයේ සැලකිල්ලට භාජන වෙනවා. වරදේ ස්‌වභාවය ගැන ද අධිකරණයේ අවධානය යොමුවෙනවා. ඉතා කෙටි දිනකින් විමර්ශන අවසන් කර වාර්තා අධිකරණය වෙත යොමු කරන ලෙස නියම කරනවා. ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනවා. සිද්ධියට අදාළ වාහනය රුපියල් ලක්‍ෂ 58 ක බැඳුම්කරයක්‌ මත මුදාහරින ලෙස ද අපරාධ කොට්‌ඨාසයට නියෝග කරනවා. විමර්ශන අවසන් නොවන බැවින් ජුලි 07 දා තෙක්‌ විත්තිකාර
  වටරැක විජිත තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරනවා යෑයි මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

තමන් විසින් ම සිරුර තුවාල කරගෙන පසුව කිසියම් පිරිසක්‌ විසින් තමා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දී කපා වධහිංසා කළ බවට ප්‍රකාශ දෙකක්‌ පොලිසියට ලබා දී වරදක්‌ කළ බවට බණ්‌ඩාරගම පොලිසිය හා දෙමටගොඩ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් චෝදනා ඉදිරිපත් කර ඉකුත් ජුනි 25 වැනිදා විත්තිකාර වටරැක විජිත පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව මහෙස්‌ත්‍රාත්වරයා ජුලි 02 දා තෙක්‌ උන්වහන්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

ජුලි 02 දා යළි පානදුර අධිකරණය වෙත විත්තිකාර
වටරැක විජිත  බන්ධනාගාරය මගින් රැගෙන ආවේ විශේෂ ආරක්‍ෂාවක්‌ ඇතිව අධිකරණයේ පිටුපස ගේට්‌ටුවෙනි.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධව සීසීටීවී කැමරාවක දර්ශන සඳහන් සංයුක්‌ත තැටියක්‌ විත්තිකාර හිමිනමගේ හා සාක්‌කිකරුවකුගේ ප්‍රකාශ සඳහන් සංයුක්‌ත තැටි 3 ක්‌ සමඟ (පෙන් ඩ්‍රයිව්) පරිගණක දත්ත සටහන් පතක්‌ අධිකරණය වෙත වැඩිදුර වාර්තා සමඟ ඉදිරිපත් කරමින් එම සංයුක්‌ත තැටි මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ පීඨාධිපතිවරයා වෙත යවා තහවුරු කරවා ගැනීමට අවසර ඉල්ලා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා එයට අවසර ලබා දුන්නේය. කෙටි දිනකින් විමර්ශන වාර්තා සමග පැමිණිල්ල ගොනු කරන ලෙස ද නියම කළේය.

විත්තිකාර
වටරැක විජිත  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්‍ෂාන් ඩයස්‌ මහතා පොලිස්‌ පරීක්‍ෂණවලට සහාය ලබා දීමට හිමිනම කැමැති බව පැවසූ අතර ඇප ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළ බව කියන වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පියල් ගයාන් පෙරේරා මහතා ලක්‍ෂ පනස්‌ අටක්‌ පමණ වටිනා වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව දැනට කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන එම නිලධාරීන් භාරයේ තිබෙන වෑන් රථය එහි ලියාපදිංචි අයිතිකරු වන චානක අමරසිංහ නමැත්තාට ලක්‍ෂ 58 ක බැඳුම්කරයක්‌ මත මුදාහැරීමට ද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කොළඹ දෙමටගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍ර. පො. පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, පො. පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු සහ පො. පරීක්‍ෂක සෝමතිලක පතිරආරච්චි යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.






වටරැක විජිත  මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත  සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත  කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මතය.
බොදු බලසේනාව සොයන කවුද මේ වටරැක විජිත  ....?
වටරැක විජිත   මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී ධුරයට පත්වූ විජිත හාමුදුරුවන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
වටරැක විජිත හිමියන් මහියංගනයට වැඩම කොට ඇත්තේ 1994දීය. උන්වහන්සේ වැඩ සිටියේ ගිරාඳුරුකෝට්ටේ රොටලවෙල විහාරස්ථානයේය. විජිත හිමියන් මහියංගනයට වැඩම කිරීමට පෙර වැඩවාසය කළේ කුමන ප්‍රදේශයක කවර පන්සලකදැයි හරිහැටි දන්නා කෙනෙකුද නැත.
කෙසේ නමුදු උන්වහන්සේ එවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වූ වරාය ඇමැතිවරයෙකු වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් සමග ඉතා ළඟින් ඇසුරු කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවද පැවසේ. මුස්ලිම් සමගි පෙරමුණ නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සභාපතිවරයා ලෙසද විජිත  පත්වී සිටි බවක් ගංගොඩවිල සෝම හිමියෝද එකල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. වටරැක විජිත  මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ මහියංගනය ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා බාල්දිය ලකුණින් තරග කරමිනි. එහිදී උන්වහන්සේ පරාජයට පත්වූහ. කෙසේ නමුදු ඉන්පසුව පැමිණි පළාත් පාලන ඡන්දයේදී විජිත ‍පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී මැතිවරණයට ඉදිරිපත්ව මහියංගන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ.
අද වන විටත් වටරැක විජිත  මහියංගන ප්‍රාදේශීය සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි.උන්වහන්සේට ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේගෙන් චෝදනා එල්ල වූයේ මීට මාස කිහිපයකට පෙරදීය. මහියංගන නගර මධ්‍යයේ වෙළෙඳ සැලක ඉහළ මාලයේ පවත්වාගෙන යමින් තිබූ අන්‍යාගමික යාච්ඤා මධ්‍යස්ථානයක් යැයි පැවසුණු ස්ථානයක් සම්බන්ධව පැන නැඟුනු ගැටලුවකදී විජිත හිමියන්ගේ හැසිරීම බුද්ධ චීවරයට නොගැළපෙන බවටත්, රාමසාන් උත්සවයකදී උන්වහන්සේ කථිකයෙකු ලෙස ඉදිරිපත්වී අන්‍යාගමිකයන් ඉදිරියේදී බෞද්ධාගම හා බෞද්ධයන් අවමානයට පත්කළ බවටද මහියංගනයේ භික්ෂූන් වහන්සේලා විජිත ට චෝදනා නැගූහ.
මේ සිද්ධියෙන් පසු 2013 අගෝස්තු 12 වැනි දින මහියංගනය රාජමහා විහාර ධර්ම ශාලාවට එක්රැස්වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ හා ගිහි පිරිස් එකතු වී විජිත ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එසේම විජිත හිමියන් සංඝ සම්මේලනවලින් ඉවත් කර, බ්‍රහ්ම දණ්ඩනයටද යටත් කිරීමට තීන්දු ගෙන තිබිණි. බ්‍රහ්ම දණ්ඩනය යනුවෙන් හැඳින්වෙන්නේ විජිත ශාසනය තුළ කොන් කිරීමය. මේ චෝදනා පිළිබඳව පසුව කරන ලද විමසුමකදී විජිත මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර විජිත  මහියංගන ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස සේවයේ යෙදී සිටින බැවින් ඔහුව මෙම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, එසේ ඉවත් කරන තෙක් ප්‍රදේශයේ සියලුම දහම් පාසල් පැවැත්වීම නවතා දමන බවටත් විහාරාධිපතිවරු අනතුරු හැඟවූහ. මේ සිදුවීම් පෙළෙන් පසු ප්‍රාදේශීය සභා රැස්වීම් සඳහා සහභාගි වීමටද විජිත ට සිදුවූයේ ජනතා විරෝධතා මැද ‍පොලීසියේද ආරක්ෂාව මධ්‍යයේය. රොටලවෙල ගම්මානයේ ජන හමුවකට සහභාගි වූ අමාත්‍ය ඩිලාන් පෙරේරාට පහර දීමට විජිත  උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල විය. මේ අතර විජිත ගමන් කළ වාහනය පසුපස පන්නාගෙන ගිය පිරිසක් කඩුගන්නාවේදී උන්වහන්සේට පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල් ගතව ප්‍රතිකාරද ලැබූහ. එහිදී චෝදනාව එල්ල වූයේ ද බොදු බලසේනාවටය.
දෙසතියකට ඉහතදී වටරැක විජිත  මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙකුද සමග කොළඹ නි‍පෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැරසුණි. ඒ ජාතික බලසේනා නමින් සංවිධානයක් පිහිටුවා ගෙනය. විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාට බොදු බලසේනාව එල්ල කළ චෝදනාවලට එරෙහිව වටරැක විජිත කරුණු දැක්වීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තිබූ බව පැවසුණි.එම අවස්ථාවේ දී බොදු බළ සේනාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් නි‍පෝන් හෝටලයට පැමිණ විජිත ට තර්ජනය කිරීම හේතුවෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇනහිටිනි. මේ පිළිබඳව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනුණි.
අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් විසි දෙවැනිදාය. එදින මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට වටරැක විජිත  පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසි භික්ෂුහු හා ගිහි පිරිසක් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන්  සභාවට පැමිණියේ දැඩි ‍පොලිස් රැකවල් මැදය. එහිදී එළියේ හුන් භික්ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි. ‍පොලීසියෙන් ඊට ඉඩ නොලැබුණු බැවින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වූ පසුවද විජිත  යළිදු පන්සලට වැඩම කළේ ‍පොලිස් ජීප් රියක නැගීය. මේ සිද්ධියෙන් පසු වටරැක විජිත  ආගිය අතක් නැති විය. සිය ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටින බව පැවසුණේ මෙම පසුබිම තුළය.
මේ අතර පසුදින 23 දින භික්ෂුන් වහන්සේ පිරිසක් කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අමාත්‍යංශය වැටලුවේ විජිත එහි රැකවරණ ලබන බව පවසමිනි. එහිදී භික්ෂුන් වහන්සේ අමාත්‍යංශයේ කාමරයක් කාමරයක් ගානේ පරීක්ෂා කළේ විජිත  සිටිදැයි බැලීමටය. අවසානයේ දී උන්වහන්සේලා ඇමැතිවරයාගේ කාමරයද පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඊට ඉඩ නොලැබුණි. තවද අමාත්‍යංශයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ඉල්ලූහ.
වටරැක විජිත තම අමාත්‍යංශයේ නැති බව ඇමැතිවරයා ‍පොලිස් නිලධාරීන් මගින් භික්ෂුන් වහන්සේට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ පිටව ගියහ. නමුත් බොදු බල සේනා භික්ෂුන් කීවේ විජිත  ඇමැතිවරයාගේ කාමරයේ සැඟවී සිටින බවය.
ගිරාඳුරුකෝට්ටේ ගුණරත්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger