ඇත්ත මහත්තයෝ... අපේ ගම දැන් ඉවරයි. කොල්ලෝ බාගෙට බාගයක් කුඩු උරනවා. කවුද මේවා ගේන්නෙ. කොල්ලන්ට කුඩු බොන්න සල්ලි දෙන්නෙ කවුද? මේ බෝට්‌ටු මුදලාලිලා. එහෙම කරන්නේ උන්ගෙ පර වැඩ ටික කර ගන්න. දැන් සමහර කොල්ලන්ට කුඩු නැති වුණහම ඇඟ ගැහෙනවා. බෝට්‌ටු මුදලාලිල හවසට වැල්ලට ඇවිත් කුඩු නැතිව ගැහි ගැහි ඉන්න උන්ගෙ අතට කුඩු පැකට් එක දීලා කියනවා මේකත් අරගෙන මුහුදු පලයන් කියලා. කුඩු සික් එකෙ හිටපු එකාට රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. ඊට පස්‌සේ කුණාටුවක් නෙමෙයි අද රෑට මහ මුහුද පෙරළෙනවා කිව්වත් උන් මුහුදට බහිනවා.
කුණාටුව එන්න ඉස්‌සරින්දා දවසෙ හවසත් බෝට්‌ටු අයිතිකාරයෝ කුඩු පැකට් දීලා තමයි කොල්ලන්ව මුහුදු යවලා තිබුණෙ. කුඩු ගහලා මුහුදට බැස්‌සහම මොකද වෙන්නෙ. මුහුද අනිත් පැත්ත පෙරලුණත් උන් ඉන්නෙ ආතල් එකේ. කුණාටුවෙන් නැති වුණ වැඩිහරියක් දෙනා කුඩු ගහන අය. මම වයසට ගියේ මේ මුහුදට. ඉස්‌සර මේ දහාදුරා වැඩ මේ වැල්ලෙ කෙරුණෙ නැහැ. මම බය නැහැ මේවා කියන්න මහත්තයෝ... අපිට මේවා කියන්න කෙනෙක් නැතුවයි හිටියේ. මේ පැත්තෙ දේශපාලඥයන්ට කිව්වත් වැඩක් වුණේ නැහැ. මගේ කොල්ලටත් කුඩු උරන්න පුරුදු කළේ ඔය බෝට්‌ටු මුදලාලි තමයි. අපේ ගම්වලට කුඩු ගේන්නෙ බෝට්‌ටු මුදලාලිලා. මේක මහා වසංගතයක් මහත්තයෝ. මේවා නවත්වන්න ඕනා. මහත්තෙලා ලියන්න... මම කියන්නෙ ඇත්ත."
ඒ වියපත් මිනිසාගේ වචන ගිනි බෝල වැනිය. ගිනි අව්වට අවර්ණ වූ මුවන කෝපයෙන් තවත් අඳුරු වී ගොස්‌ය. ඔහුගේ ඥතීන් අහිමිවීමේ වියෝ දුක එසේ තුනී කරගන්නට ඉඩ දී අපි අසා සිටියෙමු.
"බෝට්‌ටු මුදලාලිලා එහෙම බටර් ගාලා කොල්ලන්ව මුහුදු යෑව්වට උන්ගෙ මළගමට රුපියලක්‌වත් දීලා නැහැ. එහෙම තමයි මහත්තයෝ උන්ගෙ හැටි. උන් හිතන්නෙ උන් ගැන විතරයි. එදා එච්චර විපතක් වෙලා වැල්ලට මිනී ගොඩ හගන වේලාවෙ බෝට්‌ටු අයිතිකාරයෝ ඇවිත් බැලුවේ උන්ගෙ බෝට්‌ටුවලට මොකද වෙලා තියෙන්නෙ කියලයි. 'තිරිසනෙක් වුණාට ඒක රටට පෙන්නන්න එපා යකෝ' කියලා මම එකෙකුට බැනලා වැල්ලෙන් පැන්නුවා. බෝට්‌ටුකාරයන්ට තියෙන්නෙ කැහුත්තක් නෙමෙයි මහත්තයෝ ගල් පරයක්. උන්ට ඕනා මාළු විතරයි. අපි මුහුදට බැස්‌සට පස්‌සෙ උන් කෝල් කරලා අහන්නෙම මාළු ඉන්නවද කියලා විතරයි. මුහුද හයියද, වැහි කුණාටු තියෙනවද, බොලට කොහොමද කියලා කිසිම බෝට්‌ටු අයිතිකාරයෙක් අහන්නෙ නැහැ.
මුහුදු රස්‌සාව කියන්නෙ මහත්තයෝ මාරයත් එක්‌ක කරන ගනුදෙනුවක්. මුහුදට බැහල වැල්ලට එනකම් අපේ ජීවිත ෂුවර් නැහැ. එහෙම කරිඡ්ජෙ දඟලලා අල්ලන මාළුවල අයිතිකාරයෝ අපි නෙමෙයි බෝට්‌ටුකාරයෝ. අපි උදේට වැල්ලට එනකොට බෝට්‌ටුකාරයෝ බලාගෙන ඉන්නෙ බක්‌ක බදලා මාළු ටික ගන්න. නැතුව අපිව පිළිගන්න නෙමෙයි. මිනිස්‌සු මුහුදු යන්නෙ ආසාවට නෙමෙයි. කරන්න වෙන රස්‌සාවක් නැතිකමටයි. නැතුව රස්‌සාවක් කරන්න හොඳ තැනක් නෙමෙයි මුහුද.
අනිත් එක තමයි... මහත්තයෝ මහ මුහුද වැලි කැටයක් තරම්වත් විශ්වාස කරන්න හොඳ නැහැ. මේ පැත්ත බලලා අනිත් පැත්ත බලන කොට මුහුද පරල වෙන අවස්‌ථා තියෙනවා. මුහුදේ හොඳ හොඳ දේවල් වෙනව. ඒවා ඔය කාලගුණය දන්නෙ නැහැ."
දොළොස් වියේ සිට මුහුද ජීවිතය කරගත් මේ වියපත් මිනිසාට දැන් අවුරුදු අසූ පහකි. මුහුද ඔහුට නිවස වගෙ යෑයි වරක් ඔහු අපට කීවේය. කතාව සැබෑය. ජීවිතෙන්a අඩකටත් වැඩි කාලයක් මුහුද සමග ජීවත් වුණු ඔහුට මුහුදේ විපර්යාසයන් ගැන කවර කතාද?
දවසක් මුහුදෙ ඉන්නකොට අපි ඉන්නවට කිලෝ මීටර් ගාණක් ඈතින් පොල් ගස් දෙකක් විතර උස රලක් මුහුද හරහා හලාගෙන යනවා දැක්‌කා. ඒක දැක්‌කම අපේ බොක්‌ක රත් වුණා. අපිට දරුමල්ලො සිහි වුණා. අපි දැල් කපාලා ගොඩටට එන්න හැරුණා. ටික දුරක් එනකොට මුහුදෙ තිබුණු බෝට්‌ටු සේරම පිම්මෙ ගොඩට ඇදෙනවා. රැල්ල ගොඩ බිමට දැන් හලයි... දැන් හලයි... කියා බල බලා අපි ගොඩට ආවා. ඒත් රටේ පිනකට ඒ රැල්ල ගොඩබිමට ආවේ නැහැ. අපි ගොඩබිමට පය ගහපු ගමන් කාලගුණයට කතා කරලා ඇහුවා මෙහෙම සිද්ධියක් ගැන වාර්තා වෙලා තියෙනවද කියලා. ඒ අය දන්නෙත් නැහැ."
"තව දවසක් අපි දවාලක මුහුදෙ ඉන්නකොට එක පාරටම අහස වළා කුළුවලින් බර වෙලා පටිය ගැහුවා. ටික වේලාවක් යනකොට දැල්ලො උඩ ගැහුවා. තල්මස්‌සු උඩ ගහලා බඩ පෙන්නුවා. අපි දැනගත්තා කුණාටුවක් ළඟ ළඟ එනවා කියලා. අපි දඩි බිඩි ගලා දැල් ටික කපාගෙන ගොඩට එන්න හැරුණා. ටික දුරක් එනකොට ගල් ගහනවා වගෙ වැස්‌ස වැටුණා. ඒ එක්‌කම හයිය ඇල්ලුවා. බෝට්‌ටුව කර කැවෙනවා. රැලි බෝට්‌ටුවට හලනවා. අපි හිතුවා එදා ඉවරයි කියලා. ඒත් හිතට ධෛර්ය අරගෙන බෝට්‌ටුවේ වතුර ඉහ ඉහ කොහොමහරි බෝට්‌ටුව ගොඩබිමට ගෙනාවා. මුහුදෙ වෙන දේවල් ගැන කතා කළොත් ඉවරයක් නැහැ මහත්තයෝ. අපි මුහුදේ ඉන්නකොට ඕනා තරම් හයිය අල්ලපු දවස් තියෙනවා. ඒත් මේ විදිහෙ හයියක් නම් අපි අහලවත් නැහැ. බේරිලා ආපු උන් ඒ ගැන අහනවටවත් කැමති නැහැ.
"ඒත් මහත්තයෝ අපේ උන් කොහොමහරි බෝට්‌ටු අරගෙන ගොඩ ඇදලා තිබුණා. උන් රැල්ලට බිලි වුණේ ගොඩබිම පෙනි පෙනි. බෝට්‌ටු දහයක්‌ම පෙරළිලා තිබුණෙ ගොඩබිම පේන දුරදි. තොටුපළ හදලා තිබුණා නම් අපේ උන් මෙච්චර මැරෙන්නෙ නැහැ"
වියපත් ධීවරයා ගලා යන කතාවට අලුත් මාතෘකාවක් එක් කිරීමත් සමග තවකෙක් උස් හඬින් මෙසේ කීවේය...
මැරුණ උන් මැරුණා. ඉන්න උන්ට හරි බයක් හැකක් නැතුව මුහුදට බහින්න මෙන්න මේ තොටුපළ හදා දෙන්න කියන්න මහත්තයෝ... මෙතැන ධීවර වරායක් හදන්න කියලා මුල් ගල් නම් තුන් හතර පාරක්‌ම තිබ්බා. ඒ මුල් ගල් දැන් පැළ වෙනවා. අපිට ධීවර වාරයක් ඕනෑ නැහැ නැගුරුම් තොටුපළක් හදා දෙන්න කියන්න. ඒ හොඳටම ඇති.
වෙන ධීවර වරායවලට ඕනෑ වේලාවක යන්න එන්න පුළුවන්. ඒත් අපේ තොටුපළට රැට එන්න බැහැ. මෙතැන ලොකු ගල් බැම්මක් තියෙනවා. එළිය වැටෙන්නම ඕනා එතැනින් එන්න. කරුවලෙ ආවොත් බෝට්‌ටු ගල් බැම්මෙ වැදිලා පෙරළෙනවා. ඕනෑ තරම් එහෙම වෙලා මෙතැන අපේ උන් මැරිලා තියෙනවා. එදා රෑම අපිට ගොඩට එන්න පුළුවන් වුණා නම් මෙච්චර අපේ උන් මැරෙන්නෙ නැහැ."
ධීවර තරුණයාගේ හඬ හීන් වී යත්ම නැවතත් වැඩිහිටි ධීවරයෙක් මෙසේ හඬ අවදි කළේය.
ඉස්‌සර මෙතැනට සුළුක්‌කු ආපු තැනක්. ජාඩි, උළු බෑවේ මෙතැන. මේක ස්‌වභාවිකවම පිහිටි වරායක්. මෙතැන විනාශ වුණේ ගල් වැටිය දැම්මට පස්‌සෙයි. දැන් ඒ කතා වැඩක් නැහැ. මෙතැන වරායක් අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. තියෙන ගල් බැම්මත් ප්‍රයෝජනයට අරගෙන වරාය හදලා දෙන්න කියන්න මහත්තයෝ.
මේ විනාශය වෙන්න ඉස්‌සර වෙලත් අපිට නැංගුරම් තොටුපළක්‌වත් හදා දෙන්න කියලා ඔය බොරු බේගල් පත බාන දේශපාලනඥයන්ට කිව්වා. ඒක වුණේ නැහැ. දැන් කියනවා ආරක්‍ෂිත කබා ඇඳගෙන හිටියෙ නැති නිසයි මෙච්චර ජීවිත හානි වුණෙ කියලා. ඔය කියන කබා දීලා තියෙන්නෙ කොහේ ධීවරයන්ට ද මහත්තයෝ... අපිට නම් ආරක්‍ෂිත කබා තියා අමුඩ ලේන්සුවක්‌වත් දීලා නැහැ. සේරම බොරු පම්පෝරි විතරයි. මේ ආණ්‌ඩුව තනිකරම සොබන මුහුදක්.
මේ කුණාටුවෙන් වැඩිම හානියක් වුණේ අපිට. ඒත් ධීවර අමාත්‍යාංශයේ කවුද අපිව බලන්න ආවේ. කවුරුවත් නැහැ. අපේ මළගෙදරකට හරි ආපු රනිල් මහත්තයටත් මේ පැත්තෙ දේශපාලනඥයෝ එකතු වෙලා ගැස්‌සුවා. අපි ධීවරයෝ වුණාට අපේ ගෙදරකට ආපු කෙනකුට ගහන්න තරම් තිරිසන්නු නෙමෙයි. බයට නෙමෙයි... ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.
සුළුපන්න ධීවරයා කියන්නේ බොහෝම දුප්පත් මිනිස්‌සු මහත්තයෝ. ඒ මිනිස්‌සු මුහුදු ගිහින් එදා වේලා හොයා ගන්නවා මිසක් යාන-වාහන තට්‌ටු-ගෙවල් උන්ට ගහන්න බැහැ. ඒත් දැන් අපට ඒකටවත් මුහුද ඉඩ දෙන්නෙ නැහැ. මහත්තයට කියන්න අපි මාස දෙකටම දවස් දෙකයි මුහුදු ගියෙ. එන්න එන්නම මුහුද සැරයි. මුහුදු යන්න තියා මුහුද දිහා බලන්නවත් බයයි. දැන් නම් ටික දවසක් යනකම් මේ වැල්ලෙන් මුහුදට බහින්න කොල්ලො බයයි. මළ සෝනක් උඩින් යනකොට මොන ජගතෙක්‌ගෙ හිතෙ වුණත් බයක් ඇති වෙනවා. දැන් අපේ පොඩි උන්ගෙවත් බඩ පුරවන්න විදිහක් නැහැ. මොනව කරන්නද කියලා හිතා ගන්නවත් බැහැ. දැන් අපිට හිතෙන්නෙ මුහුදට බිලි වුණ එකා දිනුම් කියලයි."
ඒ කතාන්දරයෙන් අපට බොහෝ දේ කියා පායි.
මේ කතාව බළපිටිය මෝදර වැල්ලේ ධීවරයන්ගේ කතාව නොවේ. මල මිනී උඩින් පැනවිත් බෝට්‌ටුවේ අලාභය ගැන විමසන කාලකණ්‌ණින් අපට හමුවන්නේ බළපිටියේ වැල්ලේදී පමණක් නොවන බැවිනි. අප යළිත් අත් දකින්නේ හෘද සාක්‍ෂියක් නැති සමාජයක විලිලැඡ්ජාව රහිත අමනුස්‌සකමය. මේ අමනුස්‌සකමේ අෙ¹aනාව බිඳී යන රළ රැළි අතරින් නැගී විත් දෙසවන් පාරන්නේය. යළි යළිත් පාරන්නේය. අපව පෙළන්නේ ඒ අෙ¹aනාව ඇසෙද්දීත් නෑසු කන්ව සිටින්නට නොහැකිවීමේ පවය.
තරංග රත්නවීර
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment