BREAKING NEWS

රටතොට

Wednesday, February 4, 2015

සිසිර නිහඬවේ...!!! අපගේ බලවත් ශෝකය !!!

දශක කිහිපයක  ලංකාවේ ගීත අඹරේ දිදුළු නිහතමානී කලාකරුවෙකු, ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න  අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
 සිසිර සේනාරත්න උපන්නේ 1938 මාර්තු 29 වෙනිදා හලාවතදීය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි.


 සිසිරගේ මතක සටහන් ඇතුළත් විශේෂ ලිිපි ඵකතුවක් පහතින්...
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය.
ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ මුනිගේ ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ සැමියාද වෙයි.
 ත වර්ෂ භාගයක් කියන්නේ සුළු පටු කාලයක්ද..? ඊටත් එහා හැට පස් වසරකට කිට්ටු කලා ජීවිතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ගායක ගායිකා යුවළ සිසිර සේනාරත්න හා ඉන්ද්‍රාණි විජේබණ්ඩාරය.
සිසිර සේනාරත්න උපන්නේ 1938 මාර්තු 29 වෙනිදා හලාවතදීය. ඔහුගේ දෙමාපියෝ  දකුණේ අය වූහ. මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර 1939 වූ ජූලි 15 වෙනිදා උපන්නේ මවගේ ගම වන කැලණියේ කැළණි විහාරය පේන තෙක් මානයේ බොල්ලෑගල තල් වත්තේය. සිසිර අකුරු කළේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ සහ මරදානේ මධ්‍ය විද්‍යාලයේය. මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉන්ද්‍රාණි පෙරුම් පෙරුවේ ‍ලේඛිකාවක් වීමටය. ඇය ළමා පිටුවලට ලිපි රචනා කළාය. සිසිර සිහින මැව්වේ කෙටිකතාකාරයකු වීමටය. ඔහු ලියූ බෝනික්කා නම් කෙටිකතාව සමස්ත ලංකා මධ්‍ය මහා විද්‍යාල කෙටිකතා තරගයකින් හොඳම කෙටිකතාවක් ලෙස සම්මාන ලැබිය.
ඉන්ද්‍රාණිට කුඩා කාලය ගැන ඇත්තේ සුන්දර අත්දැකීම්ය. මියුසියස් විද්‍යාලය මගේ ගායන දිවියට අඩිතාලම දැමූ කලා නිකේතනයයි. මගේ සංගීත ගුරුතුමිය වූ ඊවා පෙරේරා මහත්මිය ගායන පාඩම අපට ඉගැන්වූයේ පියානෝව වාදනය කරමින්. රුක්මණී දේවියත්, චිත්‍රා පෙරේරාත් මගේ ප්‍රියතම ගායිකාවන් වුණා. ඊවා ගුරුතුමිය රුක්මණීගේ ගී අපූරුවට ගයන අයුරු දැකීමෙන් මට ගායිකාවක් වීමට සිතුණා.  මම කවි ගායනාවලට දස්කම් පෑ නිසා එවකට තිබූ කෝකිල හටන කවි තරගයට ඉදිරිපත් වී දිවයිනේ පාසල් ගණනාවකින් මුල් තැන දිනා මියුසියස් විද්‍යාලයට ජය ලබාදීමට මට හැකි වුණා. ඒ වගේම මම පාසල් වේදිකාවේ සකුන්තලා නාට්‍යයේ සකුත්තලාගේ පුතා හැටියටත් රඟපෑවා.
1951 ජනවාරි මාසයේ දිනක ලංකා ගුවන් විදුලි සේවයට 25 වසර සපිරීම නිමිත්තෙන් ගුවන් විදුලියට ආසිරි පැතීම සඳහා සුනිල් සාන්තයන්  ගැයූ ගීතයේ සහාය ගායිකාව වීමට ඉන්ද්‍රාණි තෝරා ගැනීම ඇයට ගායන ලොවට පිවිසීමට මුල්ම දොරටුව විය.
මගේ පියාගේ මාර්ගයෙන් හඳුනාගත් මර්සලීන් ජයකොඩි පියතුමා නිසා මට සුනිල් සාන්තයන් හඳුනා ගන්නට ලැබුණේ. ඒ කාලයේ සුනිලුන් යුග ගීත වැඩියක් ගායනා කළේ චිත්‍රා පෙරේරා (සෝමපාල) සමගයි. ඇය ලංකාවේ නොසිටි නිසා මට ඒ අවස්ථාව ලැබිම මගේ භාග්‍යයක්.
ඉන්ද්‍රාණි කියන පරිදි ගුවන් විදුලියේ ළමා පිටියට සහභාගි වීමට ලැබිම ඇගේ ජීවිතයේ තවත් පියවරකි. සංගීත අධ්‍යක්ෂ බි.එස්. පෙරේරා කුඩා ඉන්ද්‍රාණි බංකුවක් මත හිඳුවා දැන් ඉතින් දන්න සිංදුවක් කියන්න කී විට, ඇය ඒ දිනවල තිරගත වූ අල්ඛිෙලා චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගැයූ ධීරේ සේ ආජාරේ ගීතය ගැයුවාය.
මේ ළමයාට සිංහල සිංදුවක් කියන්න බැරිද...?

ඉන්ද්‍රාණිගේ මතකයට ආවේ රුක්මණි ගැයූ ගීතයකි. ඇය ගැයූ ගීතයෙන් සෑහීමකට පත් පරීක්ෂකයා සරත් විමලවීර රචනා කළ තුන්ලෝක ගුරු බුදු සෑසි පියේ  ගීතයට තනුව නිර්මාණය කොට ගැයීමට දුන්නේය. 1955 වසරේ ඉන්ද්‍රාණිට එවකට ජනප්‍රිය ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්න සමග යුග ගීයක් Sisira-Indrani1ගැයීමේ අවස්ථාව උදා වූයේ ළමා පිටියේ සිටියදීමය. සරත් විමලවීර රචනා කළ මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා ඒ ගීතය විය.
ළමා පිටියේ ළමා උපන් දින සුබ පැතුම් ගීතය වන ආයුබෝවන් වාසනාවන් - ප්‍රීතිමත් සුබ උපන් දිනයක් හිමි වේවා නම් කරු අයියා ලියූ ගීතයද ගයන්නේ ඉන්ද්‍රාණි සේනාරත්නය. ‘මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථාවක් වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ මනෝහාරි - සෝණ ගංතෙර- ශ්‍රී වල්ලි - යමුනා ගං තෙර- මහ අබිනික්මන’ යන ගීත නාටකවල ගී ගැයීමයි.” ඉන්ද්‍රාණි සඳහන් කළාය.
ගුවන් විදුලි ගීත නාටකවල ගී ගයන විට ඉන්ද්‍රාණි ඉගෙනුම ලැබුවේ දේවි බාලිකා විද්‍යාලයේය. ඇය දිවයිනේ ගුවන් විදුලි සමාජවලින් ලැබුණු ප්‍රතිචාර හේතු කොට, ලංකාදීප පත්‍රය සංවිධානය කළ දීපසිකා සම්මාන උළෙ‍ලේ දී සම්මානයට පාත්‍ර වූයේ ගුවන් විදුලි රංජනී ලෙසය.
මට චිත්‍රපට පසුබිම් ගායිකාවක් වීමේ අවස්ථා තුනක් ගිලිහී ගියා. දේව සුන්දරී - පටාචාරා - දුප්පතාගේ දුක මේ චිත්‍රපටයි. දිනක් සංගීත අධ්‍යක්ෂ බි.එස්. පෙරේරා අප නිවසට ආවේ සුබ පණිවුඩයක් ද රැගෙනයි. එනම් ලෙස්ටර්  ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ එන ළමා ගීත දෙකක් ගැයීමට මා තෝරා ගත් ආරංචියයි. එවැනි අවස්ථාවක් ලැබිම මගේ මැකී ගිය සිහිනය සැබෑකිරීමක් වුණා.
සිසිර සේනාරත්න පවසන්නේ තමා කුඩා කල සිටම නළුවකු වීමේ ආසාවක්ද තිබූ බවය. කාගේත් සිත් ඇද ගන්නා, ඉතා කඩවසම් තරුණයකු වූ ඔහු, එකවරක් බැලූ තරුණියක් දෙවරක් හැරී බලන තරම් ආකර්ෂණීය පුද්ගලයෙකු විය.

මම කුඩා කාලයේ සිටම ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට බැලීමට ගියේ දැඩි ආසාවකින්. චිත්‍රපටවල එන සටන් දර්ශන මහා හපන්කම් හැටියට මම දැක්කේ. 'කව්බෝයි' චිත්‍රපටවල එන ජෝන් වේන්, රොයි රොජර් මගේ වීරයෝ වුණා. ඒ අතර තලාත් මෙහෙමුද් වැනි හින්දි පසුබිම් ගායකයකු ගැයූ ගීත රසවිඳීමෙන් පසු, නළුවකු වීමේ ආසාව තුරන් වී ගායකයකු වීමට සිතුවා. තලාත්ගේ හින්දි ගීතයකට මම සිංහල පද රචනය කළ රෑ සඳ පායලා අද වගේ ගීතය ගායනා කළා. මට චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ අවස්ථාව ලබා දුන්නේ සිරිසේන විමලවීර මාස්ටර්. එයා අධ්‍යක්ෂණය කළ ‍පොඩි පුතා චිත්‍රපටයෙන්. ඒ 1933 වසරේ.
සංගීතඥ බි.එස්. පෙරේරා  රේඛාව චිත්‍රපටයේ ගී ගැයීමට ආරාධනය කරන විට ඔහුට ඇති වූයේ ලැජ්ජාවකි. සිසිර, ඉන්ද්‍රාණි මුලින්ම හඳුනාගත්තේ එදා 'රේඛාවේ' ගීත ගැයීමට යෑමට ඇය සමග ගුවන් ගතවූ පසුය.
ගුවන් යානයේ ඔහු සිටියේ ඇයට සමීප අසුනේය. ගමන අරඹා මද වේලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඩ්පතක් ලැබිණ. මෙය පිරවීමට ඇයගේ දැනුම මදකම නිසා ඇය ඔහුගේ සහය පැතීය. ඔහු ඉතා කැමැත්තෙන්ම එයට ඉදිරිපත් විය. ඒ අවස්ථාව ඉන්ද්‍රාණි විස්තර කළේ මෙසේය.
දුටුවන් සිත් ඇද ගන්නා ආකර්ෂණීය කඩවසම් බවක් පළකළ සිසිර නිහතමානී වැදගත් තැන්පත් ගති ඇත්තෙකු බව ගත කළ සුළු කාලයෙන් අවබෝධ වුණා. ඔහු මට ඉතා ලෙන්ගතුව උදව් කළා. ජීවිතයේ පළමු වරට මෙවන් කෝඩුකාර අත්දැකීමකට මුහුණ දුන් මම, ඔහුද ආදරයට කෝඩුකාරයකු බව වටහා ගත්තා.
'රේඛාවේ' මුලින්ම පටිගතකොට ඇත්තේ ඉන්ද්‍රාණි ගැයූ 'සුදු සඳ එළියේ - නළ මත ‍පොපියන හිරිමල් කැකුළෙක - රොන් කෙමියේ ගීතයයි. දෙවනුව පටිගත වුණේ සිසිර ගැයූ ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීතයය. මේ ගීතය අසා සිටි ඉන්ද්‍රාණිට සිතුණේ ඔහුගේ රුව මෙන්ම හඬත් මොනතරම් ලස්සනද කියාය. ගීතයේ එන ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්‍ලේ කොටස ගායනා කිරීමෙන් ඇය ලැබුවේ අසීමිත සතුටකි. තෙවනුව පටිගතවූයේ ඉන්ද්‍රාණි ගැයූ වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ ගීතයයි. ඉන්ද්‍රාණිට හා සිසිරට එකල එක ගීතයකට රුපියල් දෙසීය පනහ බැගින් ගෙවා ඇත. 1956 වසරේ එය විශාල මුදලකි.
සිසිර ඉන්ද්‍රාණි ප්‍රේම කරන සමයේ සරල ගී වැඩසටහනකට ගැයූ යුග ගීතයක් එදා අතිශයින්ම ජනප්‍රිය විය. හින්දි චිත්‍රපට ගීතයක තනුවකට සිසිර විසින් රචනය කළ එය ඔවුන් දෙදෙනාගේ තේමා ගීතය බවට පත්විය. ඒ ගීතය එදා ගුවන්විදුලි මැදිරියක පටිගත කළේ කාර්මික නිලධාරී ගායක නාරද දිසාසේකරය.
ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කළේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතිවා වගෙයි ඈ මේ ගමේ

1956 මැයි 31 වෙනිදා සිසිර ඉන්ද්‍රාණි ආදරයේ කිරුළු පළඳවමින් යුග දිවියට එළඹුණහ.
1965 තිරගත වූ හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වී 1966 සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ සිසිරය. සරසවි චිත්‍රපට උළෙලට විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ෆිල්ම් ෆෙයාර්' සඟරාවේ කර්තෘ බි.කේ. කරංජියා සිසිරට සුබ පැතුවේ මෙවර හොඳම නළුවා ඔබ ද? විමසමිනි.
නෑ. මම හොඳම සංගීත අධ්‍යක්ෂ සංගීතයට වඩා ඔබ හොඳ නළුකමට. ඉන්දියාවේ හිටියා නං ඔබ ජනප්‍රිය නළුවෙක්. යැයි කරංජියා ඒ අවස්ථාවේ සිසිරට පවසා ඇත.
හඳපානෙන් පසු 'පුංචි බබා' 'හිතට හිතක්' 'කවුද හරි' 'සෙනෙහස' චිත්‍රපටවල සිසිර සංගීත අධ්‍යක්ෂණය කළේය. 'හඳපානේ මල් පිපුණා' 'මගේ පුතුට මල් යහන සදන්නේ' 'පෙම් මදිරා' සිසිර නිර්මාණය කළ ගීත අතර ප්‍රකටය.
සිසිර-ඉන්ද්‍රානි වසර 65කට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටියේ ශ්‍රාවක, ප්‍රේක්ෂක සිත් සතන් පුබුදු කරවමිනි.
ගුණගරුක වැදගත් දෙමාපියන් උරුමකරගෙන, සිංහල බෞද්ධයකු ලෙස මෙලොව ඉපිද, කලා ජීවිතයත්, යුග දිවියත් එක සේ සාර්ථකව ගෙන යාමට තරම්  මමත් සිසිරත් භාග්‍යවන්ත වුණා. ඉන්ද්‍රාණි කීවේ අද  මුනුබුරු මිනිබිරියන් රැසකගේ සුරතල් බලන මිත්තනියක ලෙසිනි.


රේගුවේ රසිකයෝ නිල්මිණි දෑස දකිති

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් කරන්නා වූ පළමු පෙළ රාජ්‍ය ආයතනයකි. රේගුව, නම ඇසුණු සැණින් තීරු බදු, විමර්ශන වැටලීම්, රාජසන්තක කිරීම්, ප්‍රමාද ගාස්තු, අධිභාර ආදී ප්‍රසන්න නොවූ වචන මාලාවක් සිතට නැ‍ඟෙන බව දනිමි. එහෙත් එසේ වූ පමණින් එවන් ආයතනයක කලා රසයෙන් හීන පුද්ගලයෝ පමණක් වෙසෙත් යයි හුදී ජන අපට හැඟී ගොස් තිබුණා නම් එය මිථ්‍යාවක් බව ගෙවී ගිය විසිදෙවනදා රාත්‍රීයේ දී ඔවුහු අපට පසක් කොට සිටියහ. ඔවුන් විසින් නිල්මිණි දෑසක් දැක තිබිණ. ඔවුහු එය අපට ද බලන්නට යයි ඇරැයුම් කළහ. ඔවුනගේ ඇරැයුමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගිය අප තෙහෝරාවක් පමණ කාලයක් එදා සිංහල සංගීත ක්ෂේත්‍රය ඔපවත් කළ, අපූරු සංගීත නිමැවුම්කරුවකුගේ සංගීත නිර්මාණ, ගේය පද රචනයවන, ගායනය ආදී වූ සෞන්දර්යාත්මක, චමත්කාරජනක මිහිරි ලොවක් තුළ රඳවා තැබූහ. නිල්මිණි දෑසක ආලෝකය මැවූ මැවුම්කරුවා වූයේ දශක හතරක පමණ අඛණ්ඩ සේවාවක් ඉටු කළ, ඔවුන්ගේ සගයෙකි.
ඔහුට කෘතවේදීත්වය පිරිනමනු වස්, පැවැත්වුණු අපූරු උළෙලෙහි අසිරිය වන්නේ ඔවුන්ගේ සගයා, දශක ගණනාවක් තුළ මෙන් ම අදද මෙරට රසික හදවත් හි ජීවත්වන අපූරු සොඳුරු සංගීතවේදියකු වීමයි. සිසිර සේනාරත්න නම් වූ අපූරු, සොඳුරු, මිනිසාට ශ්‍රී ලංකා රේගුව ඇලුම් කරන්නේ කොතෙක්ද ඊට වඩා දස දහස් ගුණයකින් මෙරට රසික ජනතාව ඔහුට ආදරය කරන බව රේගුවේ ප්‍රධානියා වූ ජගත් පී. විජේවීර සහෘදයා ප්‍රමුඛ ඔහුගේ සහෘද සංසදය, රේගු සුබසාධක සංගමය වටහාගත් නිසා විය යුතුය. නිල්මිණි දෑසේ සිසිර සේනාරත්න සංගීත රසෝඝය හද සැනසූ සීතල දියදහරක් ලෙසින් ගලා යන්නට ඔවුන් සම්මාදම් වී තිබුණේ ඒ වෙනුවෙන් සමස්ත රේගු සහෘද සමාගමට තුති මලක් නොව මල් පොකුරක් ම පුදන්නට කැමැත්තෙමි.
මේ සටහන ඕලු නෙළුම් නෙරිය රඟාලා ගී මිහිර සමඟ අප හදවත් හි ජීවත්වන සිසිර පිළිබඳ තවදුරටත් ලියන්නට පෙර දහස් වාරයක් සමාව ඉල්ලා සිටිය යුතු ප්‍රමාද දෝෂයක්. පසුගිය සතියේ මගෙන් සිදු වී තිබුණු බව කීමට කාලයයි මේ. ගේය පද රචනා කරමින් ගායනා කරන, ඒ ගීවලට සංගීතය, තනු නිර්මාණය කරන ගායකයන් පිළිබඳ සඳහන් කරමින් රූකාන්ත ගුණතිලකගේ ගී රස විඳුමකට එක් වූ මා අතින් මේ හපන්කම පාන්නන් අතර පෙරමුණෙහි ම සිටින්නා සේ සැලැකිය හැකි සිසිර සේනාරත්න ගේ නම ගිලිහී යාම පිළිබඳව කනගාටු වෙමි. ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, ආදරේ පෑ ඉරේෂා, ජෝතිපාල ගැයූ ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ, සඳ වැටුනට ඉර ගිලුනට කමක් නෑ ආදී වූ සොඳුරු ගීතාවලියක සංකල්පනා ඔහුගේ බවත්, මී වදයකි ජීවිතේ, මී පැණි පිරීලා ඇතේ වැනි අතිශයින් ජනප්‍රිය ගීතයක ගී තනුව ඔහුගේ බවත් මතකයේ සටහන්ව නොතිබීම පිළිබඳ පසුතැවිල්ලක් සිත් හි වන බව සටහන් කරනෙමි.
එහෙත් පාසල් වියේ සිටි අපගේ සිත් වසඟ කළා වූ ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීතය මතු නොව, පාසල් සමයේ දී ගුවන් විදුලියෙන් අපට ඇසුණු ගයා ගීතයන් ගමේ වෙල් එළියේ වැනි සිසිර - ඉන්ද්‍රාණි යුග ගීතයක් ද සංගීත අධ්‍යක්ෂණයට සම්මාන ලබමින්ම සිසිර ගැයූ හඳ පානෙයි, පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මන්දිරේ හෝ ආලෝකෙ පතුරා මුළු ලෝකෙ ඔපලා වැනි ගීයකින් ලද මිහිර එදවස සොඳුරු මතක මැද සිහිවටන සේ රැඳී ඇති බව දැනෙනා කල්හි එබඳු නිර්මාණ බිහිකළා වූ සොඳුරු මිනිසුන් පිළිබඳ ආදරය වඩ වඩාත් දැඩි වේ. සිසිර සේනාරත්න ගේ සංගීත දිවිය පිළිබඳ රේගු දෙපාර්තමේන්තුවේ අනුස්මරණය එවන් මොහොතකි.
දශක හතරක් ඉක්මවන සිසිර සේනාරත්න සංගීත දිවියේ ඔහුගේ ගායන පෞරුෂයේ රසික හද තුළ නිධන් ගත කොට ඇති ගායනා රැසකි. ගුවන් විදුලි සරල ගීතාවලියෙහි මෙන් ම සිංහල චිත්‍රපට නාමාවලියෙහි සොඳුරු නිමැවුම් කිහිපයක් ම තුළ සිසිර සේනාරත්න මුද්‍රාව දැක ගනු හැකිය. ගායනයෙහි දී ඔහු, ඔහුටම ආවේණික ශෛලියකට ගී ගයයි. ප්‍රේමය, ප්‍රේමයේ විප්‍රයෝගය, සොබා සුන්දරත්වය, පෙම් සිහිවටන සිසිරගේ ගීතයෙහි විෂය වේ. සරල ගේය පද රචනයකට උචිත මිහිරි තනු ඔහු අතින්ම නිර්මාණය වේ. හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය මෙන්ම එහි ගීත සඳහා ඔහු විසින් නිර්මාණය කරන ලද ස්වීය ගී තනු ද, ඔහුගේ ගායනය ද රමණීය ය. හඳපානෙහි ඇතැම් ගීතයකට අද දවසේ සවන් දෙන කල්හි හැඟීයන්නේ කෙතරම් අපූරු චිත්‍රපට ගීත රැසක් හඳපාන තුළ තිබුණා ද යන්නයි. සිසිරගේ ගායනය වර්ණවත් වීම සඳහා හර්බට් එම්. සෙනෙවිරත්න ගේය පද රචකයාගේ අර්ථපූර්ණ ගී සංකල්පනා අවියෝජනීයව බැඳී තිබුණ යුරු විස්මිතය.
ආලෝකෙ පතුරා සුර සිහින මවලා චන්ද්‍රා හෙමින් එයි නැගී ගීයෙහි පෙම්වතාගේ මුවට නංවන මේ ඉල්ලීමෙහි ව්‍යාංගාර්ථය මඳක් විමසන්න. පෙම්වතිය ‍සුව නින්දේය. ඇයගේ නින්දට බාධා වනු දැකීමට ඔහු නොරිසිය. සඳ, එළිය පතුරවමින් පායා එයි. සඳ එළිය සමඟ සුරඟනෝ රැඟුමට එති. එහෙත් සුව නින්දේ සිටින තම පෙම්වතියගේ නින්දට බාධා නොකරන්නැයි පෙම්වතා ඉල්ලයි. එය ගේය පද රචකයා පවසන්නේ කෙසේද? කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා සුර කෙල්ලනේ ඈ නිදී - මගේ මැණික සුවසේ නිදී... පා බැඳි කිංකිණි නොසොල්ලා නටන්නේ කෙසේද? එහෙත් කවියාගේ කවිතාව එයයි. පෙම්වතියගේ සුව නින්ද, පායා එන සඳවතිය, ඈ සමඟ පොළොවට බට සුරඟනන්ගේ නැටුම... මේ සියලු චමත්කාරජනක අසිරිය මැද කිංකිණි නොසොල්ලා නටන්නට කෙරෙන ඇරැයුම.
සිසිරගේ ගායනය, හර්බට් එම්. සෙනෙවිරත්න ගේ අපූර්ව ගී සංකල්පනාව සමඟ සිසිරගේ ම සංගීතය හා තනුව ඔහුගේ ගායන ජීවිතයේ මෙන්ම සිංහල චිත්‍රපට ගීතයෙහි ද සුන්දර මතක සටහනක් බවට පත්ව ඇතුවාට සැකයක් නොවේ. නිල්මිණි දෑසේ නිර්මාණශීලී ප්‍රසංග පිටපතෙන් ඇරැඹි හෝරා තුනකට නො අඩු කාලයක් තුළ අපට රසවිඳින්නට පෙළගස්වා තිබූ සිසිරගේ ගීතාවලියට නව ප්‍රාණය දුන් ජ්‍යෙෂ්ඨතම ගායක ගායිකාවෝ මෙන් ම නව පරපුරේ, මධුර ස්වර සතු වූ සිසිරගේ පෙර ගායන, සංගීත නිර්මාණ, තනු නිර්මාණ මෙන්ම ඉන්ද්‍රාණි සමඟ ගයන ලද යුග ගායනයන්ට ද නව මානයක් එක් කළහ. එහිදී මුල් ගීයක අප විඳි මිහිරට අසාධාරණයක් වනු නො දුටුවෙමු. සුරේෂ් මාලියද්දගේ සංගීත විධානය, නිල්මිණි දෑසේ කාන්තිය වර්ණවත් කළ බව සඳහන් කළ යුතු ම වේ.
අමරදේව සූරීන් සබා ගැබ ගී රස විඳිමින් සිටි මොහොතේ අපගේ වර්තමාන සුභාවිත ගායන ලෝකයේ පහන් ටැඹ සේ ආලෝකය බෙදා දෙන ආචාර්ය වික්ටර් රත්නායක ගාන්ධර්වයාගේ සිට සිසිර - ඉන්ද්‍රාණි ගී සඳහා අනුප්‍රාණය දුන් ටී. එම්. ජයරත්න, ප්‍රියා, දයාරත්න, ලක්ෂ්මන්, අමරසිරි, කීර්ති, අමල්, ප්‍රියංකර, කසුන්, චන්දන, ජානක, අතුල, ප්‍රියන්ත, ඉෂාක් හා සමීර ගායක මඬුල්ල ද දීපිකා, නිරෝෂා, නෙලූ, උරේෂා, සමිතා, ඉන්දිකා, සශිකා, කුෂානි හා චම්පාගෙන් සැදි ගායිකා වෘන්දනය ද, ජීවිතයේ සැඳෑ සමයෙහි අතීත සොඳුරු මතක මැද ජීවත්වන තම සහෝදර සංගීතවේදියා ගේ ජීවිතයට අලුත් අපේක්ෂාවක් දැල් වූ අයුරු දිටිමි.චන්න විජේවර්ධන ගේ ඇතම් නර්තන වින්‍යාසයන් ගීත සමඟ කිසිදු ගැලපීමක් නොවූ ඒවා බව කිව යුතු වේ. අනෙක් රංග වින්‍යාස ද ක්‍රිෂාන්ත හා පූර්ණිමාගේ විච්චූර්ණ රහිත (වසන්ත කුමාර කොබවක රේගු සහෘදයාගේ ප්‍රසංග පිටපත) ඉදිරිපත් කිරීම ද සිත් ගත් බව මෙහිලා සටහන් කළ යුතුය. අතුල සමිතාගේ ප්‍රසංගාත්මක යුග ගායනය මෙන් ම ඉෂාක් හා සමීර සේනාරත්නගේ ගායනය ද ප්‍රසංගයේ හැඩය වෙනස් කළ අපූරු ගායනා යයි මට හැඟිණ.
ගායනාවට ‍හපන්කම් ඇති රේගු නිලධාරීන්, නිලධාරිනියන් ද සිටින බව අපට පසක් වූයේ ප්‍රසංගය අවසන ඔවුන් ගැයූ අවිරාම ගී මාලාවට සවන් දුන් පසුවය. අශෝක රත්නායක, රංජිත් කුමාරසිංහ, ඩබ්. ඩී. ධනපාල, මහින්ද දංගම්පොල, විජිත විජේතුංග, අනුර කංකානිගේ හා කේ. පී. ද අල්විස් හා රේගුවේ පරිවාර රසික පර්ෂදයේ වෙහෙස මහන්සියට අමිල ඵල ලැබූ රාත්‍රියක් ද සහභාගි වූ රසික ප්‍රජාවම අපූරු ගී මිහිරක් ද ප්‍රසංගයේ කතානායක වූ සිසිර සේනාරත්න සුලවතාට අගනා මානසික සුවයක් ද ලබා දුන් රාත්‍රියක් විය. මුඛ්‍ය දෙසුමක් නොවූ කෙටි අදහස් පළකළ මහැදුරු කාලෝ ෆොන්සේකාගේ වදන් පෙළ මෙවන් ප්‍රසංග තුළ නීරස මුඛ්‍ය දේශන පවත්වනු ලබන්නන්ට ආදර්ශයක් වැන්න.
සිසිර වෙනුවෙන් ලේක් හවුසියේ සිනමා ප්‍රකාශනය, සරසවියෙන් කළ උපහාරය ද සිහිපත් කළ යුතුය.විජිතා ගුණරත්න, ශානිකා විතානාච්චි සමඟ අරුණ ගුණරත්නගේ උපදේශන සංස්කාරත්වයෙන් සිසිරට පිරිනැමුණු සිසිරැස කලාපය තවත් සිහිවටනයකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger