BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, December 6, 2014

දවසකට හරි හිරේ යන බවට හඳහන බලා එක් ඡ්‍යොතිෂවේදියෙක් කී කතාව එදා පුදුම විදිහට සැබෑ වුණා.

මම එක දවසකට හිරේ ගියා...ජෝතිපාල තෙබුවන

රජරට සේවයේ පාලක නිව්ටන් ගුණසේකර මහත්තයගෙන් පසුව පාලක ලෙස මම වැඩභාර ගත්තා. ගුවන්විදුලියේ ජීවිතය රසමුසු අත්දැකීම් සේම භාරදූර වගකීම පිළිබඳ බරපතළකම දනවපු සිද්ධීන්ද අත්විඳ තිබෙනවා. මිරිසවැටිය චෛත්‍යයේ ධාතු නිධානෝත්සවය දින සිද්ධියත් එවැන්නක්. 

කොහොමහරි ධාතු නිධන් කිරීමට නියමිතව තිබුණු දිනට පෙර දින රෑ චෛත්‍යයේ කොත කඩා වැටුණා. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අගමැති රණසිංහ පේ‍්‍රමදාස අතිනුයි ධාතු නිධන් කිරීමට සංවිධානය කර තිබුණේ.
මේ පුවතින් රට තුළ යම් කටකතා පැතිර ගියා. මේ මොහොතේ උත්සවයේ සජීවි විස්තර ප්‍රචාරය.....
සම්පූර්ණ නම - තෙබුවන ආරච්චිගේ ජෝතිපාල තෙබුවන.
උපන් ගම – අනුරාධපුර
උපන් දිනය – 1949-10-04
පියාගේ නම - තෙබුවන ආරච්චිගේ කරෝලිස් තෙබුවන
මවගේ නම – වීරකෝන් මුදියන්සේලාගේ බිසෝමැණිකා
ඉගෙනගත් පාසල – අනුරාධපුර මහින්ද මහා විද්‍යාලය
අධ්‍යාපන සුදුසුකම් - ශාස්ත්‍රවේදී (කලා) උපාධිධාරි, විද්‍යෝද්‍ය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරී
වෘත්තිය – ගුවන්විදුලි නිවේදක (රජරට සේවය)
හෙබවූ තනතුරු - පාලක – (රජරට සේවය), ප්‍රවෘත්ති හා වැඩසටහන් අධ්‍යක්‍ෂ (රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය)
ලැබූ සම්මාන – 1995 වසරේ ජනපි‍්‍රයම ගුවන්විදුලි නිවේදකයා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
බිරිය - හේමා ජයකොඩි
“මගේ තාත්තා දකුණු පළාතේ මතුගම බෝපිටියෙ උපන්නෙක්. අම්මා නම් උඩරට පළාතේ එකිනෙකට වෙනස් වුණු උඩරට සහ පහතරට දෙපළාතේ සංස්කෘතියේ හැඩහුරුකම් ඔවුන් තුළින් දක්නට ලැබුණත් මා තුළ පිහිටියේ අම්මාගේ ආරයයි. ඊට ගොඩාක්ම හේතුවුණේ තාත්තා රැකියාව සඳහා ගෙදරින් බැහැරව සිටීමයි.
තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේ. ඒ හින්දම තාත්තට ලංකාව වටේම තිබෙන දුම්රිය ස්ථානවල සේවය කරන්න සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තාත්තට අනුරාධපුරයට ස්ථාන මාරුවක් ලැබුණා. මේ අනුරාධපුර ගමන මගේ ජීවිතයටත් සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා. ඒ තාත්තත් එක්ක මටත් අනුරාධපුරයට පැමිණීමට සිදුවීමයි.
අම්මා ගෙදර නැවතුණා. තාත්තයි, මමයි අනුරාධපුරයට ආවා. එහිදී තාත්තා මාව අම්මාගේ පාර්ශ්වයේ ඥාති ආච්චි අම්මා කෙනෙක් ළග නවත්වා අනුරාධපුර මහින්ද මහා විද්‍යාලයට ඇතුළත් කළා.
මම පාසලට ඇතුළත් වුණේ අවුරුදු හයෙන්. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ, බෞද්ධ පාසලක් වූ මහින්ද විද්‍යාලය එවකට පළාතේ කීර්තිමත් සහ ජනපි‍්‍රය පාසලක්. මම පාසලට ඇතුළත් කළ දවසේ එවකට සිටි විදුහල්පතිතුමා අපේ තාත්තාගෙන් කදිම පොරොන්දුවක් ගත් හැටි මට අමතක නොවන සිද්ධියක්. ඒ පාසල් අධ්‍යාපනය අවසන් වනතුරුම මහින්දේ ඉගෙනගත යුතු බවයි. ඇත්තෙන්ම එතුමා ගත් ඒ පොරොන්දුව මගෙ හොඳටම බලපෑවා. උසස්පෙළ අධ්‍යාපනය දක්වාම මම ඉගෙනගත්තේ එකම පාසලකින්. අදටත් ඉතා ගෞරවයෙන් මගෙ පාසල මම සිහියට නඟනවා.
ඔය අතරේ තාත්තා සේවයෙන් විශ්‍රාම ගියාට පසුව අම්මාත් අනුරාධපුරයට ඇවිත් අපි ස්ථිරවම එහි පදිංචි වුණා. මම පවුලේ එකම දරුවා නිසා දැණුනු තනිකම පාළුව අම්මාගේ පැමිණීමෙන් යම් තරමකට මඟහැරුණා.
බිරිය හා පුතා සමඟ
1966 අවුරුද්දේ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීමෙන් මම විෂයන් අටක් සම්මාන හතරක් සහිතව සමත් වුණා. ඉන්පසු කලා අංශයෙන් උසස්පෙළ හැදෑරුවා. සිංහල බෞද්ධ සංස්කෘතිය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව යන විෂයන් මං තෝරාගත්තේ, පාසලේ පැවති විෂය නිර්දේශයට අනුවයි. ඉතිහාසය හා ආර්ථික විද්‍යාව හදාරන්ඩ මගේ හිතේ තිබුණේ ලොකු ආසාවක්. ඒ ආසාව කවදාහෝ ඉටුකර ගැනීමේ අටියෙන් මම පළමු වතාවේ මුල් විෂයන් හතර සමත් කරගෙන දෙවැනි වතාවේදී ඉතිහාසයත් ආර්ථික විද්‍යාවත් විභාගයට ඉල්ලා සමත් වුණා.
වැඩිදුර අධ්‍යාපනය සඳහා උපාධිය හැදෑරීමට මාව උනන්දුකළේ අම්මයි, තාත්තයි. ඒ අනුවයි 1970 අවුරුද්දේ දී මං විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වුණේ. උපාධි අධ්‍යාපනය සඳහා කොළඹ යාමට මට සිදුවුණා. කොළඹ නැවතිලා ඉගෙන ගන්න අතරේ මගෙ මුල්ම රැකියාවටත් මගපෑදුනා. ඒ කොටිකාවත්තේ කර්මාන්ත නිෂ්පාදන පෞද්ගලික ආයතනයක සේවය කිරීමටයි. එහිදී මගේ මුල්ම වැටුප විදිහට රුපියල් හාරසිය හැට පහක් ලැබුණා. එදා හැටියට එය සැළකිය යුතු මට්ටමේ හොඳ වැටුපක්.
එවකට මම කොළඹ සිටි සමයේ 71 කැරැල්ලේ භීෂණය තදින්ම පැවතුණා. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයන්ගේ පන්ති පවා පැවැත්වුණේ ලුම්බිණි විද්‍යාලයේ. ඒ කාලේ භීෂකයන්ට වගේම ආරක්‍ෂක අංශවලටත් තරුණ පිරිස් වහකදුරු වගෙයි. මේ හින්දා හැම පැත්තෙන්ම ආරක්‍ෂා වෙන්ඩ අපි ලොකු පරිශ්‍රමයක් දැරුවා.
1973 අවුරුද්දේ උපාධිය ලබාගත්තට පස්සේ, කොළඹ සියලු මතකයන් අමතක කරලා මං අනුරාධපුරයට ආවේ රස්සාවත් දමලයි. කොළඹ තියෙන කඨෝර බවින් මානසිකව හෙම්බත් වෙලා හිටිය මට අනුරාධපුර ගම්බද ජීවිතය ලොකු අස්වැසිල්ලක් වුණා. රස්සාවක් නැතිවුණාට මොකද මං යාළුවොත් එක්ක කුඹුරු වැඩට බැස්සා. අපිට කියලා කුඹුරු නැති වුණාට කුලියට වැඩකළා. ඉන් යම් මුදලක් මට ලැබුණා.
හැමදාම කුඹුරු වැඩ නැති නිසා ස්ථිර ආදායම් මාර්ගයක් ගැන හිතන්නට මට සිදුවුණා. ඔය අතරේ මගේ යාළුවෝ කීපදෙනෙකුගෙන් අපූරු අදහසක් ආවා. ඒ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ළමයින්ට බාහිර පන්ති කරමු කියලා. එය අපූරු අදහසක් වුණා.
ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබා...
අපේ බාහිර පන්තියට නම දැම්මේ ‘සරසවි විද්‍යාලය’ කියලා. ළමයින් අතර අපට ලැබුණු ජනපි‍්‍රයත්වය නිසාම පාසල්වලින් පවා දේශන සඳහා අපට ආරාධනා පැමිණීම ඒ උත්සාහයේ උපරිම ජයග්‍රහණයක්.
මෙතෙක් මගේ ජීවිතයේ මා ලැබූ අත්දැකීම් විශාල පෙරළියකට පත්කළේ 1979 අවුරුද්දෙන් පසුවයි. එය සැබෑවටම දෛවෝපගත සිද්ධියක් වගෙයි. කවුරුත් දැන හඳුනන පුද්ගල චරිතයක් ලෙස ජෝතිපාල තෙබුවන කියන නම ගොඩනැඟුණේ මේ සන්ධිස්ථානයේදීයි.
අපි බාහිර පන්ති කරමින් ඉන්න අතරේ දවසක් අනුරාධපුරයේ ප්‍රාදේශීය ගුවන්විදුලියක් පටන්ගන්න යන බවට ආරංචියක් ආවා. පුංචි කාලේ ඉඳන් ගුවන්විදුලියට තිබුණු ඇල්ම විතරක් නෙමෙයි ඉස්කෝලේ සමිති සමාගම්වල කතා පවත්වන්ඩ තිබුණු ආසාව නිසාම ඒ පණිවුඩයට අපි උනන්දු වුණා. ඒත් එක්කම මේ අලුත් ප්‍රාදේශීය ගුවන්විදුලියට සහන නිවේදකයන් බඳවා ගන්නා බවට ගුවන් විදුලියේ කෙටි නිවේදනයකුත් ගියා.
මමයි, මගේ මිත්‍රයෙක් වන බ්‍රැඩ්මන්ඩ් ජයවීරයි අයැදුම්පතක් හදලා තැපෑලට දැම්මා. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් අපට තිබුණේ් නෑ. ඒත් නොහිතුවට වැඩේ සාර්ථකයි, අපි දෙන්නව සම්මුඛ පරීක්‍ෂණවලට කැඳෙව්වා.
මූලික කටහඬ පරීක්‍ෂණය පැවැත්වුණේ අනුරාධපුර ගුවන් හමුදා සංඥා බලකායේ විකාශනාගාරයේ දී. එවකට රජරට සේවයේ අධ්‍යක්‍ෂ සුනිල් රාජපක්‍ෂ, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, පේ‍්‍රමකීර්ති ද අල්විස් හා ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පීන් තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. මූලික පරීක්‍ෂණ වට පහක් හයක් විතර තිබුණා. ඉන් විසිහතරදෙනෙක් අවසන් වටයට තේරුණා. අද රජරට සේවයේ සිටින ශි‍්‍රයානි සමරනායක, පාලිත නානායක්කාර, බණ්ඩාර රත්නායක, ටී. ජී. හේමලතා, ලිලී වඩුගේ වැනි ශිල්පීන් මේ විසි හතර දෙනා අතර සිටියා.
අවසන් සම්මුඛ පරීක්‍ෂණයේ විනිසුරු මඩුල්ලට එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් අමාත්‍ය සරත් අමුණුගම, එඩ්මන්ඩ් කාරියකරවන, ගුවන් විදුලියේ එවකට අධ්‍යක්‍ෂ ජනරාල් තේවිස් ගුරුගේ, විජයානන්ද ජයවීර වැනි ප්‍රවීණයන් අපි ඉදිරියේ වාඩිගෙන සිටියා. සාමාන්‍ය දැනීම, භාෂා දැනුම, ඉංගිරිසි දැනුම බලලා අපිව තෝරා ගත්තා. ඉන්පසු අපට ප්‍රායෝගික පුහුණුව ලැබුණේ කොළඹ අභ්‍යාස විද්‍යාලයේදීයි. පුහුණුවෙන් පසුව අපි සහන නිවේදකයන් ලෙස බඳවා ගත්තා.
නිවේදන කටයුතුවලදී අපි බස හැසිරවීම, නිවේදන කලාව ගුරු හරුකම් ගත්තේ රොස්මන් ප්‍රනාන්දු, ලලිත් එස්. මෛත්‍රීපාල, චන්ද්‍රා වයමන්, බර්ටි ගලහිටියාව, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර වැනි අයගෙන්.
එවකට රජරට සේවයේ සිටි සිරිල් රාජපක්‍ෂ, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශශ්‍රී සේන ගුණසේකර, පේ‍්‍රමකීර්ති වැනි දක්‍ෂ ප්‍රවීණයන් එක්ක වැඩකළ කාලය ඉතා හරවත් අත්දැකීමක් වුණා.
සහන නිවේදකයෙක් ලෙස කටයුතු කරද්දි ලැබූ අත්දැකීම් බොහොමයි. ඒ අතරින් මට ලැබුණු ප්‍රථම දැවැන්ත අභියෝගාත්මක කාර්යය මතකයට නැඟෙනවා. ඒ 1981 අවුරුද්දේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උපසම්පදා උත්සවය සජීවීව විස්තර ප්‍රචාරයට ලැබුණු අවස්ථාවයි. මල්වතු ඔය උදකුක්ඛේප සීමාමාලකයේ අති උත්සවශශ්‍රීයෙන් පැවැති මේ උත්සවයට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහභාගි වුණා. එය මගේ පළමු සජීවි විස්තර ප්‍රචාරයයි. මම එය ඉතා හොඳීන් කළ බවට සතර අතින් පැසසුම් ආවා.
මිහින්තලේ පැවති ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවේ සජීවි විස්තර ප්‍රචාරයත් අමතක නොවන සිද්ධියක්. උත්සවයට පෙර දින පෙරහුරුවක් පැවැත්වුණා. ජනාධිපතිතුමා ද සහභාගි වන නිසා අපේ පෙරහුරුව බලන්ඩ අපේ අධ්‍යක්‍ෂ ජනරාල් තේවිස් ගුරුගේ මහත්තයත් ආවා. ආධුනිකයෙක් වුණු මාව මේ විස්තර ප්‍රචාරයට තෝරා නොගන්නා ලෙස එතුමා සියල්ලෝම ඉස්සරහ අපේ පාලකතුමාට දැඩිව කිව්වා. ඒ මොහොතේ මට විශාල කණගාටුවක් ඇති වුණා. නමුත් පෙරහුරුවේදි මගේ නිවේදන හැකියාව දැකලා පුදුමයට පත්වුණු එතුමා මා දෙවැනි ශ්‍රේණියේ නිවේදකයෙක් ලෙස ස්ථිර කරන ලෙස උපදෙස් දුන්නා.
පළමු ශ්‍රේණියේ නිවේදකයෙක් ලෙස උසස්වීමක් ලැබුණාට පසුව මට පැවරුණු වගකීම තවත් පුළුල් වුණා. මේ වනවිට 1989 අවුරුද්දේ භීෂණය නිසා මාධ්‍යවේදීන්ට හතර අතින් මරණ තර්ජන නිර්නාමික ලියුම් එන්ඩ පටන් ගත්තා. එවකට අපේ පාලක විජයානන්ද ජයවීර මහත්තයා. කවුරුත් එක හඬින් එතුමට කිව්වේ රස්සාවට ඇවිත් වෙඩි කන්ඩ බෑ කියලා. අපි එහෙම කියද්දි විජයානන්ද මහත්තයා අපෙන් ඇහුව “පඩිය අරන් වෙඩි කනවද, රස්සාවට නාවොත් අපි වෙඩි තියනවා කියලා.” එතුමා එය විහිළුවට වගේ කිව්වත් ජීවිත පරදුවට තබා රස්සාව කරන ලෙසයි එතුමා ඉල්ලුවේ. අපි ඒ වචනයට පිටින් ගියේ නෑ.
යුද හමුදාවේ ආරක්‍ෂාව මධ්‍යයේ ශශ්‍රී මහා බෝධිය අසළ පුරාවිද්‍යා සංචාරක නිවාසයේ නැවතිලා අපි විකාශන කටයුතු පවත්වාගෙන ගියා. කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ගුණදාස කපුගේ හා අපි කිහිපදෙනෙක් මරණ බයයි විනෝදයයි දෙකම විඳගෙන වැඩ කළා.
රජරට සේවයේ පාලක නිව්ටන් ගුණසේකර මහත්තයගෙන් පසුව පාලක ලෙස මම වැඩභාර ගත්තා. ගුවන්විදුලියේ ජීවිතය රසමුසු අත්දැකීම් සේම භාරදූර වගකීම පිළිබඳ බරපතළකම දනවපු සිද්ධීන්ද අත්විඳ තිබෙනවා. මිරිසවැටිය චෛත්‍යයේ ධාතු නිධානෝත්සවය දින සිද්ධියත් එවැන්නක්.
කොහොමහරි ධාතු නිධන් කිරීමට නියමිතව තිබුණු දිනට පෙර දින රෑ චෛත්‍යයේ කොත කඩා වැටුණා. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අගමැති රණසිංහ පේ‍්‍රමදාස මහත්තුරු අතිනුයි ධාතු නිධන් කිරීමට සංවිධානය කර තිබුණේ.
මේ පුවතින් රට තුළ යම් කටකතා පැතිර ගියා. මේ මොහොතේ උත්සවයේ සජීවි විස්තර ප්‍රචාරයක් දීමට අපිත් සූදානම්වයි සිටියේ. අපි මේ කනගාටුදායක අවස්ථාවේදී ඉතාමත් මැදහත්ව උපේක්ෂාවෙන් මාධ්‍ය වගකීම තේරුම් අරගෙන රටේ ජනතාවට කරුණු පැහැදිළි කළා.
මේ තවත් සිද්ධියක්. එදා ප්‍රවෘත්ති කීමට භාරව සිටියේ මම. ප්‍රවෘත්ති සංස්කාරකගේ ‘නිවුස් බුලටින්’ එකේ තිබුණු විදිහටම මම ප්‍රවෘත්ති කියෙව්වා. මෙන්න පහුවදා හමුදාවෙන් ඇවිත් මා අරන් ගිහින් ෂෙල් එකට දැම්මා. බ්‍රිගේඩියර් ආනන්ද විජේසේකර මහත්තයගේ නියෝග මතයි මාව අරන් ගියේ. එවකට ත්‍රස්තවාදී කලබල හින්දා ආරක්‍ෂක රැස්වීමක් අද තිබෙන බවටයි ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්ව තිබුණේ. නමුත් අපේ නිවුස් බුලටින් එකේ තිබුණේ අද වෙනුවට හෙට කියලයි. රජරට සේවය අහපු දේශපාලන, ආරක්‍ෂක වගකිවයුත්තෝ රැස්වීම අද නෙමෙයි හෙට කියලා ආපහු ගිහින්.
මං රාත්‍රියක්ම හිරේ හිටියා. මගේ ජීවිතයේ විශාලම මානසික වේදනාව මා අත්වින්ඳේ එදා තමයි. නමුත් මගේ වැරැද්දක් නැති බව අවබෝධ කරගත් ආරක්‍ෂක අංශ මාව නිදහස් කළා. දවසකට හරි හිරේ යන බවට හඳහන බලා එක් ඡ්‍යොතිෂවේදියෙක් කී කතාව එදා පුදුම විදිහට සැබෑ වුණා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger