BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 8, 2014

ශ්‍රේෂ්ඨ කෘතියක් ද නැද්ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි....

අද ස්වයං නිර්මාණවලට වඩා පරිවර්තනවලට වැඩි ඉල්ලුමක් පවතිනවා. ඔබත් ඒ මාර්ගය ම තෝරා ගත්තේ ඒ ජනපි‍්‍රය රැල්ලට අනුගත වෙලා ද?
නෑ කොහෙත් ම නැහැ. මං ලේඛන කලාව පටන් ගත්තේ 1980 ගණන්වලදී. මං එදා ඉඳල ම පරිවර්තන මෙන් ම ස්වයං නිර්මාණත් එකම විදිහට පුවත්පත්වලට ලිව්වා. ඒ වගේම මා පරිවර්තන පොත් මෙන්ම නවකතා ද ලියා තිබෙනවා.
කුමාර සිරිවර්ධන

නව ජනපි‍්‍රය රැල්ල අනුව මා පරිවර්තන කාර්යය සඳහා එළඹුණා ය කියන එක ඇත්තක් නෙවෙයි. ඒ වගේම මම ඒ කාලෙ ඉඳල ම පරිවර්තන කාර්යය කෙරෙහි වැඩි නැඹුරුවක් මෙන්ම වැඩි කැමැත්තක් තියෙනවා. මා වැඩි වශයෙන් අත්දැකීම් ලබා ඇත්තෙත් වැඩි පළපුරුද්දක් තියෙන්නෙත් පරිවර්තන කාර්යයන්ටයි. මා පරිවර්තන තෝරා ගත්තේ ඒ නිසයි.
මම උසස් ගණයේ අලුත් නවකතාවක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා හොඳ තේමාවකුත් මා සතු ව තිබෙනවා. මේ වන විටත් මා අතින් එය හැඩ ගැන්වෙනවා. මේ වසරේදී ඒ නවකතාව එළි දකීවි. ඒ නිසා මා පරිවර්තන රැල්ලට හසුවී පරිවර්තන කෘතීන් රචනා කළා යැයි කීම කොහෙත්ම ඇත්තක් නොවෙයි.
අරාබිකරයේ මුස්ලිම් ජාතික කාන්තාවන්ට සිදුවන හිංසනයන් පිළිබඳ කතා අද බොහෝ ජනපි‍්‍රය පරිවර්තනයන්ට තේමා වී තිබෙනවා. ඔබත් එවැනි තේමාවක් රැගත් ජින් සැසන් ගේ Love in a torn land කෘතිය පරිවර්තනය කළේ ඒ අනුව ද?
නැහැ. ජින් සැසන් කියන්නේ මගේ පි‍්‍රයතම ලේඛිකාවක්. ඇගේ කෘතීන් කීපයක් ම සිංහලට පරිවර්තනය වී තිබුණා. ඒත් මං මෙහිදී දැක්ක දෙයක් තමයි ඒ කෘතීන් බොහොමයක් ම සංක්ෂිප්තයි. අනිත් එක අසංක්ෂිප්තයි නොකියා එය පරිවර්තනයක් ලෙස පාඨකයන්ට ලබාදීම බලවත් වැරැද්දක්. මෙහිදී පරිවර්තකයා මෙන්ම ප්‍රකාශකයත් බැඳී ඉන්නවා තමන්ගේ කෘතිය අසංක්ෂිප්ත එකක් නොවෙයි කියන්න. එසේ නොකියා කෘතියක් පරිවර්තනයන් ලෙස එළිදැක්වීම කෙරෙහි මගේ හිතේ මොකක්දෝ කුහුලක් තියෙනවා.
කොහොම වුණත් මගේ පි‍්‍රයතම ලේඛිකාව ජින් සැසන් නිසාම මා ඇගේ Love in a torn land කෘතිය අසංක්ෂිප්ත ව එහි අකුරක්වත් වෙනසකට ලක් නොකර පරිවර්තනය කළා.
එහෙම නැතුව ඔබ කියන පරිදි මුස්ලිම් ලබ්ධික කාන්තාවන්ට වන හිරිහැර පිළිබඳ කතාවලට වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් ඇති නිසා එය පරිවර්තනය කළා නොවෙයි.
ඒ වගේම මා 2010 දී පරිවර්තනය කළේ ජපානයේ ගේෂාවකගේ කතාවක් පිළිබඳ කෘතියක්. මා කිසි දිනක වෙළෙඳපොළ බලාගෙන කෘතීන් පරිවර්තනය කළේ නැහැ. කරන්නෙත් නැහැ.
එතකොට ගේෂාවකගේ කතාවක් පරිවර්තනය කිරීමට හේතු වූයේ කුමන කරුණක් ද?
අපි ඉස්කෝලෙ යන කාලෙ ඉතා ආසාවෙන් කියවපු පොත් දෙකක් තමයි සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා යන නවකථා දෙක. ඒවායේ සඳහන් ‘ගේෂාවක්’ කියන චරිතය අප සිත්වල හැම විටම කුතුහලයක් දැන්වූවා.
 අපේ රටේ විතරක් නෙවි වෙනත් රටවල පවා හිතන්නේ ගේෂාවක යනු ගණිකාවක කියලා. ඒත් ඒ ගැන අධ්‍යයනය කරන විට පෙනී යනවා ඔවුන් ඉන්නේ පිරිමින් කාමයෙන් පිනවන්න නොවෙයි. කලාවෙන් පිරිමින් පිනවන්න ඇත්තටම එහි අර්ථය වන්නේ කලාකාරිනියක් යන්නයි.
ගේෂාවක පිළිබඳ කෘතියක් මට හම්බ වුණා. ඒ ආතර් ගොර්ඩන්ගේ emiors of a Geisha කෘතිය ගේෂාවක් පිළිබඳ මා තුළ වූ කුතුහලය නිසාත් ගේෂාවකගේ ජීවිතය එයින් විවරණය කර තිබු නිසාත් මා එය ‘සයුරී’ නමින් සිංහලට පරිවර්තනය කළා. මට ලැබෙන ලියුම් වලින් හා ඇමතුම්වලින් මට වැටහෙනවා ඉන් බොහෝ දෙනාගේ කුතුහලයට පිළිතුරු ලැබුණු බව.
ඔබ මෙතෙක් පරිවර්තනය කළ කෘතී වලට වඩා 2010 වසරේ හොඳ ම පරිවර්තනය ලෙස රාජ්‍ය සම්මාන දිනු ජොආනා කෘතියේ ඔබ දකින විශේෂය කුමක් ද?
ජොආනා කෘතියෙන් ලෝකයටම බලපෑම් කළ ඉරාකයේ සදාම් හුසේන් ගැනත් ඉරාකයේ රට ඇතුළත දේශපාලනය ගැනත් හොඳින් විවරණය වෙනවා. විශේෂයෙන් ම සදාම් හුසේන්ගේ චරිතය ගැන අප කියවා තිබුණෙ ඔහුට එරෙහි ව බටහිර රටවල් පළ කළ අදහස්. එහෙත් ඉරාකය ඇතුළත වාර්ගික අරගලයක් තිබුණා. ඒ අරගලයේ පාර්ශව කරුවන් පිරිසක් කුර්දි ජාතිකයන්.
ඔවුන් සදාම් පාලනය හා චරිතය විවරණය කරන ආකාරය වැදගත්. මේ කෘතියෙන් ඔහු කුර්දි ජාතිකයන්ට සැලකූ අමානුෂික ආකාරය හොඳින් විවරණය කෙරෙනවා. ඉරාකය පිළිබඳ අප නොදැන සිටි බොහෝ දේ ජොආනා කෘතියෙන් හෙළි වෙනවා. මා එය පරිවර්තනය සඳහා තෝරා ගත්තේ ඒ නිසයි.
පරිවර්තකයෙක් කියන්නේ හුදු භාෂා පරිවර්තකයෙක් පමණක් නොවෙයි, ඔහුත් නිර්මාණශිලී ලේඛකයෙක් විය යුතු යැයි ඔබ විශ්වාස කරනවා ද?
ඇත්තෙන්ම ඔව්. වචනයෙන් වචනයෙන් පරිවර්තනය කිරීම නොවෙයි කථා පරිවර්තකයකුගේ කාර්යය වෙන්නේ. ඔහු නිර්මාණශිලී ලේඛකයෙක් මෙන්ම ගණිතඥයෙක් හැටියට මා දකිනවා. ඊට හේතුව මේකයි. අපි ගණිතය ඉගෙන ගන්න කොට ය හා ර යොදා සමීකරණයන් විසඳද්දී ය වල මෙන්ම ර වල අගයන් දැනගන්න ඕන. ඒ වගේම පරිවර්තකයොත් භාෂා දෙකම හොඳට දැනගන්න ඕනැ.
ලියන කතාවේ එන ඉංගී‍්‍රසි වචනයකට එකම තේරුම දෙන සිංහල වචන කීපයක්ම තියෙන්නට පුළුවන්. එවිට පාඨකයන්ට එය සුන්දර ව හා සරල ව පාඨකයන්ට වටහා දෙන්නට සුදුසුම වචනය තෝරාගන්න ඕන. එහිදී පරිවර්තකයා ගණිතඥයෙක් වෙනවා. ඒ සඳහා පරිවර්තකයා මුල් කතාව කීප වතාවක්ම කියවා රස විඳිය යුතුයි. මා රස විඳින්නෙ නැතුව අවංක ව පාඨකයාට කෘතියක් දෙන්න බැහැ. ඒ නිසා මා පළමුව ඒ කෘතිය රස විඳිනවා.
ඒ වගේ ම මා එකඟ වන්නේ නැහැ කිසියම් ප්‍රකාශකයකු තෝරා දෙන කෘතියක් පරිවර්තනය කරන එක ගැන.
ගැඹුරු මානුෂීය විවරණයක් කරන නවකතාවලට වඩා මෙවැනි මිනිස් සන්තානයන් කලඹවන නවකතා බිහිවීමේ හා පාඨකයා ඒවාට නැඹුරු වීමේ ප්‍රවණතාවයට බලපෑෑ හේතු කවරේ ද?
අද මාධ්‍යයන් ගේ හැසිරීම. රූපවාහිනි සිනමාව වගේ සියලුම කලා මාධ්‍යයන් ගේ හැසිරීම මේ සඳහා බලපානවා. එදා නවසිය හැට හැත්තෑව දශකයේ සිටිය පාඨකයන් හෝ සිනමා පේ‍්‍රක්ෂකයන් නොවෙයි අද ඉන්නේ.
මෙය කාලයත් එක්ක වෙනස් වෙච්ච දෙයක්. මං හිතනවා මීට හේතුව මිනිස්සුන්ට ඇති අවිවේකය. ඒ අවිවේකය නිසාම ජනතාව ඉතා ඉක්මණින් රස විඳිය හැකි කම්පනයක් ලබාගත හැකි දේ කෙරෙහි නැඹුරු වෙනවා. මෙයින් මා අර්ථ දක්වන්නෙ නැහැ ගැඹුරු විවරණයක් සහිත පොත් පාඨකයා අතින් මුළුමනින් ම ගිලිහිලා කියලා, හෝ ප්‍රතික්ෂේප වෙලා කියලා.
ඒ වුණත් අද ඉන්න බහුතරයක් එවන් සරල කම්පනයන් වලින් රස වින්දනයක් ලබන අයයි. හැබැයි පරිවර්තකයකුගේ කාර්යය වන්නේ, පාඨකයා කෙරෙහි එවන් කම්පනයක් ඇති කිරීම පමණක් නොවෙයි. එයින් යම් ලේඛකයකු හෝ ප්‍රකාශකයකු වෙළෙඳපොළ වාසියක් ලබා ගන්නවා නම් එයත් වරදක් ලෙසයි මා දකින්නෙ. එවැනි කම්පනයක් හරහා කිසිවක් ගැඹුරින් විවරණය නොකර හෝ පාඨකයා සිටි තැනින් තවත් අඟල් කීපයක් හෝ ඔසවා තැබිය හැකි නම් ඔවුන්ට යම් අවබෝධයක් ලබාදිය හැකිනම් සිදුවිය යුත්තේ එයයි.
අපි කාලයත් සමඟ අනුගත විය යුතුයි. එහෙම නැතුව අපට මොන තර්ක කළත් යමක් ගැඹුරින් විවරණය කරන පොත් විකිණෙන්නෙ නැත්නම් ඒවා පාඨකයා තුරුලු කරගන්නේ නැත්නම් ඒවා පාඨකයාට සමීප වන්නේ නැත්නම් ඒවා ලියන එකේ තේරුම මොකක් ද?
මට මතකයි ගුණදාස ලියනගේ පරිවර්තනය කළ “දෙව්දුරුඅරටු” පොතේ තියෙන කතාවක්.
කවියන් දෙදෙනෙක් මුණ ගැහෙනවා අතරමගදී. එක කවියෙක් අහනවා ඔබ මොනවද ලිව්වෙ කියලා ‘මං මහා කාව්‍යයක් ලිව්වා’ අනෙක් කවියා කියනවා. ‘කෝ දැන් ඒ පොත’ ‘ඒක පුස්තකාලයේ දුහුවිලි බැඳි බැඳි තියෙනවා’ මහා කවියාගේ උත්තරය ඒකයි.
‘ඔබ මොනවද ලිව්වේ’ මහා කවියා අහනවා. ‘මං පොඩි දරුවන්ට කවියක් ලිව්වා’ ‘කෝ ඒක’ ‘දැන් පොඩි දරුවන් අතර ඒ කවිය ජනපි‍්‍රයයි’ අනෙත් කවියාගේ උත්තරය එයයි.
මා කියන්නේත් ඒකමයි. පාඨකයා පිළිගන්නා දෙයක් අපි ඔවුන්ට දිය යුතුයි. හැබැයි කුණු ගොඩවල් නෙමෙයි. පාඨකයාට දිරවන්නෙ නැති අපේ මතවාදවල හිර වෙලා පොත්පත් ලියන එක ගැන මගේ නම් එකඟතාවයක් නැහැ. අපි ඉන්නේ පාඨකයන් සමඟ. අප ජීවත් කරවන්නේ පාඨකයන්. ඔවුන් සිටින තැනින් අඟලක් හෝ ඔසවා තැබිය හැකි නිර්මාණ කරන්න මං හැමදාමත් කැමතියි.
අද සමහර පරිවර්තන කතාවලට පහත් ලිංගික කරුණු අරමුණු වී තිබෙනවා. ඒවා ගැන රුචිකත්වයෙන් පාඨකයා මුළා වීමක් ද එතැන සිදුවී තිබෙන්නේ?
මෙහෙමයි මං පාසල් කාලයේ ඩීමන් ආනන්දගේ පොත් කියවා දඬුවම් විඳි ශිෂ්‍යයෙක්. ඒ වගේම මං මාර්ටින් වික්‍රමසිංහගෙ සරච්චන්ද්‍රගේ නවකතා මෙන්ම අතට අසුවූ සෑම නවකතාවක්ම කියෙව්වා.
මං දකින්නේ යම් යම් කාලවලදී ඔය එක එක රැලි එනවා. ඒවා පාඨකයා විසින් ම ප්‍රතික්ෂේප කරනවා. හොඳ දේ ඉතිරි වෙයි. අද ඔය තියෙන රැලි ගැනත් මට කියන්න තියෙන්නෙ එච්චරයි.
ඒක මතයක් තමයි අද පරිවර්තන කෘතිවලට වැඩි ඉල්ලුමක් තියෙනවයි කියන එක ඇත්ත. පරිවර්තනවලට වැඩි ඉල්ලුමක් තියෙන්නෙ සාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණ හිඟ හින්දයි. ඒ වගේම පරිවර්තන කෘතීන්වල ප්‍රමිතීන් ගැනත් ගැටලු තියෙනවා.
මං ඒ බව පිළිගන්නවා. ඊට හේතු වන්නේ පරිවර්තන කාර්යය හරිහැටි නොදන්නා බොහෝ අය ද පරිවර්තන කාර්යයට එළඹිලා සිටීමයි. අවසාන වශයෙන් හරි දේ කළ අය ඉතිහාසය විසින් ඉතිරි කරාවි අනිත් අය කුණු ගොඩට යවාවි. මෙය ඉතිහාසය පුරාම සිදුවූ දෙයක්. ඉතින් ඔය දේවල් ගැන කලබල නොවී තම තමන්ගේ කාර්යයන් හිතට එකඟව කැපවීමෙන් කරගෙන යන එකයි මගේ නම් දර්ශනය.
ඔබ දැන් පරිවර්තන කාර්යයන්ට අතගහලා වසර 30 ක් පමණ වෙනවා. මේ කාලය ඇතුළත පරිවර්තන කලාවේ යම් වෙනසක් හෝ ප්‍රගමනයක් ඔබ දකිනවා ද?
ඔව් මා විශාල ප්‍රගමනයක් දකිනවා. මං මෙතනදි ලේඛකයන්ගේ පරිවර්තකයන්ගේ නම් සඳහන් කරන්නෙ නැහැ. ඒත් පරිවර්තන කෘතිවල වෙනසක් දකිනවා. නවසිය හැත්තෑව අසූව දශකවල කෘතීන්ට වඩා අද කෘතිවල සිංහල ලේඛන ශෛලියේ යම් වෙනසක් ඇති වෙලා. එය මා දකින්නේ ධනාත්මක වර්ධනයක් හැටියටයි. එදා සිදුවෙලා තියෙන්නේ කෙළින්ම කළ පරිවර්තන (Direct Translation)  අද ඊට වඩා හොඳ නිර්මාණ ශෛලියකින් ලියැවෙන පරිවර්තන කෘති තියෙනවා. ධනාත්මක වර්ධනයක් කියලා මා කීවේ ඒකයි.
තවත් එකක් තමයි ඒ කාලෙ පරිවර්තනයන්ට ලක්වුණේ තෝරාගත් කෘතීන්. සමහරවිට ශ්‍රේෂ්ඨ යැයි සම්මත විදේශීය කෘතින් පමණක් යැයි කීවොත් නිවැරැදියි. අද එහෙම නොවෙයි. අද ලෝකයේ කොහේහරි බිහිවන කෘතීන් හෙට පරිවර්තනය වෙනවා. එතැනදී එය ශ්‍රේෂ්ඨ කෘතියක් ද නැද්ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි. පාඨකයන්ට යම් රසයක් දැනුමක් හෝ අලුත් අත්දැකීමක් ලබාදිය හැකි කෘතීන් අද පරිවර්තනය වෙනවා.
ලංකාවේ බොහෝ පාඨකයන්ට ඉංගි‍්‍රසි දැනුම මඳ නිසා ඉංගි‍්‍රසි පොත පත පරිහරණය කරන්නට අසීරු වී තිබෙනවා. ඒ නිසා සමකාලීන ලෝකය දකින්නට අවබෝධ කරගන්නට නම් ඒ, ඒ, රටවල ලියැවෙන සමකාලීන කෘතින් පරිවර්තන මඟින් කියවන්නට ලැබෙනවා නම් හොඳයි.
ඒත් එහිදී තවත් ගැටලුවක් පැන නඟිනවා. විදේශීය කෘතියේ හිමිකම් පිළිබඳව. අපේ රටේ නීතිය අනුව විදේශීය රටක පොතක් ප්‍රකාශයට පත්වී වසර ගණනාවක් බලා ඉන්න වෙනවා එය පරිවර්තනය කරන්න. එසේ නැත්නම් විදේශීය සමාගමට වැඩි මුදලක් ගෙවන්න වෙනවා හිමිකම් වෙනුවෙන්.
රජය ඒ වගේ දෙයකට මැදිහත්ව පොත්වල හිමිකාරිත්වය ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සලසනවානම් අගය කරනවා.
සමහරවිට විදේශීය පොත් ප්‍රකාශකයන් අප කෙලින්ම කතා කළොත් අඩු මුදලකට හිමිකම් පවරාදීමට එකඟ වුණත් මෙහි සිටින ඔවුන්ගේ දේශීය නියෝජිතයන් හා තැරැව්කරුවන් ඒවාට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ඒවාට වැඩි මුදලක් ඉල්ලන්නට කටයුතු කරනවා. එය වැරැදියි.
ඒ වගේම අපේ ඇතැම් පරිවර්තකයනුත් වරදක් කරනවා. ඒ හිමිකම් ප්‍රශ්නයෙන් බේරෙන්න ඔවුන් තම පොතේ මෙය අසවල් පොතේ පරිවර්තනයක් යැයි සඳහන් කරන්නේ නැහැ. මුල් කෘතිය සඟවා පරිවර්තනය කෘතිය පළ වෙනවා. එයත් වැරැදි දෙයක්.
රජය මැදිහත් වී හෝ විදේශීය ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් සම්බන්ධීකරණය කොට ලේඛකයාට පහසු ගාස්තුවකට හිමිකම් ලබාදීමට කටයුතු කරනවා නම් හොඳ දෙයක්.
මෙයින් ප්‍රකාශකයා ලාබ ගන්නවා යැයි කුහක සිතිවිල්ලක් සිතනවානම් වැරැදියි. විවාදයක් නැහැ ප්‍රකාශකයන් ලාබයක් ලබා ගන්නවා. ඒ අතරම ලේඛකයාටත් මුදලක් ලැබෙනවා. පාඨකයන් සමකාලීන ලෝකය ගැන දැනුම්වත් වෙනවා. අපට එක් එක් නීතිරීති මඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ලෝකයත් සමඟ ඉදිරියට නොගොස් පිටුපසට ඇදී යාමයි. ඒ නිසා යල් පැනපු නීති ඉවත් කොට ලේඛකයාට හා ප්‍රකාශකයාට පහසුකම් ලබාදී ලෝකයත් සමඟ සමගාමී ව ඉදිරියට යාමට සැලැස්වීමයි වැදගත් වන්නේ.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ කෘතීන් කීපයක් ඉංගි‍්‍රසියට පරිවර්තනය කොට සම්මාන ලත් ප්‍රවීණ පරිවර්තකයකු වන එඩ්වඩ් ජයසූරිය මහතා මුවදොර වදනට පවසා තිබුණා ශ්‍රී ලංකාවේ හොඳ පොත් ඉංගි‍්‍රසියෙන් පළ කිරීමේ වැදගත්කම ගැන. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද? විශ්ව සම්භාවනාවට පාත්‍රවිය යුතු මට්ටමේ පොත් ලංකාවේ බිහි වී තිබෙනවා ද?
එය ඉතා ම වැදගත් කටයුත්තක්. ඒත් මීට මැදිහත් වන්නේ කවුරුන් ද? ඉංගි‍්‍රසියෙන් කෘතියක් ලියා මේ රටේ වෙළෙඳපොළ ලාබයක් ගන්නට බැහැ. ඒ සඳහා විදේශීය ග්‍රන්ථ ප්‍රකාශන සමාගම්වල පිහිට පතන්නට වෙනවා. ඇත්තට ම ඉංගි‍්‍රසි පාඨකයන් අතර විදේශයන්හි ජනපි‍්‍රය විය හැකි ශ්‍රේෂ්ඨ කෘති ශ්‍රී ලංකාවේ සිංහලෙන් ලියැවී තියෙනවා.
මෙහිදී තවත් එකක් කියන්න පුළුවන් මේ රටේදී සිංහල පරිවර්තකයෙක් පොතක් පරිවර්තනය කළාම මැසිවිලි නඟන ඇතැම් විදේශීය සමාගම්වල නියෝජිතයන්ට මේ කාර්යය කරන්නට පුළුවන්. ඔවුන් මැදිහත්ව මෙරට ඉන්නා ඉංගී‍්‍රසි උගතුන් ලවා සිංහල කෘති ඉංගි‍්‍රසියට පරිවර්තනය කොට සිය මව් සමාගම් මඟින් විදේශයන්හි අලෙවි කොට අපේ රටටත් විනිමය ලබාදීමට පුළුවන්කම තියෙනවා. එය හොඳ වැඩක්.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger