ගුවන් සමාගම 2012දී රුපියල් කෝටි 12,141ක හෙවත් රුපියල් මිලියන 121,407.66ක පමණ ආදායමක් ලබා ගෙන ඇති අතර, එම වසරේ මෙහෙයුම් වියදම රුපියල් කෝටි 14,396ක් (රුපියල් මිලියන 143,961.21) පමණ වන බවද වාර්තාවේ දැක්වේ. තවදුරටත් එහි දැක්වෙන්නේ ගෝලීය ගුවන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ දිගින් දිගටම සිදුවන අවපාතයන්, ඉන්ධන
මිල ගණන් ඉහළයෑම, යුරෝපයේ ආර්ථික පසුබෑම, ආයතනයේ ගුවන් යානා ඇණිය ව්‍යාප්ත කිරීමට හා නවීකරණය කිරීමට ආයෝජන ප‍්‍රමාද වීම් මේ අලාභයට බලපා ඇති බවය.
මේ අතර, ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරන්නේ එමිරේට්ස් ගුවන් සේවය 2012 වසරේදී සිය ආදායම ඩොලර් මිලියන 622ක් ලෙස සටහන් කළ මුත් 2013දී එය ඩොලර් මිලියන 887ක් බවට පත්කරගෙන ඇති බවයි. එය සියයට 43ක ආදායම් වර්ධනයකි. ඉන්ධන මිල සියයට 4කින් පහළ යද්දී ගුවන් මගීන් සංඛ්‍යාව සියයට 13කින් වැඩිවීම නිසා මේ ලාභය අත්වුණු බව එමිරේට්ස් කියයි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හුවා දක්වන අලාභයට හේතු (ඒවා ඇත්ත නම්)එසේම තිබෙන ගෝලීය තත්ත්වයන් මත එමිරේට්ස් ලාභ ලබන්නේ කෙසේද යන්න සැලකිය යුතු කාරණයකි.
එහෙත් එජාප මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ ශ‍්‍රී ලංකන් පාඩුවට හේතුව ඥාති සංග‍්‍රහය බවයි. නිසි පෙර දැක්මක් නොමැතිවීම හෝ පළපුරුදු නැති පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්වීම ගුවන් සේවය අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු ලැබීමට ප‍්‍රධාන හේතුව බව ඔහුගේ මතයයි. ඒ පාඩුවද වසරින් වසර වැඩිවෙයි.
ආණ්ඩුවට 94.68%ක් හා සේවකයන්ට 5.32%ක කොටස් හිමිකාරත්වය ඇති ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වන්නේ නිශාන්ත වික‍්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපති බිරිඳ ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂගේ සොහොයුරාය. අට දෙනකුගෙන් යුක්ත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයකු වන්නේ ශමීන්ද්‍ර රාජපක්‍ෂ මහතාය. ඔහු කතානායක චමල් රාජපක්‍ෂගේ පුත‍්‍රයකු වන අතර ඌව ප‍්‍රධාන ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂගේ සොහොයුරාය. ඒ අනුව ශ‍්‍රී ලංකන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඍජු රාජපක්‍ෂ සංයුතිය හතරෙන් එකකි.
ශී‍්‍ර ලංකන් ගුවන් යානා 22ක් හා සේවකයන් 6600කින් සමන්විත ගුවන් සේවයකි.
ජනමාධ්‍ය නිදහසේ වෙළඳ දැන්වීම
පසුගිය මැයි 3වැනිදාට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහසේ දිනයදා ඬේලි මිරර් පුවත්පත සිය මුල් පිටුව කණපිට හරවා මුද්‍රණය කොට තිබීම රටේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආන්දෝලනයක් ඇතිකළේය. ලංකාවේ මාධ්‍ය නිදහසක් නැතැ’යි යන්න සංකේතවත් කිරීමට ප‍්‍රධාන පෙළේ පුවත්පතක් ගත් නිර්භීත පියවරක් හැටියට සමහරුන් ඒ ගැන උද්දාමයෙන් කතාකළ අතර විරෝධය පෑ යුතු අවස්ථා සිය ගණනක් පසුගිය කාලයේදී ඇතිවූ විටත් කිසිවක් නොකර හදිසියේ මෙවැන්නක් කිරීම විහිළුවක් බව තවත් සමහරු කීහ.
කෙසේ වෙතත්, එය රටේ ප‍්‍රධාන පෙළේ වෙළෙඳ දැන්වීම් ආයතනයක් ඬේලිමිරර් පුවත්පතට කළ යෝජනාවක් අනුව කළ දෙයක් බව දැන් අනාවරණය වී තිබේ. එම වෙළෙඳ දැන්වීම් ආයතනය වන ‘සර්වා ඉන්ටගේ‍්‍රටඞ්’ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ‘මේ මුල්පිටුව නොපිට හැරවීමේ කාරිය පිටුපස සිටි වෙළෙඳ දැන්වීම් ආයතනය වීම ගැන සර්වා ඉන්ටගේ‍්‍රටඞ් ආඩම්බර වන බව’ය. එසේම, මේ අදහස මුළු හදවතින්ම භාරගැනීම ගැන ඬේලිමිරර් කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන බවය. ජාතික පුවත්පතකට සිය පුවත්පතේ නම, ප‍්‍රවෘත්ති හා වෙළෙඳ දැන්වීම් ඇතුළු මුල් පිටුව නොපිටට හරවා පළකරන්නට තිබූ ධෛර්යය ගැන තම ආයතනය ස්තූතිවන්ත වන බවද එහි තවදුරටත් දැක්වෙයි.
ජනමාධ්‍ය නිදහසේ දිනය වෙනුවෙන් මේ වික‍්‍රමය කරන්නට ඬේලිමිරර්ට උපදෙස් දුන් සර්වා ඉන්ටගේ‍්‍රටඞ් ආයතනය, ට‍්‍රයැඞ් නමින් ලංකාවේ ප‍්‍රකට වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යන දිලිත් ජයවීර හා වරුණි අමුණුගමටම අයත් තවත් දැන්වීම් ආයතනයක් බව ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග පෙන්වාදෙයි. දිලිත් ජයවීර මහතා පසුගිය කාලයේ අලූත් ව්‍යවසායකයකු ලෙස විශේෂයෙන් ලංකාවේ හෝටල් ක්‍ෂෙත‍්‍රයේත් වෙනත් ක්‍ෂෙත‍්‍රවලත් කොටස් අයිතිය හිමිකරගනිමින් හදිසියේ මෙන් ඉදිරියට ආවෙකි. පසුගිය විස්සයි 20 ලෝක ශූරතා තරගයේ අවසන් තරගය ජනාධිපතිවරයා නැරඹුවේද දිලිත් ජයවීර මහතා අලූතෙන් විවෘත කළ හෝටලයක පළමු කාමර අමුත්තා බවට පත්වෙමිනි. පසුගිය යුද්ධ සමයේ හමුදාවට තරුණයන් බඳවාගැනීම දිරිගන්වනු සඳහා ‘අපෙන් එකෙකි මේ මිනිසා’ යන ප‍්‍රකට වෙළෙඳ දැන්වීම නොමිලේ ආණ්ඩුවට නිර්මාණය කරදුන්නේද ජයවීර මහතාගේ ට‍්‍රයැඞ් ආයතනය විසිනි.
ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ සිය මුල් පිටුව කිසියම් නිශ්චිත කරුණකට විරෝධය පෑම සඳහා චේතනාන්විතවම වෙනස් විදියකට පළකොට ඇත්තේ රාවය පමණකි. සරත් එන් සිල්වා අගවිනිසුරුවරයා ලෙස පත්කළ 1999දී ඔහු දිවුරුම් දෙන ඡුායාරූපය උඩුයටිකුරු කර පළකළ රාවය ‘අධිකරණ නිදහසේ මළගම’ යන සිරස්තලය යොදා එදින මුල් පිටුව මුළුමනින්ම කළු කළේය. දෙවැනි වරට රාවය මුල්පිටුව මුළුමනින්ම කළු කොට පළකරනු ලැබුවේ 2009දී සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළ අවස්ථාවේදීය. එහි සිරස්තලය ‘ලසන්ත බිලිගනී’ යනුවෙන් විය. මේ දෙකම රටේ මාධ්‍ය නිදහසට හා සමාජයට එරෙහිව එල්ලවූ අභියෝගයන්ට සත්‍ය ලෙසම විරෝධය දැක්වීමට පුවත්පතක් හැටියට කළ වෑයම් ය.
පාර්ලිමේන්තුවෙන් ඉල්ලූ 80 නොදුන් අධිකරණය
සිගරට් පැකට්වල මතුපිට ඉඩ ප‍්‍රමාණයෙන් 80%ක ප‍්‍රමාණයක් දුම්බීම අධෛර්යමත් කරන පිළිකා ආදිය දැක්වෙන රූපමය අවවාද මුද්‍රණය කිරීමට නියම කරමින් පාර්ලිමේන්තුව විසින් 2012 මැයි මාසයේ ඒකමතිකව සම්මත කළ ගැසට් පත‍්‍රයක නියමයන් වෙනස්කරමින් පසුගිය සතියේ අභියාචනාධිකරණය දුන් තීන්දුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල බෙදීමේ ගැටලූව පිළිබඳ තවත් අලූත් උදාහරණයක් වෙයි.
43වැනි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායකට එරෙහිව පාර්ලිමේන්තුව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව බලරහිත බවට අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට, අධිකරණයට පාර්ලිමේන්තුවට නියමයක් කිරීමේ බලයක් නැතැ’යි කී ආණ්ඩුව නීති විරෝධී දෝෂාභියෝගය ඉදිරියට ගෙනගියේය. එහෙත්, පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ ගැසට් නියෝගයක නියමයන් වෙනස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ආණ්ඩුව හිස නමා පිළිගත්තේය. අභියාචනාධිකරණය කීවේ රූපමය අවවාද පළකිරීමට ඉඩදිය හැක්කේ 50%ත් 60%ත් අතර ප‍්‍රමාණයක් බවය. සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන එයින් සෑහීමට පත්නොවන නමුත් අධිකරණ තීන්දුව පිළිගන්නා බව කී අතර නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක අධිකරණ තීන්දුවෙන් සෑහීමට පත්වී එය පිළිගන්නා බව මාධ්‍යවලට කීවේය.
සිගරට් පැකට්වල 80%ක කොටසක රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012දී ගෙන එන ලද රෙගුලාසිවලට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැ’යි දුම්කොළ සමාගම විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. සෞඛ්‍ය ඇමතිවරයා විසින් පනවන ලද රෙගුලාසිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ සැප්තැම්බර් 20 දා අතුරු තහනම් නියෝගයක් ලබාදුන් අතර එය 2014 ජනවාරී මස 22 දක්වා බලපැවැත්විණ.
ඒ අතර, රූපමය අවවාද අඩංගු කළ යුතු බවට නියෝග සහිත අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ජනවාරි 24 වැනිදා සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය මiසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ බව වාර්තා විය. ඒ අනුව යළිත් වරක් දුම්කොළ සමාගම අභියාචනාධිකරණයට ගිය අතර, 50%ත් 60%ත් අතර අවවාද මුද්‍රණය කළ හැකි බවට නියමය ලැබුණේ එහිදීය.
ආණ්ඩුව දුවන්නේ සිගරට්වලින්
මේ අතර මාස තුනකදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 15.9ක් බදු වශයෙන් ගෙවා ඇතැ’යි එම සමාගමේ 2014 මාර්තු කාර්තුවේ ගිණුම් ප‍්‍රකාශ හෙළිකරයි. මෙය 2013 මාර්තු කාර්තුවට වඩා රුපියල් මිලියන 800ක වැඩිවීමකි.
සමාගම විසින් 2014 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 2.03ක ලාභයක් වාර්තාකර තිබෙන අතර මෙම කාලයේදී සිගරට් අලෙවිය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 3.6කින් අඩුවී ඇත. 2013 මුල් කාර්තුවේදී සමාගම ලබා තිබුණේ රුපියල් බිලියන 1.4ක ලාභයකි. සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිගරැුට් අපනයනය කිරීමෙන් ලැබූ ආදායම මාර්තු කාර්තුවේදී වර්ධනය වූ බවත් මෙම ආදායම වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩවම කටයුතු කරන බවත්ය.
කතානායක බහින්න පෙර මල්ලිට කියන්න
පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමතිවරුන් සභාගැබේ නොසිටින්නේ නම් තමා මූලාසනයෙන් බැස යන බවට කතානායක චමල් රාජපක්‍ෂ පසුගිය සතියේදී තර්ජනය කළේය.
ඇමතිවරුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇති අවස්ථාව පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ඉතා වැදගත් ලක්‍ෂණයක් වන අතර, ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට හා උත්තරදීමට බැඳී සිටින්නේය යන මූලධර්මය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන එක් අවස්ථාවක් වන්නේද එයයි. එහෙත්, නිරන්තරයෙන්ම විරුද්ධ පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් නැගෙන චෝදනාව වන්නේ, ඇමතිවරුන් තමන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නොදෙන බවත්, නිසි පිළිතුරු නොදෙන බවත්, පිළිතුරු දීම සඳහා අසාධාරණ ලෙස කල් ගන්නා බවත්ය. මේ තත්ත්වය බලාසිටිනු බැරි නිසා කතානායකවරයා ඉහත පරිදි පවසන්නට ඇත.
එරහෙත්, ප‍්‍රශ්නයට පිළිතුර මුලසුනෙන් බැසයෑම තරම් අමාරු එකක් නොවේ. කතානායකවරයා කළයුත්තේ සිය බාල සහෝදරයාට ඒ ගැන කීමය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියයි. කැබිනට් මණ්ඩලය පත්කරන්නේද ඔහුය. එහි ඉන්නේ ඔහුට අවශ්‍ය අයය. ඉතින් කැබිනට් ඇමතිවරුන් ප‍්‍රශ්නවලට පිළිතුරුනොදෙන්නේ නම්, එහි වගකීම භාරගත යුත්තේ කැබිනෙට්ටුටේ නායක ජනාධිපතිවරයාය. මේ නරක තත්ත්වය ගැන කල්පනා කරන්නට ජනාධිපතිවරයාට ඉඩක් තිබේ නම් ඔහු කළ යුත්තේ, සෑම කැබිනට් ඇමතිවරයකුම අනිවාර්යයෙන්ම මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවටත්, එසේ නොකරන අයගෙන් නිදහසට කරුණු අසන බවටත් නියමයක් කිරීම පමණකි.
එහෙත් එවැන්නක් සිදුනොවේ. ප‍්‍රශ්නය ඇත්තේ එතැනය.
Post a Comment