“ඉතින් බාප්පෙ ඔය තරම්ම තෙල් බෙහෙත් ජාති ගහල වවන ඔය එළවුළු කන්න හොඳ ද?”
මදෙස බැලු ඔහු සිනාසුණේ සැකමුසු මුහුණක් දරාගෙන.
“විසයි කියල නං කියල තියෙනවා තමා. ඒත් ඉතිං මේ තෙල් බෙහෙත් හදල තියෙන්නෙ පැළ වලටයි ඒවා හානි කරන සත්තුන්ටයි මිසක් අපට නෙවෙයි නේ. ඉතින් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? පුතේ, අපි පුංචි කාලෙ ඔය තෙල් බෙහෙත් මොකුත් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට දැන් ඕව නැතුව කිසිම වගාවක් අහන්නේ නෑ. පිටි මකුණා කියන සතා පුංචි වුණාට බැරි වෙලා හරි බෝ වුණොත් මං වගේ මිනිස්සුන්ට යන්න වෙන්නේ ගස් තමයි. එහෙම වුණොත් පොළොවත් එක්ක හැප්පුණු මට ඉතිරි වෙන්නේ හුළං තමයි.”
ඔහු සිටියා අප එන තෙක්...
නෑ සෙනඟ අවට පිරිවරාගෙන, සිහින් කැල්මකින් මුහුණ දල්වාගෙන, ඇඳ විට්ටමට වාරු දී ඔහු සිටියා අප එන තෙක්.
ඔහු රැඳුණු වාට්ටුව සොයා ගැනීම අපට එතරම් අපහසු වුණේ නැහැ. මේ රෝහලත්, මේ වාට්ටුවත්, මට නුහුරු නුපුරුදු තැනක් නොවේ. පින්කම් සේම, අනෙකුත් පර්යේෂණ මතක සටහන් ද සමඟ මම හෙමින් හෙමින් රෝහල් බිමේ සක්මන් කළා. මෙතරම් සොවින් මා කම්පනය කළ මොහොතක් පෙර වී ද?
සුපුරුදු ළතෙත් දයාර්ද්‍ර බව ඔහුගේ සිනහවෙහි නොඅඩුව රැඳුණා. ගන රැවුලින් වැසුණු ඒ වතෙහි තේජස තවමත් එලෙසම දිදුලමින් තිබුණා. එහෙත් කුමක් හෝ අඩුවක් මට දැනුණා.
ඔහු අප සමඟ සිනහ වූයේ සිතේ තෙරපුණු රිදුම් සඟවන්නට ද?
ඒ ජනවාරි 26, අම්මාගේ උපන් දිනයත්, මගේ සිවුවැනි කෘතිය එළිදැක්වීමත්, අප සමරන්නට ලක ලැහැස්ති වෙමින් සිටියා.
‘ගහකොළට ආදරය කළ මිනිසා’ ලෙස පොත නම් කොට, ඒ මිනිසාට ම පුද දෙන්නට මම තීරණය කළා. තමා ගැන ලියැවුණත්, අමරජීව බාප්පා මගේ පොත නොකියවන බව මම දැන සිටියා. පොතක් පතක් හෝ පත්තරයක් හෝ කියැවීම ඔහුට නුපුරුදු සිරිතක්. ඒ නිසාම දේශපාලනය, සමාජ කඩා වැටීමක් ගැන යම් හෝ අවබෝධයක් ඔහුට තිබුණේ නැහැ.
වසරින් වසර වියෙන් වැඩුණු මගේ දිනචරියාවේ වැඩි කොටසක් ගෙවුණේ ලිවීමට හා කියැවීමට. අප දෙදෙනා ගමන් කළේ දෙමඟක කියා දැනුණත්, තවත් විටෙක දැනුණේ මා ඔහු පසුපසින් ඉව අල්ලමින් කොහේ හෝ යන සෙයක්. ඔහුගේත් මගේත් ලෝකය සියුම් හුයකින් වෙලී තියෙනු මට දැනුණු වාර අපමණයි.
“කප්පරක් වැඩ තියාගෙන වුණත් උඹ මං ගැන පොතක් ලියපු එක ගැන මට හරි ආඩම්බරයි පුතේ.”
ඔහු එසේ කීවේ මා තදින් බදාගෙන.
යන්තම් මෝදු වෙන හිරු රැසින් දිලිසෙන ඔහුගේ ගත දෙස මම බලාගෙන සිටියා. අක්කර දහයක වතු යායක තැනින් තැන වුණත් අමදින එක සුළුපටු කරුණක් ද? නිවාඩු සමයක දින කිහිපයකට ඔහු හමු වීමට එන මගේ කුඩා සිත පුදුමයෙන් පිරී යන්නේ එවන් මොහොතක. එහෙත් ඔහුගේ සෑම උදෑසනක ම ගෙවෙන්නේ එලෙස.
“ආ පුතේ උඹ අද කලින් ඇහැරිල වාගේ.”
‘උඹ’ යන ගෞරව නාමයෙන් මා ඇමතු එක ම පුද්ගලයා ඔහු. ඔහු මට සුවිසෙස් ඇල්මක් දක්වන්නට හේතු කිහිපයක් තිබුණා විය යුතු යි. ඔහුට හිටි දියණියන් දෙදෙනා ඔහුගේ කටයුතු ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. අනෙක් ඥාති සොහොයුරු සොහොයුරියන් තැන තැන කෙළිමින් පලතුරු නෙළමින් සිටිද්දී, මා පමණක් ඔහු පසුපස ම ඇදුණා.
ඔහු කියැවූයේ තුරු ලතා බව පමා වී හෝ මම පසක් කර ගත්තා.
“පුතේ මේ බලපන්, මේ පොල් ගහ ගැබ්බර වෙලා.”
ඔහු කියූ දෙයින් විමතියට පත් වූ මම ඔහු දෙස ම බලාගෙන සිටියා.
“ඇයි පුතේ මහ අමුතු විදිහට මං දිහා බලාගෙන ඉන්නෙ?”
“ගස් කොහොමද බාප්පෙ ගැබ්බර වෙන්නෙ?”
“මේ පොල් ගහ ලබන මාසෙ දිහාවට පීදෙන බව මට හොඳට තේරෙනවා.”
“ඒ කොහොමද බාප්පෙ හරියට තවම මලක්වත් දකින්නෙ නැතුව ඒ වගේ දෙයක් කියන්නෙ?”
“ඒක හින්ද තමයි මං ගහ ගැබ්බරයි කිව්වෙ.”
“පිළිකාව තියෙන්නේ පෙනහළු වලලු.”
“පෙනහළුවල?”
“ඒක නේන්නං...”
“එහෙම තැනෙක හැදෙයි කියල හීනෙකින්වත් හිතන්න පුළුවන් කෙනෙක්යැ අපේ අමරේ?”
“අනේ මන්ද අයියේ...”
“අනික නංගි, එහෙම බැලුවොත් අමරෙට කලින් මටනෙ හැදෙන්න තිබුණෙ බොන සිගරට් වල හැටියට. සිගරට් එකක් කටේ තියපු මිනිහෙක් ද අමරේ? ඇත්තටම මේක කොහොම ද වුණේ?”
“මං උඹේ නමට හරි ආසයි.”
“බාප්පලු නේ ද මට මේ නම දීල තියෙන්නෙ?”
“අම්ම ඒකත් කිව්ව ද?”
වත්තේ කොණක තිබු ගඩුගුඩා ගහ සමීපයේ ඔහුම නිමැවූ බංකුවේ හිඳ ගනිමින් බාප්පා එසේ ඇසුවා.
“බාප්පට විශේෂ හේතුවක් තිබුණ ද මේ නම දාන්න?”
“ඒක ලොකු කතාවක් පුතේ.”
එවර බංකුවේ හිඳ ගත්තේ මං, ඒ කතාව අහගන්නට.
“මට මතකයි චූටි අක්කා පුතා හම්බ වෙන්න ඉන්න කොට නිතරම වාගේ මෙහෙ එනවා. ඇවිල්ල මාත් එක්ක මේ ගහ කොළ ගැන කතා කරමින් වත්තේ ඇවිදිනවා. ඉතිං මට දවසක් කිව්වා, චූටි අක්කා ඉස්සර මෙහෙම කතා කළේ නැහැ නේ ද කියල. එතකොට චූටි අක්කත් කිව්වා ඒක තමයි කියල. අපි දෙන්නට ම තේරුණා පුතා බඩේ ඉන්න නිසා තමයි එහෙම ආසාවක් ඇති වුණේ කියල.”
“ඉතිං ඊට පස්සේ?”
“මං චූටි අක්කට කිව්වා එහෙනම් මට එක වරයක් දෙන්න කියල. උඹට නමක් දාන්න ඕන කියල.”
“ඉතිං ඉරිඳු කියල දාන්න හේතුව?”
“උඹ කතාව ඉවර කරන්න දෙන්නේ නැහැනේ. ඉරිඳු කියන්නේ ඉර දෙවියෝ කියන එකට. ඉර නිසා තමයි පුතේ අපි හැමෝම මේ ලෝකේ ජීවත් වෙන්නේ. විශේෂයෙන් ම අපි වගේ මිනිස්සු පය ගහල ඉන්නේ, ඒක නිසා අපිට ඉර දෙවියෙක් හා සමාන යි. ඒක උඹේ වාසගමටත් ගැළපෙනවා නේ ද? ඉරිඳු රත්නවීර.”
මෙලෙස කියූ ඔහු ගැඹුරු හුස්මක් ඉහළට ගෙන ගඩුගුඩා හේඩාවෙන් පෙරී එන හිරු රැස් දෙස සිය දෙනෙත් යොමු කරමින් ම සිය කතාව කරගෙන ගියා.
“පුතේ ඉස්සර මේ ලෝකෙ මොනම ආගමක්වත් එන්න කලින් තිබුණේ එකම එක ආගමක් විතරයි. ඒ ආගම අපේ මේ පොළොවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක මුළු ලෝකෙට ම සීමා වෙච්ච ආගමක්. ධර්මයක්. එදා ඒ මිනිස්සු ඇදහූවේ හිරු දෙයියොයි පොළව කියන අම්මයි, මිනිස්සු ඒ දෙන්නගෙන් එක්කෙනකුට හරි රිද්දුවොත් එහෙම විඳින්න වෙන විපාකේ තරම දැනගෙන හිටියා.”
“නැවතත් ගැඹුරු හුස්මක් ඉහළට ගත් ඔහු කතාව දිගටම කරගෙන ගියේ මෙලෙසින්.”
මට දැනුණා උඹ ලොකු වෙන කොට මං එක්ක මේ වත්තෙ ඇවිදියි කියලා. එහෙම දේවල් කරන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට පුතේ. මං දන්නවා මං මේ කතා කරන සමහර දේවල් අනිත් අයට වඩා උඹට තේරෙනවා කියලා.”
කෑගැසිල්ලෙන් වාට්ටුව ම වාගේ දෙවනත් වුණා.
ඉවසිය නුහුණු වේදනාවෙන් බාප්පා ඇඳ විට්ටමට හේත්තු වී කෑගැසුවා. ඔහු උදරය ඇඳට තද කරගෙන හිටියා. කිසිදු රළු පරළු බසකින් තොරව හෙදියක් පැමිණ යම් වේදනා නාශකයක් ඔහුගේ සිරුරට ඇතුළු කළේ මෙවන් දෑ හුරු පුරුදු නිසා විය යුතුයි.
කෑගැසිල්ල කෙමෙන් කෙඳිරිල්ලක් වුණා. මොහොතකින් නිහඬ වුණු බාප්පා ගැඹුරු නින්දකට එළඹුණා. ස්වභාවයෙන් ම කුඩා සිරුරකට හිමිකම් කීවත් අමරජීව බාප්පා තව තවත් කුඩා වී ඇති බවක් මට දැනුණා. ඒ මොහොතේ දී වරෙක ඔහු මං අමතා කියූ දෙයක් අළු යට සැඟව තිබූ ගිනි පුපුරක් ලෙස මගේ මනස් කුහරයේ විනිවිද ගියා.
“පුතේ, පුතා දන්නව ද පොළවත් එක්ක හැප්පෙන අපි වගේ මිනිස්සු ළඟට එන්න අරය බයයි.”
“කවුද බාප්පෙ අරයා කිව්වේ?”
ඔහු සන්සුන් දෙස මදෙස බලා සිටියේ සුපුරුදු සිනහව මුවඟ රඳවා ගෙන.
“මාරයා... අපි වගේ මිනිස්සු ළඟට එන්න එයා බයයි. ඔය කොලෙස්ට්‍රෝල්, හාට් ඇටෑක් වගේ දේවල් අරගෙන අපි ගාවට එන්න එයා හරි බයයි.”
අක්කර දහයක ඉඩම් යාය කෙරෙහි මුළු සිතම යොමන්නට බාප්පා කලින් විශ්‍රාම ගත්තා. කාලයත් සමඟ තැනෙක පොල් රුප්පාවක් ඉදි වුණා. තැනෙක රඹුටන්. තැනෙක පේර. තැනෙක කොම්පෝස්ට් පොහොර ගොඩ ගසා තිබුණා.
“පුතේ වරෙන් රවුමක් යන්න.”
“ඔළුව කැක්කුමයි වගේ බාප්පේ. ගමන් මහන්සියට මං හිතන්නෙ.”
“පෙති මොනවත් ගත්ත ද?”
“ඔව්.”
“ඔන්න ඕක තමයි පුතේ උඹලයි අපෙයි වෙනස. මං කවදාවත් පෙති වර්ග අරගෙනත් නෑ, ගන්නෙත් නෑ. එහෙමට කියල ඔළුව කැක්කුමක් හැදිලත් නැහැ. අපි ඔට්ටු අල්ලන්නේ පුතේ ගහකොළ එක්ක. එහෙව් අපට මොන පෙති ද? වරෙන් රවුමක් යන්න. ගහ කොළ එක්ක ඉන්න කොට ඔය ඔළුව කැක්කුම නැති වෙලා යයි. උඹට බඩුවකුත් පෙන්නන්න තියෙනවා.”
කොතෙක් ගමන් විඩාව තිබුණත් ඔහු සමඟ පසුපස ඇදිය යුතු නොවේ ද කියා මං මගෙන් ම ප්‍රශ්න කළා.
“මේ මොකක්ද බාප්පේ මේ?”
“ඕවට තමයි පුතේ කැරට් කියන්නේ. දැකල නෑ නේද මෙච්චර විශාල කැරට්? ඔන්න උඹට තමයි ඉස්සෙල්ලාම පෙන්නුවේ. කැමති නං ගෙදර යන කොට කැරට් ටිකක් ගෙනියන්න.”
බාප්පා තරම්ම කෘෂි විද්‍යාව නොදැන සිටියත් ඒ මොහොතේ ම සිතේ ඇති වූයේ පුදුමයක්.
“බාප්පෙ මේ පැත්තෙ කැරට් වැවෙන්නෙ නෑ නේද?”
“වවන්න ඕනකමක් තියෙනව නං වවන්න බැරි දෙයක් මේ පොළොවේ නෑ පුතේ. මේකට තමයි මං කියන්නේ කෘෂි විද්‍යාවෙ විප්ලවය කියල.”
“මට තේරුණේ නෑ බාප්පෙ.”
“කොල්ලො ළඟදි මං දවසක අලුත් කඩේකට ගියා. ඒකෙ නම ඇග්‍රොමාට්. ඒක නං මාර කඩයක්. එහෙම කඩයක් මං කවදාවත් දැකල නෑ. ඒකෙ විකුණන්න තියෙන්නෙ වගාවල්වලට උවමනා දේවල් විතරයි. ඉතින් එතන ගස් වැල් වවන්න උවමනා කරන හැම තෙල් බෙහෙත් ජාතියක්ම තිබුණා. ඔය වගේ අලුත් දේවල් අපි ළඟට මේ විදිහට එනකොට ඒවට පයින් ගහන එකත් හොඳ නැහැ.
දැන් මේ බලන්න ඒ වගේ තෙල් බෙහෙත් නැතුව කොහොම ද මේ වගේ පොළොවක කැරට් පැළ වෙන්නෙ?
අමරජීව බාප්පා කියූ කතාවෙන් ම සිතේ ඇති කළේ කම්පනයක්. එනමුත් මට වඩා පොළොව ගැන දන්නා ඔහු හා තර්ක නොකරන අදිටනින් ඉවත බැලූ මා දෙනෙත නතර වූයේ දිරා යමින් තිබුණු මංඤොක්කා දඬු ගොඩක් ළඟ. සීයා මුත්තා කාලයේ හිඳ මංඤොක්කා බතල සරුවට වැඩුණු පොළොවේ ඉතා සරුවට වැඩුණු කැරට් අලයක් මා දෝතට පිළිගන්වන ඔහු එදෙස බැලුවේ මහත් ආඩම්බරයෙන්.
“ඩොක්ට නම් කියන්නේ ගොඩ ගන්න බැහැ කියල.”
“ඒක පුංචිට කිව්වේ නැහැනේ?”
“තාම නැහැ. ඒත් ඉතිං මේක හැමදාම හංගගෙන ඉන්නත් බැහැනේ.”
“ඒක හරි, ඒ වුණාට එකපාරට ම කියන්න එපා.”
“කැමති නම් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙන්න කියලත් කිව්වා.”
“ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු ඔක්කොම අත හැරලා?”
“හ්ම්...”
අක්කර දහයක් සමඟ තනිව ම යුද වැදුණු ඒ ශක්තිමත් බාහු යුගලය කෙමෙන් වැහැරුණේ කිනම් අයුරින් ද? කැල්මෙන් පිරුණු වත කුදුව ගොස්, ඔහු වෙතින් නික්මුණු ජීවන සුවඳ බෙහෙතින් උරාගෙන, මිහිතලයේ ගීතය නිතොර මිමිණූ ඔහුගේ මුවින් විසි වෙන වටහා ගත නොහැකි විකාර රූපී වදන් වටහා ගන්නට මම උත්සාහ කළා.
වතු යාය වෙනදාට වඩා එළිපෙහෙළි වෙලා තිබුණා. ගස් කොළ තැනින් තැන පිළිවෙළට ඉදි ව තිබුණු දුටු මට සියුම් පුදුමයකුත් දැනුණා. බාප්පාගේ වත්ත එහෙම පිළිවෙළටම ගහ කොළ තිබුණු තැනක් නෙවෙයි.
ඩිමෝ බට්ටෙකුත් ඇවිත් හිටියා.
“ඔන්න ඉතින් නමෝ විත්තියෙන් බාප්පත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණා එහෙනම්?”
මම බාප්පාගෙන් ඇහුවේ හිනා වෙලා.
“එහෙමමත් නෙවෙයි. උඹ දන්නවනේ මං කවුද කියල. මගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකෙන් විතරක් යැපෙන්නත් අමාරුයි නේ පුතේ. අනික වියදමුත් සැරයි. දුවල දෙන්නෙකුත් දීග තල දෙන්න ඉන්නවනේ. මං හිතුවා බිස්නස් එක පටන් ගන්න කියල.”
“එතකොට මොනව ද ඉතින් විකුණන්නේ?”
“මගේ එළවුළු ටික නම් තව හැදෙන්න ඕන. මං අන්නාසි වගාවක් දැම්මා. ඉක්මනින් ඵලදාව ගන්න පුළුවන්. ලොකු ගාණකුත් එකපාරටම අතට ගත්තහැකි. ඒත් එක්කම වගේ කෙහෙල් කොටුවකුත් දැම්මා ළිඳ ගාවින්. වත්ත කොණකින්.
“ඉතින් අත් උදව් කාරයෙක් එහෙමත් අවශ්‍ය වෙයි නේ ද?”
“තාම එහෙමට ආදායමක් නැහැනේ. හොඳට ආදායමක් එන්න ගත්තහම බලමු.”
“වල් පැළ තමයි නේ ද ප්‍රශ්නෙ?”
“අද කාලේ වල් පැළ විතරක් නම් ප්‍රශ්නෙ ඒක විසඳගන්න පුළුවන්. එක පැත්තකින් වල් පැළ, අනිත් පැත්තෙන් පිටි මකුණා.”
“බාප්පේ, බාප්පම නේද කිව්වෙ හැම නීතියකටම වැඩිය මිහිමවගේ නීතිය බලසම්පන්නයි කියල, හැම ධර්මයකට ම වැඩිය සොබාව ධර්මය බලසම්පන්නයි කියල.”
“ඉතින් මම නෑයි කියල කිව්වෙ නෑනේ. ඒක තමයි ඇත්ත.”
“එතකොට බාප්පෙ, බාප්පා ඔය කරන වගාවල් බාප්පට වගේ ම අනිත් හැම සතෙකුට ම අයිතියි නේද?”
“මම නෑ කියල කිව්වෙ නෑනේ. මගේ අස්වැන්නෙන් තාමත් මං කොටහක් කුරුලු පංගුව හැටියට වෙන් කරනවා.”
එවිට ඉමහත් සැකයකින් හද වෙළුණු මෙබඳු පැනයක් නැගුවේ සියුම් උපහාසයකින් යුතුව.
“බාප්පෙ ඔය හැටියට තෙල් බෙහෙත් දාලා බාප්පා, බාප්පවයි, ඔය දේවල් කන මිනිස්සුන්වයි ඇරුණහම කැළේ ඉන්න සතා සිවුපාවාවත් විනාස කරන්න ද හදන්නෙ?”
මඳක් නිහඬ වූ අමරජීව බාප්පා, “උඹ හරි පණ්ඩිතයෙක් වෙලානෙ බං,” යැයි කියමින් මට ටොක්කක් ඇන්නා.
කෙමෙන් ඉහළට නැඟෙන දුම් රොටු දෙස මං බලා සිටියා. මගේ ජීවිත කාලය තුළ කවදා හෝ ඔහුගේ චිතකයෙන් නැගෙන දුමට සාක්ෂි දරන්නට වන බව දැන සිටියත් එය මෙපමණ කලින් සිදු වෙතැයි මට සිතුණේ නැහැ.
එවන් දෙයක් සිදු වූයේ කෙලෙස ද?
අන් අයට නොදැනෙන සේ සෙමින් මගේ නෙතට නැඟුණු කඳුළු පිස දා ගත්තා. ඔහු තුළ වුණු සුන්දරත්වය අප අතරින් කවුරුන් හෝ හඳුනා ගත්තා ද? අගය කළා ද? හැමදාම ඔහුගේ ගෙඋයනේ පළතුරු අනුභව කරමින් සිටියා මිසක ඔහුගේ ජීවිතයේ ඇතුළාන්තය විනිවිද දැක ගත හැකි වුණා ද?
කොතෙක් ඔහු පසුපස ඇදුණත් මට පවා එය හරි හැටි කරගත නොහැකි වුණා.
කෙමෙන් මගේ නාස් පුඩු විනිවිද යන දුම මගේ හදවත මඟ හවුරන ගතියක් මට දැනුණා. දුම කෙතරම් ගඳ ද? ඒ සමඟම මෙතෙක් සිහි නොවුණු මතක රුවක් මා හමුවේ පෙනී සිටියා.
“අනේ බාප්පෙ ඔන්න තරහ වෙන්න නං එපා. මං මෙහෙම කතාවට බාධා කරනවට. බාප්ප කරගෙන ආපු කැරට් වගාවට මොකද වුණේ?”
“අනේ පුතේ ඒව කරන්න බෙහෙත් වලට යන වියදම් හැටියට එහෙම කියල ලාබයක් උපදවා ගන්න පුළුවන් වගාවක් නෙවෙයි ඒක. මං ඉතිං කළේ පුංචි අත්හදා බැලීමක් විතරයි. ඒක කළෙත් විකුණන්න බලාගෙන එහෙම නෙවෙයි. ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්නෙ.”
“ඉතින් බාප්පෙ ඔය තරම්ම තෙල් බෙහෙත් ජාති ගහල වවන ඔය එළවුළු කන්න හොඳ ද?”
මදෙස බැලු ඔහු සිනාසුණේ සැකමුසු මුහුණක් දරාගෙන.
“විසයි කියල නං කියල තියෙනවා තමා. ඒත් ඉතිං මේ තෙල් බෙහෙත් හදල තියෙන්නෙ පැළ වලටයි ඒවා හානි කරන සත්තුන්ටයි මිසක් අපට නෙවෙයි නේ. ඉතින් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? පුතේ, අපි පුංචි කාලෙ ඔය තෙල් බෙහෙත් මොකුත් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට දැන් ඕව නැතුව කිසිම වගාවක් අහන්නේ නෑ. පිටි මකුණා කියන සතා පුංචි වුණාට බැරි වෙලා හරි බෝ වුණොත් මං වගේ මිනිස්සුන්ට යන්න වෙන්නේ ගස් තමයි. එහෙම වුණොත් පොළොවත් එක්ක හැප්පුණු මට ඉතිරි වෙන්නේ හුළං තමයි.”
“ඒ වුණාට බාප්පේ බාප්පා ඔය තෙල් බෙහෙත් පාවිච්චි කරන විදිහ දැක්කම මට හරි බයයි.”
“අනේ... පුතේ අහවල් දේකට ද බය වෙන්නෙ? දවස පුරාම ගස් වැල් එක්ක ඉන්න මගෙ ඇඟ ඕනම දේකට ඔට්ටුයි.”
නිරාවරණය වූ පපු පෙදෙසේ දහඩිය ඉවත ලා ඔහු නැවතත් සිය කාර්යය ඇරැඹුවා.
“මේවට බැහැ අපි ව එහෙම ලේසියෙන් වට්ටන්න. හැබැයි, පුතා පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න.”
කෙමෙන් ඈතට යන මට පළමුවෙන් පෙනුණේ දුම ඔහුගේ නිරාවරණ පපු පෙදෙස වහ ගන්නා ආකාරය. ඉන් පසුව ඔහුව ම වෙලා ගන්නා අයුරු.
බාප්පාගේ වල් මර්දන ක්‍රියාදාමය ගැන සාංකාවක බීජයක් මතුළ හට ගත්තේ එදා.
Post a Comment