මාතුපාල ලී කෙළි නැටුම පුරුදු වූණේ, ගමේ පන්සලේ පෙරහර සඳහා ය. පෙරහර කා සඳහා ද, කුමක් සඳහා ද යන්න දැන ගැනීමට මාතුපාල වැනි අය උත්සාහ නොගත යුතු ය. වැඩිහිටි පිරිස් ද, ප‍්‍රධාන අමුත්තන් පිළිබඳ ව, බොහෝදුරට නොසිතා උත්සවයක් පමණක් සංවිධාන කිරීමට, මහන්සි ගත්හ. එහෙත් ලී කෙළි නැටුම පුරුදු කළ අචලා මිස් නම් පැවසුවේ, ප‍්‍රධාන අමුත්තකු ස්ථිර වශයෙන් ම පෙරහරට සහභාගි වන බව ය. එවැන්නකු නොමැති ව ලී කෙළි පුරුදු කිරීමේ තේරුමක් ද නොමැති බව ඇය පුන පුනා පැවසුවා ය.
මුත්තන් ප‍්‍රධාන වීම ද අප‍්‍රධාන වීම ද, අහසේ පාවෙන වලාකුළු සේ අස්ථාවර තත්ත්වයක පැවතිණ. ඇතැම් විට සඳට මොහොතක් වත් සිනාසීමට ඉඩ නොදී, කොහේ හෝ සිට පා වී එන අඳුරු වලා සමූහයෝ රාති‍්‍ර අහස සින්නක්කර උරුමයට ලියා ගනිති. මෙවිට නම් කලා මැදිරියෝ වඩාත් ප‍්‍රබලව එහාට මෙහාට ඉගිල යති. දීර්ඝකාලීන ගිම්හානයේ පෙළ ගැස්ම ඉරා දමමින්, කාලයට නුහුරු වට වැස්සකින් ගහකොළ තෙමී වැටේ.
වැස්සෙන් ප‍්‍රමුදිත මැඩීහු වෙල් නියර මත සිට එහාට මෙහාට පනිති. ඇළ ඉවුරේ තිරිවාන ගල් කැබැලි මතට වැගිරෙන අංශු මාත‍්‍රයක කණමැදිරි දිස්නය නිසා ඒවා මොහොතකට මිණි කැට සේ සිදුලයි. කාලයට නුහුරු තෙත බරිත සුළං ධාරාවෝ තුරු මත රැඳුණු නොපැසුණු පල පවා බිමට අත හරිමින් තම සමත්කම පෙන්වන්නට මහන්සි ගත්හ.
“ළමයිනේ පෙර සූදානම අවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් සාර්ථක වෙන්නේ පෙර සූදානම තිබුණොත් තමා” අචලා මිස් උත්සවයට සතියකට පෙර පැවසුවාය. එස් පහ සංකල්පය, ඊ පහ, ඉගෙනුම් කි‍්‍රයාවලිය, ඇගැයීම්, ප‍්‍රතිපෝෂණ, පෙලැඹවීම් වැනි, මනෝමූලික සිද්ධාන්තයන් ගෙන් අචලා මිස් ගේ් මනස ආකූල ව්‍යාකූල වී ඇත. ස්ථාවර ප‍්‍රතිපත්තිවලින් පිරුණු මිනිසුන් සිටින සමාජයක් ඇය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන්නීය.
“ඔය ගොල්ලන්ට ප‍්‍රධාන අමුත්තා අතින් තෑගි දෙන්ට, වැඩ පිළිවෙළක් මං දැනටමත් න්‍යාය පත‍්‍රයට ඇතුල් කරලා තියෙන්නේ” ඇය මෙසේ පැවසුවේ ලී කෙලි නැටුමට, අවශ්‍ය ඇඳුම් පිළිබඳව, ද මාපියන් හා සාකච්ඡා කරන අතරතුරදීය.
උත්සවයට පෙර දින ප‍්‍රධාන සංවිධායක සුනිමල් බණ්ඩාර ඊට මොහොතකට පෙර තිබූ, තද අව් රශ්මිය කඩා දැමූ අසනිපාත වැස්සට තෙමෙමින් සංවිධායක කුටිය වෙත ගියේ, න්‍යාය පත‍්‍රය සැකැසීම සඳහාය. ඒ සඳහා රැගෙන ගිය කොළය ද, තෙත බරිත වී ඇත. අචලා මිස්, අලුත් කොළයක් ගෙන ලියන්නට සැරසුණාය. එහෙත් මේ වන විට ද, ප‍්‍රධාන අමුත්තා පිළිබඳව සංකාකූල හැඟීම් කා තුළත් පහළ වී තිබිණි.
සැකය මතු වී තිබුණේ අමුත්තා ගේ සම්ප‍්‍රාප්තියට වඩා ඇතැම් විට ඔහුගේ ප‍්‍රධානකම අහිමි වී යෑමක් පිළිබඳවය. ඔහුද පක්ෂය මාරු කිරීමේ ඔන්චිල්ලාවට නඟින්නට දැනටමත් සූදානම්ව ඇත. ඔන්චිල්ලාව තල්ලු කරන පිරිස, ඔහු බලෙන් හෝ නග්ගවා ගැනීමට සූදානම්ව සිටිති. පසෙකට වී ඔන්චිලි වාරම් කියන පිරිස් එය පදින විට, සීතල වාරැළි ඇඟේ හැපී මුළු ගතම සලිත වන හැටි, ඉහළට යන විට, තුරු විටප මතටත් ඉහලින් තිබෙන සුමුදු වලාකැටි මතට එකතු වුණා සේ පහතට පෙනෙන අයුරු, එමතු නොව, ගං දෑලක දසුන් සේ දෙනෙත ස්පර්ශ කරන දෙපැත්තේම ඇති එක හා සමාන ලක්ෂණ එකට කලතා උච්ච ස්වරයෙන් ගීතිකා ගායනා කරති.
“ප‍්‍රධාන අමුත්තා ගේ කථාව“ නම් ශීර්ෂය න්‍යාය පත‍්‍රයට ඇතුළු කර ගැනීමට ඇති අපහසුව, තදින්ම දැනුණු සුනිමල් බණ්ඩාර වටපිට බැලුවේය. මෙතෙක් වේලා ඇද හැළුණු වැස්ස දැන් කොහේ ගියාදැයි අසන්නට මෙන් පාට පාට දේදුන්නක් මාකූරගල පැත්තේ මුදුන් වී ඇත. එහි පාට කීපයක් සුනිමල් බණ්ඩාර නිසැක ලෙසම හඳුනා ගත්තේය. වැස්සෙන්, ප‍්‍රාණය ආරෝපණය කර ගත්, කුඩා දිය පාරවල් කීපයක්, පහතින් ඇති ගල්වල කරා ඇදී එන්නේ දේදුනු රශ්මිය කුඩු කර ගෙන, සුසැදුණු රන් කැබැලි සමූහයක් වන් මල් අහුරු ද එකට ඒකරාශි කර ගෙනය.
“කොහාට පැන්නත් කමක් නෑ. අඩුම වශයෙන් පනින පැත්ත ගැන දැනුම් දෙනව නම්= සුනිමල් බණ්ඩාර කීවේ, තවමත් නිසි පෙළගැස්මක් නැති න්‍යාය පත‍්‍රය දෙස බලමිනි.
“පනින පැත්ත, ඒ අයවත් කල් තියා දන්නෙ නැතුව කොහොමද? දැනුම් දෙන්නේ” ළමයින් නියෝජනය කරමින්, සංවිධායක කමිටු සාමාජික ප‍්‍රතිලාභය ලැබූ අචලා මිස් පවසයි.
“වෙන කෙනකුට ආරාධනා කළොත් නරකද” සංවිධායක මණ්ඩලයට බලෙන් වගේ ඇතුළු වූ ඉරුගල් බණ්ඩාර පවසයි.
“මේ හදිස්සියෙ ඒක කොහොම කරන්ටද?” පෙර සූදානම් ගැන සියයට සියයක්ම විශ්වාසය තබන අචලා මිස් පවසන්නීය.
“හුඟක් අමුත්තො ඉන්නෙ තමන් ගැනම සැකයෙන්. උදේ ප‍්‍රධානියා, අද හවස් වෙන කොට අප‍්‍රධානියා වෙනවා.” සුනිමල් බණ්ඩාර, මොහොතකින්, කළු වලා සමූහයක් විසින් ගිල ගත් දේදුන්න දෙස බලමින් කීවේය. දැන් දැන් දේදුන්නේ ඡායා මාත‍්‍රයක්වත් ඔහුගේ නෙත ගැටෙන්නේ නැත. අඳුරු වලා සමූහයෝ කළු තුරඟුන් සමූහයක් සේ එකිනෙකා පසු පස හඹා යමින් මාකූරගල වටා කඳවුරු බැඳීමට සූදානම් වෙති. තව මොහොතකින් වලා එකට හැපී ගැසී ඇඹරී, මිරිකී, ධාරානිපාත වර්ෂාවක් ඇඳ හැළෙන්නට පුළුවන. ලියදි උතුරා යන තරමට දිය පොම්ප කිරීමට, වලාකුළු සූදානමින් සිටියි.
“සොබාදර්මෙත්, හරියට නායක කාරකාදීන් ගෙ සිතිවිලි වගේ, මොහොතින් මොහොත වෙනස් වෙනවා” සුළං පාරක් ද, හවුල් කර ගෙන, ජනෙල්වලට, ඊතල පහර සේ පතිත වන දිය ධාරාවලට, කාමරය ඇතුළත තෙමා ලන්නට ඉඩ නොදෙමින් අචලා මිස් සියලුම ජනෙල් කවුළු වැසුවාය.
“ලී කෙළි නැටුම න්‍යාය පත්තරේ අංක කීයටද තියෙන්නේ” මාතුපාල ගේ අම්මා වැස්සේම පැමිණ අසන්නේ නියමිත වේලාවට දරුවා කවා පොවා සූදානම් කිරීමට විය යුතුය.
“ඒ වෙලාව නම් හරියට කියන්ට බෑ” සුනිමල් බණ්ඩාර එසේ පැවසුවේ, අචලා මිස් දෙස ද බලමිනි.
“එහෙනම් පෙරහැර පටන් ගන්නෙ කීයටද?”
“ඒකත් හරියට කියන්ට බෑ” ඉරුගල් බණ්ඩාර ස්වකීය යටි රැවුළ අතගාමින් පවසන්නේ දෙනෙත්වලට, බිම හෑරීමට තරම් අණ දෙන දැඩි නිරීක්ෂණයක යෙදෙමිනි.
“අම්මෙ අපි ළඟ තියෙන සූදානම, ස්ථාවර බව, නැති අය, ප‍්‍රධාන අමුත්තො වෙලා. හෙට උත්සවේට නියම පෙළ ගැස්මක් නෑ”
“ඉතින් ප‍්‍රධාන අමුත්තො නැතුව උස්සවේ කළා නම් මොකද වෙන්නෙ” මාතුපාල ගේ මව පවසන්නේ වැඩි කැමැත්තකින් නොවන බව කුඩා දරුවාට වුවද, වැටහී යනු ඇත. ඇත්තෙන්ම, ප‍්‍රධාන අමුත්තා ගෙන් මාතුපාල ත්‍යාග ලබා ගැනීම පිළිබඳව, බොහෝ සේ සිතින් උදම් ඇනුවේ, මාතුපාල ගේ මව වන පෙසෝහාමිය. “ඒ වෙලාවට පොටෝ එකකුත් ගන්ට ඕනෑ” ඇය තම අසල්වැසි කාන්තාවක වූ සොයිදා සමඟ ද පැවසුවාය. සොයිදා ගේ පුතා වන දිනපාල, ඒ සඳහාම යාළුවකු ගෙන් කැමරාවක්ද ඉල්ලා ගෙන ඇත.
“න්‍යාය පත‍්‍රය හෙට උදේ තමා හදන්ට වෙන්නෙ” ‘තෙරුවන් නැමැදීම’ පමණක් සටහන් කර ඇති හිස් න්‍යාය පත‍්‍රය දෙස අපේක්ෂා විරහිත බැල්මක් හෙළමින් අචලා පවසයි.
“එළිවෙන්ට ඉස්සර ඇමතුමක් ලැබුණොත් ඉන්න ස්ථාවරයේම ඉන්නවා කියලා උත්සවය සාර්ථක වෙයි. පැන්නොත් ඉතින් දෙයියො තමා උත්සවේට වග කියන්නෙ” ඉරුගල් බණ්ඩාර කිසිදා නොදල්වන සිගරැට්ටුවක් දල්වා ගනිමින් ප‍්‍රකාශ කෙළේය.
මේකෙ පුදුමෙ තමා අනිත් ආරාධිතයන්ගෙත් පැමිණීම තීරණය වෙන්නෙ ප‍්‍රධාන අමුත්තාගෙ බදා ගැනීම හෝ පැනීම මත, වස පුදුම කාලයක් පෙරහරේ මහ බඹ ගේ භූමිකාව කරන සයිමන් පවසයි. ඔහු දැනටමත් මහ බඹාට ගැළපෙන මුහුණු දෙකක් සකස් කර ගෙන ඇත. ඒවා පැලඳගෙන යන විට සයිමන් ගේ උජාරුව ගැන ගමේ කවුරුත් දැනටමත් කථා බහ කරති. අනිත් අතට, පෙරහරේ මුලින්ම වගේ ගමන් කිරීමේ වාසනාවද ඔහුට ලැබේ.
“යමං කොල්ලො යන්ට.” මුන්ගෙ උත්සවෙත් හරියට නුවරඑළියෙ වැස්ස වගෙයි” යටි හිතින් තමන්ටම මිමිණූ පෙසෝහාමි මාතුපාලද රැගෙන යන්නට ගියේ අගක් මුලක් නැති දෙයකට දරුවා සම්බන්ධ කිරීමේ පාප කර්මයෙන් තමන්ට නම් ගැලවීමක් මේ කපේ නම් නොමැති බව පසක් කර ගනිමිනි.
මාතුපාල රතු පාට තවරා ඇති ලී කෑලි දෙකද ඉනේ ගසා ගෙන ඇති නිසා, මව සමඟ යන්නේ ඉතා සෙමිනි. අචලා මිස්, අනුකම්පාවෙන් මාතුපාල මව පසුපස ඇදි ඇදී යන අයුරු බලා සිටියාය. යළිදු ප‍්‍රධාන අමුත්තාට විසිවන වතාවටත් ඇමතුමක් ගත්තාය. එහෙත් සෑම අවස්ථාවකම දුර බණනය විසන්ධි කර ඇත. අනුන්ගේ න්‍යාය පත‍්‍ර සරසනා කාලය, මෙය නොවේ යැයි සිතූ ප‍්‍රධාන අමුත්තා වන උපගුප්ත මේ වන විටත් දෙගිඩියාවක පසු වූයේය. කාලයට ගැළැපෙන සේ ඇඳුම් මෝස්තර වෙනස් කරන නිරූපිකාවක සේ, කිසියම් වෙනස්වීමක් ඔහු අපේක්ෂා කරයි.
මේ ලෝකයේ සෑම දෙයක්ම විලාසිතාවක් යයි ඔහු සිතුවේය. රාති‍්‍ර අහස දිවා අහසට වඩා වෙනස්ය. මුහුද, වෙරළට තෑගි කරන, රළ පෙළ වුවද එකිනෙකට වෙනස්ය. මේ වෙනස්වීමෙහි රසයක් ඇත. ආකර්ෂණයක් ඇත. උපගුප්තට උවමනා වූයේ අනුන්ගේ අනුන්ගේ ආකර්ෂණය ලබා ගැනීමටය. මේ නිසා අද හවස හයට, සුපුරුදු ස්ථානනේ නුපුරුදු තැනට ගොස්, ජනතා ආකර්ෂණයෙන් ඔප් නැංවුණු තම ආධිපත්‍යය තහවුරු කර ගත යුතුය.
හෙට දින සහභාගි වීම සඳහා රැස්වීම් රාශියක් තිබෙන බවද, ඒවාට සහභාගි වීම අවිනිශ්චිත විය හැකි බවද, උපගුප්තට වැටහිණ. සෑම උත්සවයකම ප‍්‍රධාන අසුන හිස්ව තිබෙනු ඇත. සෑම පෙරහරක්ම ප‍්‍රධාන අමුත්තාගෙන් තොරව පවත්වනු ඇත. සෑම සංවිධායකයකුම දැන් පෙර පුහුණුව පවත්වනු ඇත. එහෙත් තමාට නම් පනින්ට පෙර සිතා බලන්ට බොහෝ සේ සිතා බලන්නට අවශ්‍ය නැත. දැනටම බොහෝ ප‍්‍රතිලාභ ලැබී තිබෙන්නට පුළුවන.
මාතුපාල හවස් යාමයේ, ලී කෙළි නැටුමට අදාළ ජටාව හිසේ බැඳ ගත්තේය. පෙසෝහාමි එය ගලවා පසෙක තැබුවේ, කෙස් මත තැවරී ඇති පොල් තෙල් ගෑවේ යැයි ඇති වූ සැකයෙනි. “හෙට වෙනකන් ඉවසිල්ලක් නැති හැටි” යනුවෙන් සිතූ ඔහුටම ලජ්ජා සිතිණි. එහෙත් ලජ්ජා විය යුත්තේ හිස් න්‍යාය පත‍්‍රයක් දෙස තවමත් බලා සිටින, අචලාමිස් ඇතුළු සංවිධායක කමිටුවය. එදින රාති‍්‍ර කාලයේ කමිටුවේ සියලු දෙනාම ඈනුම් අරිමින් නිදි වර්ජිතව සිටියහ. මාතුපාලට, අචලා මිස් ගැන දුක සිතිණි. ඇය සතුටු කරමින් ප‍්‍රධාන අමුත්තා න්‍යාය පත‍්‍රය මතට වැඩිය යුතුය.
ජය ඝෝෂා මධ්‍යයේ මේ න්‍යාය පත‍්‍රය මත වාඩි වී සිටින්නේ් අමුත්තාය. අචලා මිස් ඇතුළු සංවිධායකයෝ, සන්තුෂ්ටියෙන් පාරප‍්‍රාප්තව ඒ දසුන බලති. දැන් දැන් න්‍යාය පත‍්‍රය රන් පලසක් සේ දිසෙයි. මායා දර්ශන ඇතුළත් චිත‍්‍ර කථාවක මෙන් පලසක් බවට පත් වූ න්‍යාය පත‍්‍රය අහසේ සරයි. එහි අකුරු පවා තරුකැට සේ දිසෙයි. අමුත්තා පුදුමාකාර ලෙස පලසේ එක් කොනක එල්ලෙයි. එල්ලි එල්ලී අනෙක් කොනට මාරු වෙයි. මෙය නම් අසිරිමත් දසුනකි. අනතුරුව මුළු හතරමට එකට ඒකරාශි වී පැරෂුටයක් සෑදෙයි. පැරෂුටය දිගේ පහත්වන අමුත්තා, ප‍්‍රධාන පුටුවට සුවිසල් ශරීරය බර වෙන සේ පහත් වෙයි. වේගය වැඩි කමට පුටුව පෙරළී ඔහු වේදිකාවෙන් පහළට වැටෙයි.
න්‍යාය පත‍්‍රය වැටෙන්නේ මාකූරගල පාමුලටය. මහ පොළොවේ පතිත වන විට එය යදමින් සෑලූ ලෙසින් දැඩි වී ඇත. ස්ථාවර වී ඇත. උත්සවය දවසේ මිනිසකුට පවා සෙලවිය නොහැකි න්‍යාය පත‍්‍රය, උත්සව භූමිය කරා ඇද ගෙන ඒමට අලියකු යෙදවීමට, සංවිධායක කමිටුවට සිදුවෙයි. එය නම් අසිරිමත් දසුනකි. පෙර පුහුණු වූ සියලුම නැටුම් නතර කොට, බාල, මහලු, ළමයි ළපටි මේ ආශ්චර්යමත් දසුන නරඹති. මාතුපාලද, නැටුම් ඇලුමෙන්ම එතැනය. එහෙත් ආපසු එන විට ඉනේ ගසා ගෙන තිබූ යෂ්ටි දෙක නැත. ඔහුට නිරායාසයෙන්ම සුසුමක් හෙළිණි.
”මාතුපාලයො හූල්ලන්නෙ නැතුව, කුස්සියෙ බත් බෙදල ඇති කාපං” පෙසෝහාමි එසේ පැවසුවේ, බුලත් විටක් කොටමිනි.
පසුදින උත්සවයේ නිසි පෙළ ගැස්මක් නැති බව මාතුපාලට වුවද පැහැදිලිය. අමුත්තා රටිනුත් පැන ගොස්ය. මේ නිසා පිළිමල් දනෝ, උත්සවය අඩාල කිරීමට බොහෝ මහන්සි ගත්හ. ඔවුන්ගේ ව්‍යායාමය සාර්ථක වී ඇත. න්‍යාය පත‍්‍රයේ කවුදෝ අසභ්‍ය වදන් ද, ලියා ඇත.
මාස ගණන් මහන්සි වූ අචලා මිස්, ‘මේකප් සෙට්, එකද ගෙන බලාගත් අතේ බලාගෙන සිටියාය. පෙරහරක් යම් තරමකට තිබුණද, එය පිළිමල් දනන් විසින් කැරුණු විකාරරූපී රංගනයක්ම වූයේය. කවුදෝ අයෙක්, න්‍යාය පත‍්‍රය හිස් මුදුනේ තබාගෙන ආහ. පෙසෝහාමිට ආ යුතු මඟක්ද යා යුතු මඟක්ද නැත. ඇය අමුත්තා ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියාය. ඇතැම් විට ඔහු ගෙන් තෑගි ගන්න කුඩා පුතු ගේ ඡායාරූපය පසුදින පුවත්පත්වල පවා පළවීමට පුළුවන.
මාතුපාල අඬ අඬා මවටද පෙර ගෙදරට පැමිණ කැඩපත ඉදිරියට යයි. කැඩපතේ දිස්වන තම මුහුණ හා කතා කරයි. “ඔයා ඇති තරම් මං ළඟ නටන්නැ” යි රූපය පවසනවා විය යුතුය. ඔහු මුහුණ පුරා පියරු තවරාගෙන විරිත්තයි. කැඩපතෙන් විකාරරූපී ඡායාවක් දිසෙයි. මාතුපාල, ජටාවද බැඳ ගත්තේය. අම්මාගේ දර ගොඩෙන් කුඩා දර කැබැලි දෙකක් ගෙන ආවේය. කැඩපත ඉදිරියේ වරක් උඩ පැන ලී දෙක එකට ගැටුයේය. ඈතින් අත්පොලසන් හඬ ඇසිණි. කැඩපතේ ඡායාවද, ඔහු සමඟ ලී කෙළියට සූදානම්ය. මාතුපාල තානම පටන් ගත්තේය. අනතුරුව කවි ගායනය ඇරැඹිණ.
”එක පඳුරෙන් ලී දෙකක් කපා ගෙන”
හඬ යටපත් කරමින් ඔල්වරසන්, එළු සන්, ස්තුති ඝෝෂා ඇසෙයි. මාතුපාල අපූරුවට කස්තිරම් අල්ලයි. ගමන් තාල වෙනස් කරයි. කවිවල රිද්මය වෙනස් කරයි. වරෙක රවුමේ යයි. වරෙක පසුපසට යයි. කැඩපතේ දිස්වන ඔහුගේ ඡායාවද, කවුරුත් අගයන්නේ නැති, තම කුඩා සගයාට හරි හරියට සහයෝගය දෙයි.
කැඩපත ඈතින් බොහෝ සෙනගය. ඔවුන් අත තෑගි බෝග ඇත. මුවෙහි ස්තුති ගීතිකා ඇත. ඒ තෑගි බෝග සියල්ල මාතුපාල වෙනුවෙනි. තෑගි ගැනීමට දැන් මාතුපාල නැටුම නතර කළ යුතුය. මහා පර්ෂද්, දරුවාට තෑගි පිරිනමති. ස්තුති කරති. එහෙත් කැඩපත ඉදිරියට ගොස් උන්ටද කීමට දෙයක් ඇති නිසා මාතුපාලයෝ කැඩපත ඉදිරියෙන් ඉවත් වූහ. මහ පර්ෂද් තමන් මෝඩයන් බව කැඩපත ඉදිරියේ ප‍්‍රකාශ කරමින් තම හිසටම ටොකු ඇන ගනිති.
සියලු දෙනාම වරදක් කර ඇති බව මාතුපාලට වැටහිණ. නැත්නම් ඔවුන් දෑතින්ම හිසට ගසා ගන්නේ නැත. වරද තමන් පවරා, පහර දී ගත් මහා පර්ෂද් අතරින්, අපූරු ආලෝකයක් දිසෙයි. කැඩපතින් විහිදෙන ඒ එළිය දෑස් ගිනිකන වට්ටවයි. ආලෝකය අතරින්, සැමදා ප‍්‍රධාන වන අමුත්තෙක් සම්ප‍්‍රාප්ත වෙයි. ඔහු ස්ථාවරය. අවංකය – ආදර්ශවත්ය. කැඩපතේ එවන් අකුරු කොම්පියුටරයක සේ දිසෙයි.
අමුත්තා දෝතින්ම ඔසවා ගෙන සිටින මල් මාලය මාතුපාලගේ ගෙලට දමන තුරු අචලා මිස් ස්වකීය මොලකැටි, රතැගිලිවලින් ඔපවත් වුණු, ස්වර්ර්‍ණමය දෑත දෙපසට කර ගෙන සිටින්නේ, මහ හඬ නඟමින් අත්පොළසන් දීමට විය යුතුය.
Post a Comment