BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, May 6, 2014

අන්තර් කීර්තියට පත් අපේ ඡායාරූප ශිල්පියා ලයනල් වෙන්ඩ්ට්

යනල් වෙන්ඩ්ට් නම් මේ අපූර්ව ගණයේ කලාකරුවා සිත්තරෙක් වශයෙන් අපට හැඳින්වීමට නොහැකි වුවත් ඔහු වඩාත් විශිෂ්ඨව දක්ෂකම් දක්වා ඇත්තේ ඡායාරූපකරණයට ය. මෙරට බිහි වූ ප්‍රමුඛ පෙළේ ඡායාරූප ශිල්පියකු ලෙස ලයනල් වෙන්ඩ්ට් අපට හඳුන්වා දීමට හැකි ය.

විවිධ මාධ්‍යයයන් ඔස්සේ කුසලතා දැක්වූ කලාකරුවන් ඒකරාශි කර ඔවුන්ට නිදහසේ ස්වාධීන ව තම කලා කටයුතු කරගෙන යාමට මඟක් සැලැසූ උත්තම ගණයේ කලාකරුවකු වශයෙන් ලයනල් වෙන්ඩ්ට් අපට හඳුන්වා දිය හැකි ය.
1964 චිත්‍රපට මාධ්‍යය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලියන ලද ප්‍රකාශයකින් ලයනල් වෙන්ඩ්ට් ගැන මෙසේ සඳහන් කර ඇත.
“ලයනල් වෙන්ඩ්ට් තරම් මගේ ජීවිතය කෙරෙහි බලපෑ පුද්ගලයකු ගැන සිහිකිරීම මට දුෂ්කර ය” යනුවෙනි. ලයනල් වෙන්ඩ්ට් නම් මේ අපූර්ව මිනිසා 1900 දෙසැම්බර් මස 03 වන දින කොළඹ දී උපත ලැබී ය. මොහු බර්ගර් ජාතික කලාකරුවෙකි.
රෙපරමාදු ක්‍රිස්තු භක්තිකයකු වූ වෙන්ඩ්ට් ගේ පියා කොළඹ සුප්‍රීම් උසාවියේ විනිසුරුවකු හා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයකු වූ 1906 දී ලංකාවේ ආධුනික ඡායාරූප සංගමය ඇරඹූ හෙන්රි ලෝරන්ස් වෙන්ඩ්ට් ය. මව සුචරිත සමිති ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකාවක් වූ අතර සුප්‍රසිද්ධ සමාජ සේවිකාවකි.
ලයනල් වෙන්ඩ්ට්ට හත් අවුරුද්ද ගතවීමේදී මව මිය ගිය අතර අවුරුදු එකොළහ ලබද්දී පියා ද මෙලොව හැර ගියේ ය. එහෙත් පියා ගොඩ නඟා තිබූ ආර්ථික ශක්තිය මෙලොව ජීවත්වීමට වෙන්ඩ්ට්ට ප්‍රබල ආධාරකයක් විය.
ලයනල් වෙන්ඩ්ට් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබී ය. පසු ව මොහු එංගලන්තයේ ඔක්ස්පර්ඩ් සරසවියට ඇතුළු වී වැඩිදුර අධ්‍යාපනය ලැබී ය.
පසු ව 1924 දී ලයනල් වෙන්ඩ්ට් ලංකාවට පැමිණ බැරිස්ටර්වරයකු ලෙස කටයුතු කර ඇත. පසු ව පියානෝ හා ප්‍රාසාංගික කලා ගුරුවරයකු බවට පත් වී සිය කලාත්මක ජීවිතය ඇරඹී ය.
වයස අවුරුදු 18 දී පාසල් අරමුදල සහ බිතෝවන්, මොසාට්, ඩැඩෑපින් ආදීන්ගේ වාදනය ද ස්වකීය වාදන ඇතුළත් ප්‍රසංගයක් හා ස්වකීය ඡායාරූප ද ඇතුළත්ව ප්‍රදර්ශනයක් පවත්වමින් තමා ඇරැඹූ කලාත්මක ජීවිතය තව තවත් පෝෂණය කර ගත්තේ ය.
1930 දී හෙතෙම කුඩා කැමරාවක් මඟින් ඡායාරූප පිළිබඳ හුදෙකලාව පර්යේෂණ අත්දැකීම් ලබන්නට විය. 1939 දී ඡායාරූප සංගමයක් පිහිටවනු ලැබී ය.
පසු ව අර්නස්ට් ලීට්ස් සමාගමේ අනුග්‍රහයෙක් ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් 1939 දී ලන්ඩන් නුවර දී පවත්වනු ලැබී ය.
මේ ආයතනයේ අනුග්‍රහය ලබා දෙන්නේ ලොව විශිෂ්ටතම ඡායාරූප ශිල්පීන්ට වන අතර එවැනි වරප්‍රසාදයක් ලයනල් වෙන්ඩ්ට්ට ලැබීම ලාංකීය සමාජය ලබාගත් විශේෂ ගෞරවයකි.
ලයනල් වෙන්ඩ්ට්ට අවුරුදු 38 සපිරෙත් ම නිශ්චල ඡායාරූප ශිල්පියකු වශයෙන් ලොව ම පුරා කීර්තියක් අත්කර ගත්තේ ය. මෙයින් පසු වෙන්ඩට් ගේ ඡායාරූප ප්‍රදර්ශන ගාල්ල, මාතර, යාපනය, මහනුවර, පානදුර යන ස්ථානවල වරින් වර පවත්වමින් තම හැකියාවත් සමාජයට පෙන්වූයේ ය.
ලන්ඩන් නුවර නීතිය හදාරන අතරතුර මේ කලා ශිල්පියාගේ් සිත සංගීතයට ඇදී ගියේ ය. සංගීත විශාරද ඔස්කාර් බිංගර්, පියානෝ විශාරද මාක් හම්බර්ග්, ජෙරල්ඩ් මුවර මේ සංගීතය හදාරණ වෙන්ඩට්ගේ ගුරුවරු වූහ.
ලයනල් වෙන්ඩ්ට් නම් අපූරු මේ සුන්දර මිනිසා සංගීතය විනෝදාංශයක් වශයෙන් ද ඡායාරූප ශිල්පය වින්දන මාර්ගය ලෙස ද බැරිස්ටර්කම වෘත්තිය ලෙස ද තෝරා ගත්තේ ය.
මොහු අන් ශිල්පීන්ට දැනුම ලබාදෙන මාර්ගෝපදේශකයකු වශයෙන් ද කලාව ආරක්ෂා කරන ආරක්ෂකයකු වශයෙන් ද කටයුතු කළේ ය. එමෙන් ම සංගීතය, චිත්‍ර කලාව, රංග කලාව, ඡායාරූප කලාව සාහිත්‍ය වැනි අංගයන් පිළිබඳ ව කලා ගුරුවරයකු මෙන් ම විචාරශීලී විචාරකයකු ද විය.
ලයනල් වෙන්ඩ්ට් මහතාගේ නිවසේදී චිත්‍ර ශිල්පීන් රැසක් එකතු වී 1943 වර්ෂයේ අගෝස්තු 29 වන දින 43 කණ්ඩායම පිහිටුවා ගත්තේ ය.
මෙහි පත්කරගත් කමිටුවට ලයනල් වෙන්ඩ්ට්, අයිවන් පීරිස්, ඕබ්රි කොලට් රිචඩ් ග්‍රේබ්රියල් යන අය පත් වූ අතර ඩබ්ලිව්.ජේ.පී. බීලිං, රැල්ප් ක්ලැසන් ජස්ටින් දැරණියගල, එස්.ආර්. කත්‍යාසන්, ජොර්ජ් කීට් හා මංජු ශ්‍රී හිමියන් ඇතුළත් විය.
ලයනල් වෙන්ඩ්ට් මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ලේකම්වරයා ලෙස හැරී පීරිස් ද භාණ්ඩාගාරික ලෙස ජෝර්ජ් ක්ලැසන් ද පත් විය. හතලිස්තුනේ කණ්ඩායම ලෙස මේ කණ්ඩායමට නම තැබුවේ වෙන්ඩ්ට් මහතා ම ය.
දේශීය කලාවට නව පණක් දීමක් හා ස්වාධීනව තම කලා නියමයන් දියත් කිරීමටත් මේ කණ්ඩායමට හැකි විය.
 වෙන්ඩට් ශූරීන් පෙරහරට පමණක් සීමා වී තිබුණු උඩරට නැටුම ආරක්ෂා කර වේදිකාවට ගැනීමට ද මාර්ගය පාදා දුන්නේ ය. එයට අමතර ව ඡායාරූප කලාව, සංගීත කලාව දියුණු කිරීමට සමිති සමාගම් පිහිටුවී ය.
ලංකාව පසුබිම් කරගෙන නිපද වූ අනර්ඝතම වාර්තා චිත්‍රපටයක් වන බැසිල් රයිට්ගේ ‘ලංකා ගීතය’ එතරම් සාර්ථක වූයේ මොහුගේ මඟ පෙන්වීම මතයයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසයි.
කෙසේ වෙතත් මේ අසහාය කලාකරුවා, මාර්ගෝපදේශකයා, විචාරශීලී නිර්මාණකරුවා 1944 දෙසැම්බර් මස 19 වැනි දින මෙලොවින් සමුගත්තේ ය.
අදත් කොළඹ 07 ග්‍රීල්ප්‍රඩ් චන්ද්‍රවංකයේ පිහිටි ලයනල් වෙන්ඩට් කලාගරය ලෙස හඳුන්වන්නේ ඔහු විසූ නිවස ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger