තංගල්ල "ද නේචර්" හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු බෝතල්කටු වලින් කපා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කළේ යෑයි අධිචෝදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනා නීතිඥවරුන්ගේ විරෝධතා මැද රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (26 දා) නියෝග කළාය.මෙම නඩුවේ විභාගය ඊයේ ආරම්භ විය. දූෂණයට ලක්‌වූ රුසියානු ජාතික තරුණිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රාගේ සාක්‌කිය විමසමින් නඩු විභාගය ආරම්භ කරන ලදී.
විත්තිකරුවන් හය දෙනා මෙතෙක් කලක් සිටියේ ඇප මතය. එහෙත් සාක්‌ෂිකාරිය හෙට (සිකුරාදා) තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා සහ ඇගේ සාක්‌කි විමසීම හෙට දිනය දක්‌වා සිදුකරන නිසා විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
යම් හෙයකින් අද සහ හෙට නඩු විභාගය සඳහා එක් විත්තිකරුවකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියොත් සාක්‌කි විමසීම කල්තැබීමට සිදුවන නිසා සහ සාක්‌කිකාරියගේ සාක්‌කිය විමසීමට නොහැකි වන නිසාත් මෙය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්‌ව තිබෙන නඩුවක් නිසාත් විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් සමාන් ෂෙයික් නමැති තරුණයාට පහරදී බෝතල්කටු වලින් කපා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා නමැත්තිය රංචු ගැසී දූෂණය කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.
දූෂණය කිරීමට පෙර තමාට පහර දුන් විත්තිකරුවකු සාක්‌ෂිකාරිය විසින් විවෘත අධිකරණයේදී හඳුනාගන්නා ලදී.
පැමිණිල්ල විසින් සාක්‌කිකාරියගෙන් මූලික සාක්‌කි විමසීම ඊයේ අවසන් කළ අතර විත්තියේ නීතිඥවරුන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සහ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද ඊයේ මෙම නඩු විභාගය සඳහා පැමිණ සිටියහ.
අජිත් අලහකෝන්
Post a Comment