BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, February 3, 2014

පප්පා මගේ කේන්දරේ ඉන්දියාවට යවලා බැලුවා...!!!පප්පට ගමේ කඩයක් තිබ්බා..!!!!

 පප්පට ගමේ කඩයක් තිබ්බා. ඒකේ නම ‘මිල්ල ඇල්ල ස්ටෝර්ස්’. මට ඒක භාර දුන්නා. ඒත් මට ඒ වැඩ ඇල්ලුවේ නැහැ. මම ගෙදරින් පැනලා ගියා. ඇත්තම කියනව නම් මං 11 වතාවක් විතර ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. මම එක් අවස්ථාවක දිය බෙදුම කියන ගමට ගිහින් මිරිස් වැව්වා.



 සුමනදාස තිලක් අබේගුණවර්ධන


* ඔබේ සම්පූර්ණ නම?
 සුමනදාස තිලක් අබේගුණවර්ධන
* උපන්නෙ?
1953 ජුනි 28
* පියා?
ඩී. (දොන්) එස්. (සියදෝරිස්) අබේගුණවර්ධන
මොකද්ද පියාගේ වෘත්තිය වුණේ?
පප්පා ව්‍යාපාරිකයෙක්, ගම්පතියෙක්, හදිසි මරණ පරීක්ෂකවරයෙක්. මොරවක කොර්නල් රාලහාමි කියලා තමයි ගම්මු පප්පාට කිව්වේ.
* මව?
දාසින්කෝරල ආරච්චිගේ සෝමාවති.
ඔබේ ගම කොහෙද?
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ආසනයේ මොරවක මිල්ල ඇල්ල. පුංචි නුවරඑළිය කියලා කිව්වෙ දෙණියායටනේ. අපේ ගම දෙණියායට හැතැප්ම හත අටක් ආසන්නයේ පිහිටා තිබෙන්නේ. ගමේ තියෙන්නේ තේ ආර්ථිකයක්.
* ඔබ ගිය පාසල?
මොරවක මහ විදුහල. හතේ පන්තියේදී මම මාතර රාහුලට ගියා. ඒත් ඉස්කෝලේ හිටියේ දවසයි. ළමයි කොලොප්පම් කළ නිසා ආපහු ගෙදර ආවා. ආයේ ගියේ නැහැ.
* ජ්‍යෙතිෂය ගැන ඔබ උනන්දු වුණේ කොහොම ද?
පප්පා ජ්‍යෙතිෂය විශ්වාස කළා. පප්පගේ කේන්දරේ බලපු ගමේ කෙනෙක් කිව්වා එයා ප්‍රාදේශීය අධිපතියෙක් වෙනව කියලා. ඒක ඒ විදියටම වුණා. අවුරුදු 36 ක් පප්පා ගම් සභාපති වශයෙන් කටයුතු කළා. පප්පාගේ මේසේ උඩ නිතරම ඈපා පංචාංග ලිත දක්නට ලැබුණා. කුඹුරු වපුරන්න, කුඹුරු කොටන්න, වී දියේ දාන්න, වී මනින්න අපි නැකත් බලනවමයි. ඒ නිසා මටත් අවුරුදු දාහතරේ ඉඳන් නැකත් බලන්න පුළුවන්කම තිබුණා.
* ඔබ මොකද්ද රස්සාවක් විදියට මුලින්ම කළේ?
පප්පට ගමේ කඩයක් තිබ්බා. ඒකේ නම ‘මිල්ල ඇල්ල ස්ටෝර්ස්’. මට ඒක භාර දුන්නා. ඒත් මට ඒ වැඩ ඇල්ලුවේ නැහැ. මම ගෙදරින් පැනලා ගියා. ඇත්තම කියනව නම් මං 11 වතාවක් විතර ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. මම එක් අවස්ථාවක දිය බෙදුම කියන ගමට ගිහින් මිරිස් වැව්වා.
* ඔබ ඒ කාලේ ඔබේ කේන්දරේ බලව ගත්තෙ නැද්ද?
පප්පා මගේ කේන්දරේ ඉන්දියාවට යවලා බැලුවා. එයින් කියැවුණේ මම කවදහරි ප්‍රසිද්ධ වෙලා ඒ ප්‍රසිද්ධිය රටින් පිටතත් යනවා කියලයි. ඒ වගේම රජ මැති ඇමැතිවරුන් ළඟින් ඇසුරු කරනවා කියලත් එහි සඳහන්ව තිබුණා.
* ඔබේ විවාහය සිද්ධ වෙන්නෙ?
මගේ කේන්දරේ බලගතු විවාහ දේෂයක් තිබුණා. එහි ශනි මංගල යෝගේ තිබුණා. එකොළොස් වැන්නේ ඉන්න කුජට දෙවැන්නේ ඉන්න සෙනසුරු පේනවා. සෙනසුරුයි කුජයි එකට ඉන්න එක මංගල යෝගයක්. ඒකට කළ යුත්තේ හත් වැන්න අධිපති උච්ච කාන්තාවක් කසාද බඳින එක.
* ඉතිං ඔබ කොහොම ද එහෙම කාන්තාවක් හොයාගත්තෙ?
මං ඒ ගැන කියලා පත්තරේට මංගල යෝජනාවක් දැම්මා, පෝර බෑග් පිරෙන්න උත්තර ආවා. ඒ අතරේ තමයි මගේ බිරියගේ ලිපිය ලැබුණේ. දෛවය කියන එක මහ පුදුම දෙයක්. ඇයත් ජ්‍යෙතිෂයට ආසා කෙනෙක්. ඒක මගේ ගමනට විශාල ශක්තියක් වුණා.

* බිරියගේ නම?
චන්ද්‍ර ගර්ලි. එයා ගාල්ලේ වංචාවල. අක්මීමන ආසනයේ. අපි බැන්දෙ 1982 දී.
* ජ්‍යොතිර්වේදය සාමාන්‍ය වශයෙන් දැනගෙන රාජකීය දෛවඥයෙක් වෙන්න බැහැනේ. ඔබ මේ විෂය වැඩිදුරටත් හැදෑරුව ද?
1988 දී විතර බිරියයි මමයි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ගියා. ගිහින් එම්. සී. ජී. රාමන් (කනිෂ්ඨ) කියන ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥයාගේ ළඟ ඉඳගෙන ජ්‍යෙතිෂය වැඩිදුර හැදෑරුවා. මගේ කේන්දරේ මෙහෙම යෝගයක් තිබෙනවා. මගේ ලග්නේ සිංහ. දහවැන්නේ බ්‍රහස්පති. පහ අට අධිපති බුද කේතු යෝගයක්. ඒ කියන්නේ ජ්‍යෙතිෂවේදීන් බිහි කරන යෝගයක්. එකොළොස් වැනි කොටුවෙ ඒක තිබෙනවා.
* ඔබ ජනාධිපතිතුමාට කිට්ටු වෙන්නේ කොහොම ද?
ඔබ අහලා ඇති මාතර දිසාපති කෙනෙක් හිටියා කීර්ති අබේවික්‍රම කියලා. එයාගේ බාප්පා කෙනෙක් තමන් දියසේන කුමරුයි කියලා කියා ගත්තා. ඒ මනුස්සයට පිස්සු. මට දැනගන්න වුවමනා කළා අනාගතයේ පැමිණෙන ඇත්තම දියසේන කුමාරයා කවුද කියලා. මම මේක පප්පගෙන් ඇහැව්වා. පප්පා කිව්වා ඩී. ඒ. රාජපක්ෂගේ මද්දුම පුතා මහින්ද කියලා. ජනාධිපති තුමාගේ කේන්දරේ මට ලැබුණේ ජනාධිපතිතුමාගෙන් නෙමෙයි පප්පාගෙන්. පප්පා ඒක ඉන්දියාවට යවලා බලවලා තියෙනවා. ඒක බලපු දෛවඥයගේ ඇහි බැම රැලි වැටුණලු. මේ කේන්දරේ හිමි පුද්ගලයා රටේ නායකයා වෙනවා කියලා එහි ලියැවිලා තියෙනවා.
* සමහරු ජ්‍යොතිෂය විශ්වාස කරන්නෙ නැහැ නේද? (තරහ වෙන්න එපා සුමනදාස මහත්මයා මේ මමත් ජ්‍යෝතීර්වේදය විශ්වාස කරන්නෙ නැහැ)
ඒකට හේතුව මේකයි. අඩු දැනුම් සහිත පුද්ගලයන් විශාල පිරිසක් මුදල් ගැරීමේ පටු පරමාර්ථයෙන් මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙලා ඉන්නවා. ඔවුන්ගෙන් සිදුවන වැරදි නිසා මේ විෂය ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. සමහරු ඉන්නවා, දක්ෂ කථිකත්වයක් තියෙන. ඉස්සර ඉරිදා පොළවල බෙහෙත් තෙල් විකුණපු අය ඔබට මතක ද? ඒ අයගේ කිසි උගත්කමක් නැහැ. නමුත් අහන් ඉන්න කෙනාගේ සිත් ඇද ගන්නා ආකාරයට කතා කරන්න ඔවුන් දන්නවා. ඒ අනුව කොහොමහරි බෙහෙත් තෙල් ටික විකුණ ගන්නවා. දැන් බලන්න සාස්තරකාරයෝ. ඔවුන් අලි බොරු කාරයෝ. අපේ රටේ කිසිම කෙනකුට සාස්තර කියන්න බැහැ. සමහරු දේවාරූඪ වෙනවා කියනවා.
අපේ රටේ කිසිම කෙනකුට ආරූඪ වෙන්න බැහැ. සාස්තරකාරයෝ කියල කොටසක් ඉන්නවා නම් ඒ අය ගැට ගහලා පිස්සන් කොටුවට ගෙනියන්න කියලා මං යෝජනා කරනවා. කන්තෝරුවක පියන්කමක් ගන්නත් සුදුසුකම් ඕනැ. සහතික ඕනැ. ඒත් ජ්‍යොතිෂය කරන්න එහෙම කිසිම සුදුසුකමක්, සහතිකයක් නැති තත්ත්වයක් තියෙන්නේ. අනෙක මේ වෘත්තියට කිසිම ප්‍රමිතියක් නැහැ. තවත් කාරණයක් මම ඔබට කියනවා. ජ්‍යොතිෂයට එක දෛවඥයෙක් විතරක් තෝරාගන්න කියලා. මේසන් බාස් කෙනෙක් වැඩක් කළාම ඒක තවත් මේසන් බාස් කෙනකුට පෙන්නුවොත් එයා ඒකේ වැරැදි දාහක් කියයි. බිත්ති ඇදයි කියයි; මේකත් ඒ වගෙ තමයි.
* ජ්‍යොතිෂය බුදුදහම විසිනුත් බැහැර කරනු ලබනවා නේද?
සිදුහත් උත්පත්තියේදි ශුද්ධෝදන රජ මැදුර ජ්‍යොතිෂයට විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. සිදුහත් කුමරුගේ නම් තැබීමේ මංගල්‍යයට බමුණන් 108 දෙනෙක් කැඳවලා තියෙනවනේ. ඒ වගේම අසිත තවුසා දන්නෙ කොහොමද සිදුහත් කුමාරයා බුදුවන බව.
* ඒ වුණාට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, “නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” කියා.
ග්‍රහ තාරකාවන්ගේ බලපෑම මිනිසාට, සතාට පමණක් නොවේ ගහකොළවලටත් තියෙනවා. හිරු උදාවේ මල් පිපෙන්නේ ඇයි? ඉර බහින කොට මල් පරවෙන්නේ ඇයි? ඇයි සූරියකාන්ත මල ඉර පැත්තට හැරෙන්නේ?
* හස්ත රේඛා ශාස්ත්‍රය ඔබ විශ්වාස කරනවද?
ඔව්. අසිත තවුසා සිදුහත් කුමාරයාගේ යටි පතුලේ රේඛා දැකලනේ උන්වහන්සේ බුදුවෙනව කියලා කිව්වේ.
* එතකොට පුනරුත්පත්තිය. ඔබ ඒකත් විශ්වාස කරනවද?
අනිවාර්යයෙන් ම විශ්වාස කරනවා. දරුවන්ට ඉපදුණු ගමන් ඇස් පේන්නේ නැහැනේ. නමුත් අම්මගේ තනේ කටට තිබ්බම දරුවා හරි ලස්සනට කිරි බොනවා. එයා ඒක කොහෙන් ඉගෙන ගෙනද? ඒ පෙර සංසාර පුරුද්ද. මං පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ ඒකෙන්.
* පෙර ආත්මයේ ඔබ කවුරු කියලද හිතන්නේ?
කවුරු වුණත් රාජපක්ෂවරු එක්කමයි මං ඉඳලා තියෙන්නේ.
* වාස්තු විද්‍යාව ඇත්තටම විද්‍යාවක් ද?
ඔව්. ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ වැඩ භාරගත්තේ 2005 නොවැම්බර් 19 සෙනසුරාදා පස්වරු 1.21 ට. ඒක මගේ නැකතක්. ඒත් එතුමා ජනාධිපති මන්දිරයට ගියේ ඊට මාස කීපයකට පස්සේ. 2006 ජූනි 21 වැනිදා. ඒ අතරතුර අපි කළේ වාස්තු දෝෂ ඉවත් කිරීම.
* ඔබ සායිබබා අදහනවද?
නැහැ. ලොකු විශ්වාසයක් නැහැ. එයත් දොළුකන්දේ හාමුදුරුවෝ වගේ තමයි. කරපු මඟුලක් නැහැ. හාමුදුරුවරු වශී ගුරුකම් කරන එකත් වැරදියි. ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ඕවා කරලා සමහරු දැන් සිර අඩස්සියෙත් ඉන්නවනේ.
* ආනුභවික දේවල් ගැන ඔබේ විශ්වාසය කොහොමද? ඒ කියන්නේ හොල්මන්, අවතාර ගැන?
ඒවා මං පිළිගන්නේ නැහැ. ඒවා මානසික දුර්වලකම්.
* දක්ෂ ජ්‍යොතිර්වේදියකුට කෙනෙක් මැරෙන වෙලාව හරියටම කියන්න පුළුවන් ද?
වෙලාව හරියටම කියන්න නම් මේ විද්‍යාව තවම දියුණුවෙලා නැහැ. නමුත් මැරෙන වකවානුව කියන්න පුළුවන්. මං ප්‍රභාකරන් මැරෙන වකවානුව කිව්වේ. එක්තරා කාලයක මාවත් ඝාතනය කරන්න සැලසුමක් තිබ්බා. ඒත් මං දැනගෙන හිටියා ඒ වෙලාවේ කාටවත් මාව මරන්න බැහැ කියලා.
* ඒබ්‍රහම් ටී. කොවුර් ගැන ඔබ මොකද හිතන්නේ?
එයා හේතුවාදියෙක්. එයා ගැන කියන්න අවශ්‍ය නැහැ. හිට්ලර් ජ්‍යෝතිෂය විශ්වාස කළා නම්, එංගලන්තයේ මහ රැජන විශ්වාස කරනවා නම් තව මොනවද?
* ඔබ අපේ රටේ රාජකීය දෛවඥයා
ඒක මං ලබපු බලගතු වාසනාවක්‍. මොකද ජනාධිපතිතුමා කියන්නේ නිදහසින් පසු බිහිවුණු අනුහස් ඇති දෙවියකු බඳු නායකයෙක්. මා මගේ පියාගේ දෙපා වැන්දට වඩා වැඩි වාර ගණනක් එතුමාගේ දෙපා වැඳ තිබෙනවා. එතුමා දෙවියෙක් වගේ නායකයෙක්‍.
* ඔබ පසුගිය කාලයෙදි අනාවැකි ගණනාවක් ම පවසා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය ගැන ඔබේ අනාවැකිය මොකද්ද?
ජනාධිපතිතුමා පළමු ජනාධිපතිවරණයට වඩා දහ ගුණයක වැඩි ඡන්ද සංඛ්‍යාවක් දෙවැනි ජනාධිපතිවරණයේදී ලබාගත්තා. ඊළඟ ජනාධිපතිවරණයේදී එතුමා 15 ගුණයක වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඒක වළක්වන්න පුළුවන් සමතෙක් මේ මොහොතේ මේ භූමි තලය තුළ ජීවත්වන්නේ නැහැ.
* ඔබ අනාවැකි කියන්නේ පක්ෂග්‍රාහිව කියලා කවුරු හරි චෝදනා කළොත්.
ඒක බොරුවක්. එතකොට 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී මං කිව්වේ එජාපය බලයට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ දෙවැනි වරටත් අගමැති වෙනවා කියලා.
* රාජපක්ෂවරුන්ගේ අනාගත දේශපාලනය ගැන ඔබට මොනවද කියන්න පුළුවන්?
රාජපක්ෂ පවුලේ තව දෙන්නෙක් අනාගතයේ මේ රටේ රාජ්‍ය නායකයෝ වෙනවා. නාමල් රාජපක්ෂ මහත්තයා ස්ථිර වශයෙන් රාජ්‍ය නායකයකු වෙනවා. ජනාධිපතිතුමා ඉපදිලා තියෙන නැකතින් ම තමයි නාමල් මහත්තයා ඉපදිලා තියෙන්නෙත්. ලෝකයේ කවදාකවත් තාත්තා කෙනෙක් – පුතෙක් එකම නැකතකින් ඉපදිලා නැහැ. ඒක සුවිශේෂ අවස්ථාවක්.
* ඔබේ වැරදුණු අනාවැකිත් තියෙනවනේ. ජොන්ස්ටන් ගේ පුතා ගැන ඔබ කී අනාවැකිය?
ඒක අනාවැකියක් නෙමෙයි ආශිර්වාදයක්. අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ඕනෑ කියලයි මං කිව්වේ. අපේක්ෂකයන් 37 දෙ‍නාගෙන් ඔහු දෙවැනියට ආවනේ. ඒක ආශිර්වාදයක්. සමහර ලෙඩ්ඩු මැරෙන්න යනකොට අපි බෝධි පූජා තියන්නේ. අපි දන්නවා ලෙඩා මැරෙන බව. ඒත් අපි බෝධි පූජා කියලා තව අවුරුදු සීයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවා කියල කියනවනේ.
අපි ළමයි විභාගෙට යද්දී කියන්නේ ‘ඒ’ 10 ම ගන්න ඕනැ කියලා කියන්නේ. මේකත් ඒවගේ.
ඔබට දරුවන් කී දෙනයිද?
දුවලා දෙන්නෙක් ඉන්නවා. මං මගේ ශාස්ත්‍රය ලොකු දුවට දෙන්නයි බලාපොරොත්තුව. ඒත් දැන්ම දෙන්නේ නැහැ. ඇය මේක ගැඹුරට හදාරන්න ඕනෑ. මොකද මේක ගෞරවනීය වෘත්තියක්. සේවාදායකයාගේ විශ්වාසය බිදුණොත් ඉවරයි.
* ඔබේ දින චර්යාව ගත වෙන්නේ කොහොමද?
කීයට නිදාගත්තත් මං පාන්දර තුනට නැගිටිනවා. ඊයේ දවසේ මගේ අතින් මඟ හැ‍රුණේ මොනවද? කරගන්න බැරි වුණේ මොනවද කියලා මං හිතනවා. මට අමතක වෙන දේවල් ලියන්න වෙනමම ෆයිල් එකක් තියෙනවා‍. උදේ 6 වනතුරු කරන්නේ මඟ හැරුණු දේවල්වලට උත්තර දෙන එක. මගේ කාර් එකත් ජ්‍යොතිෂය කාර්යාලයක් වගෙයි. වාහනයේ යන ගමනින් මං උපරිම ප්‍රයෝජන ගන්නවා.
* ඔ‍ෙ‍බ් විනෝදාංශ මොනවද?
මළ ගෙවල්වලට යන එක තමයි මගේ ලොකුම හොබි එක. යාපනයේ තිබුණත් යනවා. ඒ හැරුණුකොට පරණ චිත්‍රපට බලනවා. අයි.ටී.එන් එකේ දවල්ට යන සිංහල චිත්‍රපටය විවේකයක් තියෙන හැම වෙලාවෙම බලනවා.
* අඩි පුඩි ගහන්නෙ නැතුව ඇති?
ඉස්සරනම් අරක්කුත් බිව්වා. සිගරටුත් බිව්වා. සිගරට් බිව්වේ බන්ඩල් ගණන්. ඒත් දැන් නම් රාජකාරි බහුලයිනේ. ඒ නිසා ඒකට වෙලාවක් නෑ.
- සුනිල් මිහිඳුකුල / Silumina

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger